සක්වළ සක්මන

සක්වළ සක්මන 09


බුද්ධාන්තර හතක් දුක් විඳින සත්වයෝ


පෙරට යාමත්, වීර්ය වැඩීමත්, නිරෝගී වීමත්, යථාවබෝධයත් හා චිත්ත ඒකාග්‍රතාවයත් ‘සක්මනේ අනුසස්’ වේ. එහෙයින්, දිනෙන් දින රටින් රට සිට “සක්වළ සක්මන” ට එක්වන ප්‍රඥාවන්තයෝ බොහෝ වැඩි වෙති. එනම්, සසරක් තුළ දකින සක්වළ අසිරිය, වසරක් තුළ අප ඔබට සමීප කරන බැවිනි. අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල, මහ නා හිමියෝ සියවස් සපිරි ඤාණාවලෝකනයෙන් තරණය කෙරෙන සක්වළ සක්මනේ නමවැනි පියවරයි මේ.


මහනායක හාමුදුරුවනේ, ටෙලිපති ක්‍රියාවලියට අනුව, අපි මියගිය අය සිහිකර පින් දුන්නාම ඒවා ඔවුන්ට ලැබෙනවාද?
නිවන් දැකපු, පිරිනිවන්පාපු උතුමන් හැර සෙසු මිය ගිය සියලු දෙනාම මේ විශ්වයේ කොහේ හෝ කුමන ස්වරුපයකින් හෝ සිටිය යුතුයි. එසේ චුත නොවී සසර සැරිසරන අය අරමුණුකොට ගෙන පුණ්‍යානුමෝදනා එක් කිරීමෙන් ඇතිවන චිත්ත (චේතනා) තරංග ශක්තියෙන් ඒවා ඔවුන් කරා ගමන් කරනවා.
දැන් රූපවාහිනී සම්පේ‍්‍රෂණාගාරයකින් අවකාශයට එක් කළ තරංග, සැතපුම් දස දහස් ගණනාවක් දුර තියෙන රූපවාහිනි යන්ත්‍රවලට ඇසට පෙනෙන ද්‍රව්‍යමය (Wireless) සම්බන්ධයක් නොමැතිව ග්‍රහණය කරගනු ලබනවා. මෙවැනි අජීවි වස්තුවලට පවා අවකාශයට එක්කරන දුරස්ථ තරංග ග්‍රහණය වෙනවා. පෘථිවියේ සිට අඟහරු ග්‍රහයා කරා වුවද භෞතික තරංග ද්‍රව්‍යමය සම්බන්ධයකින් තොරව ගමන් කරනවා.
මීටත් වඩා ඉතා සක්‍රීයව ආධ්‍යාත්මික තරංග විශ්වයේ ගමන් කරන බව නූතන පර්යේෂණ මගින් අනාවරණය කර ගෙන තිබෙනවා. හැබැයි සත්ව ආත්ම භාවවල (තිරිසන් යෝනිවල උපත ලැබූ) දිවිගෙවන අයට නම් පින් අනුමෝදන් වීම සක්‍රීය ලෙස සිදු වෙන්නේ නැහැ.පේ‍්‍රත , භූත, පිසාච කුම්භාණ්ඩ ආදි අමනුෂ්‍ය ආත්ම භාවවල පසුවන අයට සාපේක්‍ෂව එවැනි තිරිසන් ආත්මවල සිටින අය අතර ඇති කරන සන්නිවේදන ශක්‍යතාව ඉතාම අල්පයි. මෙවැනි දුරස්ථ සබැඳියාවන් හේතුවෙන් ඇතැම්විට, සම්පේ‍්‍රෂණ අවහිරතා හා බාධාවන් වැනි කාරණාවනුත් ඔය අතර තිබෙන්නට පුළුවන්.
එතකොට, එක් එක් ආත්මභාවවල සත්වයන් ඉපදී මරණයට පත්වෙන්නේ කොහොමද?
සත්වයින් කරන කියන කර්ම විපාකවලට අනුවයි විවිධ ආත්මභාවවල ඔවුන් උපත ලබන්නේ. තිරිසන් යෝනිවල විඳීය යුතු, පේ‍්‍රත විෂයෙහි විඳියයුතු දෙව් බඹලෝකවල විඳිය යුතු සහ මනුෂ්‍ය ලොව විඳිය යුතු ආදි වශයෙන් කර්ම විපාක පිළිබඳව දීර්ඝ ලෙස අංගුත්තර නිකායේ, දුක්ක චතුක්ක නිපාතවල විස්තර වෙනවා.
මෙලෙස විවිධ ආත්මභාවවල උපත ලබන අයගේ ආයු කාලයන් තීරණය වෙන්නේත් , ඔවුන්ගේ කර්ම ශක්තිය අනුවයි. සාමාන්‍යයෙන් අප මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 120 ක් යැයි කියනවා. නමුත්, අප හැමෝටම මේ ආයු කාලය ගත කරන්න බැහැ. කෙනෙකු මව්කුස තුල සිටින අවස්ථාවේදී මෙලොව එළිය නොදැකම මිය යනවා. තව කෙනෙකු ඉපදී මෙලොව එළිය දැක තත්පර, විනාඩි, පැය, දින සහ මාස කිහිපයක් ජීවත්වී මරණයට පත් වෙනවා. තවත් අය අවුරුදු ගණන් ජීවත් වෙනවා.
අප ගෞතම බුදුරදුන්ගේ කාලයේ වැඩ සිටි ‘බක්කුල මහ රහතන් වහන්සේ’ අවුරුදු 160 ක් ආයු වැළඳුවා. අවුරුදු 120 ට වඩා ආයු වැළදු තවත් මහ තෙරණුවෝ පිළිබඳ විස්තර බුදුදහමේ දැක්වෙනවා.
ඒ වුණාට අද දවසේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100 සීමාවට ඇවිත් තිබෙනවා. මෙහෙම ගිහිල්ලා මෛත්‍රි බුදුරදුන් පහළ වීමට කලින් මිනිසාගේ ආයුෂ අවුරුදු 10 දක්වා අඩු වෙන කාලයක් ඉදිරියේදී උදාවෙනවා. පෙර භවයේ ණය ගෙවන බල්ලන්, බළලුන් ගොණුන්, බූරුවන් හා අලින් ආදී සතුන් ඇතුළු අවශේෂිත තිරිසන් සතුන්ගේ ආයුෂත් ක්‍රමයෙන් අඩු වෙමින් කල්ප විනාශයේදී ඔවුනුත් විනාශ වී යනවා.

එහෙමනම් ,පේ‍්‍රත භූතාත්මවල ආයු කාලයන්හිත් යම් සීමාන්තික බවක් සිදුවිය හැකිද?
නැහැ. මුගලන් තෙරුන් කළ වාර්තාවක් ඇසුරෙන් සකස් වූ “පේ‍්‍රතවත්ථු” නමින් ප්‍රධාන ග්‍රන්ථයක් ත්‍රිපිටකයේ තිබෙනවා. බුදුරදුන්ගේ අනුමැතිය ගෙන කළ බුද්ධ භාෂිතයක් බඳු මෙහි පේ‍්‍රතයන් පිළිබඳ බොහෝ විස්තර දැක්වෙනවා. මේ කොයි තැනකවත් පේ‍්‍රතාත්මවල ආයු කාලය පොදුවේ නිශ්චිතව මෙපමණයි කියා දක්වා නැහැ. එය තීරණය වෙන්නේ, ඔවුන්ගේ කර්ම විපාක අනුවයි.
පාරාජිකා පාළියේ චතුත්ථ පාරාජිකාවෙහි මුගලන් තෙරුන් හා ලක්ඛණ තෙරුන් පිළිබඳව එන විවරණවල බොහෝ කාලයක් මිනිසුන්ට නොපෙනෙන ශරීරවල දුක්විඳිමින් සිටින පේත්‍රාත්ම විශාල ගණනක තොරතුරු අනාවරණය කෙරෙනවා. එලෙස දුක් විඳින කාලය ඇතැම්විට, කල්පවලින් පවා දැක්වෙනවා. කල්පයක් කියන්නේ, ගණන් කරන්න බැරි තරම් අති දීර්ඝ කාල පරාසයකටයි. කල්පය ගැන ඉදිරි කල්ප විග්‍රහයේදී ඔබට දැන ගත හැකියි.
හොඳයි, බිම්බිසාර රජුගේ 8400 ක් ඥාති පේ‍්‍රතයන්ට කල්ප හතකටත් වඩා වැඩි කාලයක් දුක් විඳීමට සිදු වුණා නේද?
ඔව්. ඵුස්ස බුදුරදුන් දවස (අටවිසි බුදුවරුන්ගෙන් 21 වැන්නා) මහ සඟරුවනට වැළදීම සඳහා රජ මැඳුරේ සකස් කෙරෙන දානයන් සඟුන් වැළදීමට පෙර වරින් වර හොරෙන් අනුභව කිරීමේ හා දන්හලට ගිනි තැබීමේ මහා පාප කර්මය පළ දෙමින් ඔවුන් පේ‍්‍රතයන් වී උපන්නා.
ඵුස්ස බුදුරදුන් වැඩ සිටි මධ්‍ය මණ්ඩ කල්පයේ සිට විපස්සි බුදුරදුන් (සාර කල්පය) සිඛී බුදුරදුන් (මණ්ඩ කල්පය) වෙස්සභූ බුදු රදුන් (මණ්ඩ කල්පය –ii) කකුසඳ බුදුරදුන් (මෙම මහ භද්‍ර කල්පයේ පළමු අනතඞ කල්පය) කෝණාගමන බුදුරදුන් (මේ මහා භද්‍ර කල්පයේ දෙවන අනතඞ කල්පය) සහ කාශ්‍යප බුදුරදුන් (මෙම අනතඞ කල්පයට පෙර පැවති අනතඞ කල්පය) මෙන්ම අප ගෞතම බුදුරදුන් දක්වා වූ බුද්ධාන්තර කල්ප හතක් ඇතුළු බුද්ධ ශූන්‍ය (එකඳු බුදුවරයෙකු හෝ පහළ නොවන) කල්ප ද පසු කරමින් එම කර්ම විපාකය ඔවුන්ට ගෙවීමට සිදු වුණා.
වරක් කාශ්‍යප බුදුන් සමීපයට ගොස් එම කර්ම විපාකයෙන් තමන්ට මිදීමට අවශ්‍ය බව ඔවුන් සැලකර සිටි විට මීළඟ බුදුන් (සිද්ධාර්ථ ගෞතම) දවස සිය ඥාතී බිම්බිසාර රජු තම මියගිය ඤාතීන් අරමුණූ කොට දෙනු ලබන දානයේ අනුහසින් පේ‍්‍රතාත්මභාවයෙන් මිදීමට අවස්ථාව උදාවන බව කාශ්‍යප බුදුරදුන් දේශනා කොට තිබෙනවා. එම දානය දෙන දින උදාවන තුරු, දින ගණිමින් ඉතා දීර්ඝ කාලයක් දුක් විඳිමින් සිටි බිම්බිසාර රජුගේ සිය ඥාති පේ‍්‍රතයන් විවිධ අයුරින් පෙනී සිටිමින් රජුට එය දැන වීමට නොයෙක් උත්සාහ කෙරුවා. මේ පිළිබඳව අප බුදුරදුන් ගෙන් බිම්බිසාර රජු විමසා සිටීමෙන් අනතුරුව ඊට අවශ්‍ය කටයුතු යොදනු ලැබුවා.

ඒ වුණාට ,අදටත් බටහිර රටවල තම මියගිය ඥාතීන්ට හා හිතවතුන්ට පින් අනුමෝදන් කිරීමේ පිළිවෙතක් අනුගමනය කරන්නේ නැහැනේද?
ඔව්. එංගලන්තය ප්‍රමුඛ බොහෝ බටහිර රටවල පේ‍්‍රත, භූත දෝෂ අපේ රටවලට සාපේක්‍ෂව ඉතා වැඩි වශයෙන් වාර්තා වෙන්නේ මේ නිසා විය හැකියි.ඒ රටවල පේ‍්‍රත භූත කරදරවල තරම කොතරම්ද කියනවා නම්, ඇතැම් මන්දිර, මං මාවත්, පාසල් හා දේවස්ථාන පවා මේ නිසා වසා අතැහර දමා ජනශූන්‍ය වූ අවස්ථා පිළිබඳව අනන්තවත් වාර්තා වී තිබෙනවා.
විශේෂයෙන් ලන්ඩන් නුවර ඔක්ස්ෆර්ඩ් වීදියේ, භූතයන්ගෙන් ශාස්ත්‍ර කියන ආයතනත් පවත්වා ගෙන යනවා.පේ‍්‍රත,භූත දෝෂ, කරදර ඇතුළත් බටහිර භූත නිකායේ සතිපතා පුවත්පත් හා සඟරා , වාර ප්‍රකාශන නිකුත්වෙනවා. බටහිර චිත්‍රපට නාට්‍ය කථාවලට පේ‍්‍රතාත්ම භූතාත්ම යොදා ගැනීමේ ප්‍රවණතාවක් ඇතිවීමටත් මෙවැනි කාරණා හේතුවිය හැකිය.
එංගලන්තයේ මයිකල් ගොර්ස් නමැති ලේඛකයා මෙවැනි අත්භූ®ත භූත තොරතුරු දහසකට වඩා එකතු කොට පොතක් පවා පළ කර තිබෙනවා. ආචාර්ය ආතර් සී ක්ලාක් මහතාත් ““World of Strange Powers”” සහ ““Mysteris From Atlantis to Zombies “ යන පර්යේෂණ ග්‍රන්ථ මගින් ලෝකයේ සිදු වූ සත්‍ය භූත සිදුවීම් රැසක් ඡායාරූප ඇසුරෙන් විග්‍රහ කර තිබෙනවා. ඒ වගේම දේව, යක්‍ෂ,පේ‍්‍රත හා අවතාර මේ සියලු මිය ගිය ආත්මභාව පොදුවේ භූතාත්ම වශයෙන් අපි හඳුන්වනවා.



(සැ.යු. නූතන සේයාරූවල සටහන් වන භූ®තරූප අපායේ අඳෙීනා සහ සක්වළ අසිරිය සැප්තැම්බර් 08 වැනිදා පත්‍රයෙන් බලාපොරොත්තු වන්න)


“සක්වළ සක්මන” හරහා මතු කළ යුතු ඔබේ ගැටලු ලියුම් කවරයේ වම් කෙළවර ඉහළින් “සක්වළ සක්මන ප්‍රශ්න” යනුවෙන් ලියා, කර්තෘ බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට නොපමාව යොමු කරන්න.


සක්වළ සක්මන 08

සක්වළ ශබ්ද සහ සංඥා



සක්වළ පවතින ශක්ති විශේෂ මෙන්ම එහි ඇති ශබ්ද විශේෂ ද අනන්ත ය. අපට ඇසෙන නොඇසෙන විවිධ ශබ්ද ප්‍රවාහ ‘සක්වළේ සක්මන්’ කරන අපගේ සවනට ඇසෙයි. අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමියන්ගෙන් එම ශබ්ද රටා පිළිබඳව විමසා බැලෙන සක්වළ සක්මනේ අටවෙනි ගවේෂණ සටහනයි මේ.


පිටසක්වළින් එන සංඥා සහ පිටසක්වලට යැවෙන පණිවුඩ ඇතුළු සක්වළ ප්‍රතිරාව දෙන සාධූන්ගේ රාවයන් එම නාද රටා අතර හමු වේ. මහානායක හාමුදුරුවනේ, ආලෝකයේ වේගය ඉක්මවා යන “මිනිස් සිත”, හරියට ගුවන්විදුලි සම්පේ‍්‍රෂණාගාරයක් වගෙයි නේද?
ඔව්. ගුවන්විදුලි මධ්‍යස්ථානයකට ශබ්ද තරංග විසුරුවා හරින්නත්, අවකාශයේ ඇති ශබ්ද තරංග ඇද ගැනීමටත් හැකියාවක් තියෙනවා. ඒ වගේම, මිනිස් සිතටත් චිත්ත (සිතිවිලි) තරංග විශ්වයට මුදා හරින්නත්, අන් අයගේ සිත්වලින් නිකුත් වන අදහස් ප්‍රාර්ථනා ඇතුළු විවිධ සිතිවිලි තරංග තේරුම් ගැනීමටත් හැකියාවක් ඇති බව “ටෙලිපති” (Telepathy) මගින් තහවුරු කෙරෙනවා.
අද ලෝකයේ රූපවාහිනී, ගුවන්විදුලි හා විවිධ සන්නිවේදන තරංග ජාලයන් අපට ගණන් කරන්න බැරි තරම් තියෙනවා. ඒ වුණත්, අවකාශයපුරා විසිරුණු විවිධ රූප ශබ්ද තරංග සංඛ්‍යාතවලට හසු කර ගනිමින්, ඒවා එකිනෙකෙන් වෙන්කර හඳුනා ගන්නවා. මිනිස් සිතටත් මේ විධියට නොයෙකුත් සන්නිවේදනයන් විවිධ අයුරින් ග්‍රහණය වෙනවා.
අපට නොපෙණුනාට විශ්ව සන්නායක සක්වළ පුරා පැතිරී පවතිනවා. ඒවා හරියට ගුවන්විදුලි රූපවාහිනී හා දුරකථන තරංග වගේ අවකාශය පුරා විහිදී යනවා. සිත්වල පවතින සංවේදීබව හා ප්‍රභාෂ්වරබව අනුව, ඒ පිළිබඳ ග්‍රහණය වීම් අඩු වැඩි වශයෙන් සිදු වෙනවා. විද්‍යුත් රූප තරංග සඳහා වන උපකරණවල ඇති ප්‍රබලතාව හා සක්‍රියබව එහි ක්‍රියාකාරීත්වයට මෙන්ම සුපැහැදිලිතාවයට බලපානු ලබනවා. සිතිවිලි (චිත්ත) තරංග වලටත් මේ වගේ කාරණා බලපානවා.
එහෙමනම්, අධිබලැති අතිනවීන ගුවන්විදුලි තරංග (Radio Waves) හරහා අපිට පිටසක්වළ ජීවින් එක්ක වුණත් පණිවුඩ හුවමාරු කර ගන්න පුළුවන් ද?
බැහැ. අද භාවිත කරන රේඩියෝ තරංග ගමන් කරන්නේත්, කලින් කියපු ආලෝකයේ වේගයෙනුයි. එබැවින්,ඒ සඳහා ආලෝකයේ වේගය ඉක්මවා යන තරංග ක්‍රමයක් අවශ්‍ය වෙනවා. ඒ නිසායි, ආලෝකයේ වේගය හඹා යන වෙනත් දේ පිළිබඳ පර්යේෂණ සිදු කෙරෙන්නේ,නූතන තාරකා විද්‍යාඥයන් (Astronomer) දැනට හඳුනාගෙන ඇති අපට ආසන්නතම මන්දාකිනියේ පිහිටි අපේ පෘථීවියට ඉතාම සමාන (නිවුන්) Gliese   581 නමැති ග්‍රහලෝකයට මේ විධියට රේඩියෝ තරංග (අලෝකයේ වේගය) මගින් පණිවුඩයක් යැවීමට අවම වශයෙන් වසර 20 ක් වත් ගත වෙනවා. ඒ ක්‍රමයෙන් නැවත අපට පිළිතුරක් ලැබෙන්න තවත් වසර 20 ක් ගත වෙනවා. එතකොට ආලෝකයේ වේගය (රේඩියෝ තරංග) මගින් මෙම කාර්යය ඉටුකරගැනීම සඳහා අවුරුදු 40 ක් වත් බලන් ඉන්න සිදුවෙනවා. ඒ නිසායි මෙය අභිබවා යන නවතම තරංග (නැනෝ තත්පර) ක්‍රමයක් පිළිබඳ පර්යේෂණ ආරම්භ කර තිබෙන්නේ. ඒකත් කොයි තරම් දුරට සාර්ථක ක්‍රමයක්ද කියලා විශ්වාස කරන්න බැහැ.
ආචාර්ය ආතර් සී .ක්ලාක් මහතාගේ අනාවැකිවලත් මෙබඳු උත්සාහයන් පිළිබඳව විස්තර වෙනවා නේද?
ඔව්. මෙතුමා 1999 පෙබරවාරි මාසයේ, බ්‍රිතාන්‍යයේ Sunday Telegraph පත්‍රයට වසර 2024 දී පමණ සිදුවිය හැකි අනාවැකියක් ලියා තිබුණා. එමගින් ඔහු අවධාරණය කර තිබුණේ ‘ මිනිසා කාලාන්තරයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි විශ්ව ඇමතුම ලැබෙයි. අපේ මන්දාකිනියේ මධ්‍ය ප්‍රදේශයේ සිට එන අධෝරක්ත සංඥා ගොනුවක් සොයා ගනු ලබයි. ඒවා ස්වභාවිකව ඇති විය නොහැකි බවත්, බුද්ධිමත් ජීවින්ගේ තාක්‍ෂණයෙන් එවන ලද්දක් බවත් විද්‍යාඥයෝ පිළිගනිති. එහෙත් මේ සංඥාවලින් කියැවෙන අර්ථය වටහා ගැනීමට කරන හැම උත්සාහයක්ම තේරුම් ගන්නට අප, ඒ භාෂාව දන්නේ නැත” යනුවෙන් එහි දැක්වෙනවා.
ඒ වගේම ඇමරිකාවේ නාසා (Nasa) ආයතනය අභ්‍යවකාශ ගත කරනු ලැබූ “වොයේජර් 2” යානයෙන් නාසා ආයතනයට ලැබෙන පණිවුඩ වෙනස් වීමෙන් එම යානාව පිටසක්වළ ජීවින්ට හසුවී ඇති බවට සැක කෙරෙනවා. මහාචාර්ය ස්ටීවන් හෝකින් මහතා ප්‍රකාශ කර ඇති පරිදි පිටසක්වළ ජීවින්ගෙන් බොහෝ කරදර විය හැකි බැවින් අප ඔවුන් ඇසුරු නොකළ යුතුයි.
එහෙත්, 2011 නොවැම්බර් 27, ඇට්ලස් 5 රොකට්ටුවේ ආධාරයෙන් අඟහරු (MARS) ග්‍රහ ලොව වෙත වාහනයක් තරම් විශාල වැඩි දියුණූ කළ “කියුරියෝසිටි” (කුතුහලය) නමැති රෝවරය නාසා ආයතනය මගින් යවනු ලැබුවා. එය කිලෝමීටර් ලක්‍ෂ 5670 පමණ දුර ගෙවා ඊට මාස 8 කට පසු නියමිත ස්ථානයට (ගේල් ආවාටය) ළඟා වුණා. එහි මූලික අරමුණ වන්නේ අඟහරු ලෝකයේ ජීවින් පිළිබඳ සොයා බැලීමයි.
පිටසක්වළ සමග පණිවුඩ හුවමාරු කර ගැනීමට භාෂාවෙත් බාධාවක් විය හැකිද?
ඔව්. දැන් එකම භාෂාවක් වුණත් කලින් කලට වෙනස් වීම්වලට ලක් වෙනවා. මීට අවුරුදු 1000 කට කලින් අනුරාධපුර. පොළොන්නරුව යුගවල භාවිත කළ පැරැණි සිංහල භාෂාව වුණත් අද සිංහල කථා කරන අයට බොහෝවිට තේරෙන්නේ නැහැ. තවම අසල්වැසි මාලදිවයිනේ ව්‍යවහාර වෙන්නේ, අපේ පැරැණි එම සිංහල භාෂාවේ වචනයි. සඳට යැවූ යානාවල සවිකළ භාෂා හඬපට අතර, හෙළ (සිංහල) බසත් යවන්නට ඇත්තේ, පිටසක්වළ ජීවින්ට එය අවබෝධ වෙයි යන විශ්වාසය නිසා විය හැකියි.
දිනෙන් දින සත්වයන්, ගස්කොළන් වෙනස් වෙමින් මැරෙනවා වගේ භාෂාවනුත් විකාශනය වෙමින් අභාවයට යනවා. ලෝකයේ ජීව භාෂාවලට වඩා මළ භාෂාවන් ප්‍රමාණය වැඩියි. සති දෙකකට (දවස් 14) වරක් ලොව කුමන ප්‍රදේශයක හෝ ව්‍යවහාර වූ භාෂාවක් මරණය (අභාවය) ට පත් වෙනවා. ඕස්ට්‍රේලියාව, මෙලෙස භාෂා වඳ වී යාමේ තර්ජනයට දැඩි ලෙස මුහුණ දී තිබෙන රටක්, යුරෝපීය ජාතීන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන යනවිට එහි භාෂා 200 ක් පමණ තිබුණා. අද වන විට එයින් ඉතිරි වී තියෙන්නේ භාෂා 20 ටත් අඩු ප්‍රමාණයක්. ආසියාතික හා අපි‍්‍රකානු රටවල වගේම යුරෝපා රටවලත් මෙලෙස භාෂා වඳ වී යාම් නොඅඩුව සිදුවෙනවා.
එතකොට එවැනි මළ භාෂාවලින් අතීතයේදී අවකාශයට මුදා හැරිය (කථා කළ) හඬවල් නොමළව පැවතිය හැකිද?
ඔව්. සක්වළ රැදුණූ ශබ්ද අතර එවැනි හඬවලුත් තිබිය හැකියි. මීට පෙර ජර්මනියේ ෆ‍්‍රැන්පර්ට් නගරයට නුදුරින් පිහිටි “මේන්ස් විශ්ව විද්‍යාලය” ට අනුබද්ධ විද්‍යාඥයන් පිරිසක් Instrumental Trance Communication නමින් සක්වළ රැදී ඇති ශබ්ද පටිගත කිරීමේ පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට යෙදුණා. මෙහි පුරෝගාමියා ලෙස ක්‍රියා කරන්නේ හැම්බර්ග් සරසවියේ භෞතික විද්‍යා ආචාර්ය උපාධිධාරි අර්නස්ට් සෙන් කොවෙස්කි මහතායි. එම පර්යේෂණවලින් පටිගත කරගනු ලැබූ බොහෝ ශබ්ද මිය ගිය පුද්ගලයන්ගේ ශබ්ද බව අනාවරණය කරගෙන තිබෙනවා. අපේ කනට විෂය නොවන සක්වළ පැතිර ඇති විවිධ ශබ්ද හා පණිවිඩ පටිගත කර ගැනීමට ඔවුන් සමත් වී තිබුණත්, ඒවා පැහැදිලිව වෙන්කර හඳුනා ගැනීමේ අභියෝගයක් පවතිනවා.
සක්වළ ප්‍රතිරාව දෙන සාධුන්ගේ රාවයන් පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කෙබඳුද?
බුදුරදුන්ගේ හඬ මේ සක්වළ මතු නොව, අනන්ත සක්වළ තුළ තිබෙනවාය කියා මම තේරුම් අර ගත්තේ, ඔය පර්යේෂණ පටන් ගන්නත් ඉස්සරිනුයි, ඒ කියන්නේ, මේ විශ්වයට එකතු වුණ හඬ නැති වෙන්න විධියක් නැහැ. සජීවි (වර්තමාන) ශබ්ද තරංග අවකාශය තුළින් ඇද ගැනීමටත්, ගුවන්විදුලි සංඛ්‍යාත මගින් පැහැදිලිව වෙන්කර ගැනීමටත් පුළුවන් වගේ ඒ සඳහා සියුම් නවීන උපකරණ තිබිය යුතුයි. එමගින් අතීතයේ නිකුත් වූ ශබ්ද තරංග වුණත්, වෙන් කර හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා.
බුද්ධ ශූන්‍ය කල්පයක කෙසේ වෙතත්, මේ වගේ මහා භද්‍ර කල්පයක (බුදුවරු පස්දෙනෙකු පහළ වන) නම් “බුද්ධ” කියන උතුම් තත්වය සහ “බුද්ධ ශක්තිය” වගේම බුදු ගුණ රාවයන්” සක්වළ තුළ ප්‍රතිරාව දෙනවා. මහා හිමාලය ආශි‍්‍රතව හුදකලාභූමිවල භාවනා කරන යෝගාවචරයන්ට ඒ බව වඩා හොඳින් පසක් වී ඇති බව පැවසෙනවා.
අතීත මිනිසුන් විශ්වයට එක් කළ ආශිර්වාද ප්‍රාර්ථනා නිසා විශ්වයෙහි කිසියම් විවිධත්වයක් ඇති කරනවාද?
ඒ සඳහා බලපාන දේවල් අතර, ආශිර්වාද, ප්‍රාර්ථනා විතරක් නොවෙයි, සාපයන් පවා තිබිය හැකියි. කුවේණියගේ දිවි දෝෂයන් එවැනි දෙයක් හැටියටයි, විශ්වාස කරන්නේ. ආත්මීය පෙම්වතුන්ගේ ප්‍රේමයේ හඬද විශ්වයේ රැදී පවතින බව භාරතීය පේ‍්‍රම කාව්‍යයන්වල දැක්වෙනවා. මේ අනුව, ස්විට්සර්ලන්තයේ ‘බිලිමේයර්’ නමැති තරුණ ගොවියෙකුව සොයා ගෙන ආලෝක වර්ෂ 150 ක් ඈතින් පිහිටි ප්ලීඩියන් නම් චක්‍රාවාටයක ඉඳලා පැමිණි අවුරුදු 336 ක ‘සෙම්ජීස’ නමැති පිටසක්වළ යුවතියක පිළිබඳ විස්තරයක් 2011 දෙසැම්බර් 11 දිනපතා පත්‍රයක පළ වී තිබුණා.
ඒ කොහොම වුණත් මේ විශ්වයේ විවිධත්වයක් පැවතීමට සිතිවිලි තරංග මගින් විශාල බලපෑමක් ඇති කරනු ලබනවා. මෙලෙස සක්වළෙහි අසිරිය හා ස්වභාවය කියාපාන බුද්ධ (සූත්‍ර) දේශනා 50 ක ට අධික සංඛ්‍යාවක් චිරන්තන බුදුදහමේ දැක්වෙනවා. අග්ගඤ්ඤ ,ධජග්ග, දක්‍ෂිණ, විභංග පටම කෝසල, සප්ත සූරියෝද්ගමන හා බ්‍රහ්මජාල මෙන්ම චක්‍රවර්ති සිහනාද ආදි සුත්‍ර දේශනා ඒ අතර කැපී පෙනෙනවා.
(සැ.යු. මළවුන්ට පින්දීම, පේ‍්‍රතයන් වූ ඥාතින් 8400 ක්, දුසනසෝ අෙඳීනා සහ අපායේ සොයා ගැනීම් මීළඟ පත්‍රයෙන් බලාපොරොත්තු වන්න.)

සක්වළ සක්මන 07

ආලෝකයේ වේගය ඉක්මවා යන ආධ්‍යාත්මික ශක්ති විශේෂ



ආලෝකයේ වේගය ඉක්මවා යන නියුට්‍රිනෝ වැනි අංශු විශේෂද ඉක්මවා යන විවිධ ශක්ති විශේෂ ලොව කොතෙකුත් නැතුවා නොවේ. ඍද්ධියෙන් යාම, දේවතා එළි ගමන් කිරීම, සිහින පෙනීම, කිබුහුන් යාම හා සත්ව හැසිරීම් රටා ඇතුළු විවිධ ටෙලිපති ක්‍රම මෙවර සක්වළ සක්මනට විෂය වෙයි


අති පූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමියන්ගේ ඤාණා ලෝකයෙන් සක්වළ දකින හත්වෙනි සක්මනයි මේ.

මහානායක හාමුදුරුවනේ ,ආලෝකයේ වේගය ඉක්මවා යන නව අංශු විශේෂ වගේම ආධ්‍යාත්මික ශක්ති විශේෂයනුත් සක්වළ පවතින්නට බැරිද?
මිනිස් සිතිවිලි හෙවත් චිත්ත තරංග ගමන් කරන වේගය ඉතාම වේගවත්. මේ බව නූතන විද්‍යාත්මක පර්යේෂණවලිනුත් අනාවරණය වූ සත්‍යයක්. ඒ නැතත්, ඔබට ඇසිපිය හෙළන නිමේෂයකටත් කලින් ඔබ ආගිය ලොව ඕනෑම ස්ථානයකට සිතිවිලි හරහා යාමට අවකාශය තිබෙනවා. මෙලෙස මනෝකායෙන් කෙරෙන සංචාර හා ටෙලිපති (Telepathy) ක්‍රියාවලිය හරහා සිදුවන චිත්ත තරංග ආලෝකයේ වේගය පැහැදිලිව අභිබවා යනවා.
2011 සැප්තැම්බර් 26 හා 29 දිනමිණ ඇතුළු දිනපතා පුවත්පත්හි විදෙස් පිටුවල “අයින්ස්ටයින්ට වැරදුනා” මෙන්ම සාපේක්‍ෂතාවාදයත් අභියෝගයට ලක්වේ’ යනුවෙන් පුවත් පළ වී තිබුණා. ඒවා යටින්,ආලෝකයේ වේගය වන තත්පරයට කි.මී. 299,792 (සැතපුම් 186,282) ඉක්මවන වේගයකින් නියුට්‍රිනෝ (Neutrino) නමැති අංශු විශේෂය ගමන් කරන බව අනාවරණය කරතිබෙනවා.
1905 දී මහාවිද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ ලොවම පිළිගත් “සාපේක්‍ෂතාවාදයේ” කථාවත් මෙලෙස මිථ්‍යාවක් වුණා නම්, විද්‍යාවේ නිගමන වෙනස් වෙන එක ගැන කියන්න වෙනත් පැහැදිලි කිරීම් අවශ්‍ය නැහැ. මේ අනුව, අලුතින් සොයා ගත්ත ආලෝකයේ වේගය ඉක්මවා යන නියුට්‍රිනෝ (Neutrino)  අංශු විශේෂය පිළිබඳ නවීන විද්‍යා භෞතික නිගමනයක් ඉදිරියේදී නිසැකවම වෙනස් වේවි.

එහෙමනම්, බුදුදහමේ එන අධ්‍යාත්මික අනාවරණ වුණත් වෙනස් වීම්වලට බඳුන්වීමට ඉඩක් නැද්ද?
බුදුදහම කියන්නේ, නවීන විද්‍යාව ඉක්මවා ගිය ප්‍රායෝගික දර්ශනයක්, පුහුදුන් මනසින් අයින්ස්ටයින් දැක්ක දේට වැඩි දෙයක් බුදු ඇසින් දැක තිබෙනවා.එබඳු බුද්ධ දැක්මකුයි,බුදු දහමේ විග්‍රහ වෙන්නේ. බුදු,පසේ බුදු, මහරහත් ප්‍රමුඛ මනස දියුණු කරපු උතුමන් සක්වළ සිසාරා ඍද්ධියෙන් වැඩියේ ඔය අංශු විශේෂ සියල්ලටම වඩා වැඩි වේගයකිනුයි. අද අපිට සුලභ ලෙස එබඳු ඍද්ධිමය සංචාර ඇස නොගැටුණත්, ඊට ආසන්න වේගයකින් ගමන් කරන දේවතා එළි අදටත් හුඟ දෙනෙක් දකිනවා.
මේ ළඟ (ඉකුත් පසළොස්වක පෝයක) දී පස්යොදුන් රට ඓතිහාසික දළුග්ගලකන්ද පුදබිමේ ඉපැරණි වෘක්ෂයක සිට ඊට යාබද ගමේ පිහිටි විහාරය (බෝපිටිය ශ්‍රී සීලවංශාරාමය) දෙසට විදුලිය පරයන වේගයකින් “දේවතා එළියක්” වැනි ආලෝක ධාරාවක් ගමන් කරනු තමන් සියසින් දුටු බව නන්දලාල් උදය සහ කුසුම් පි‍්‍රයන්ත යන මහත්තුරු අපට විස්තර කෙරුවා. මීට පෙරද මේ ගමේ හුඟදෙනෙක් ඔය වගේ “දේවතා එළි” අනන්තවත් දැක තිබෙනවා.

දෙව් මිනිස් ශක්ති විශේෂ (චිත්ත තරංග) වගේ තිරසන් සතුන්ටත් ආලෝකයේ වේගය ඉක්මවා යන සත්ව සන්නිවේදනයන් තිබිය නොහැකිද?
ඔය පිළිබඳව දැනට ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල සාර්ථකව අත්හදා බලපු E.S.P. (Extra Sensory Perception)  නමැති පර්යේෂණයක් තියෙනවා. එමගින් යම් තැනක සිදුවන දෙයක් එයින් සැතපුම් දහස් ගණනක් ඈතට වුවත් ඒ මොහොතෙම (එසැනින්) දැනෙන බව අනාවරණය වී තිබෙනවා.
මේ අනුව, මී පැටවෙකු හා උගේ මව යොදාගෙන කරපු එක් පරීක්‍ෂණ වාර්තාවක මෙසේ දැක්වෙනවා. එනම්, මී පැටවෙකුව උගේ මවගෙන් වෙන්කර සැතපුම් දහස් ගණනක් ඈත වෙනත් දූපතකට රැගෙන ගොස් මී පැටියාව මරණවිට උගේ මව (එසැනින්) තිගැස්සීමට පත් වෙනවා. බොහෝ සත්ව විශේෂ යොදා ගෙන කරන ලද පර්යේෂණවලදී මෙවැනි ක්‍ෂණික තිගැස්සීම් හා තැති ගැනීම් ස්වභාවිකව සිදු වන බව හඳුනා ගෙන තිබෙනවා. කුමන සත්ව විශේෂ අතර වුවද ඔවුනොවුන්ගේ සිතේ බැඳියාව ඊට තදින්ම බලපානවා.

ටෙලිපති (Telepathy) කියන්නෙත් එහෙම සිතකින් සිතකට ක්‍ෂණිකව සිතිවිලි ගලායාමකටද?
ඔව්. ආචාර්ය ආතර් සී ක්ලාක් මහතා ලියූ World of Strange Powers කෘතියෙන් “ටෙලිපති “ ක්‍රමය පිළිබඳව විවිධ විග්‍රහයන් කර තිබෙනවා. දුරකථන (Telephone) පණිවිඩයකටත් වඩා ඉක්මනින් ටෙලිපති (Telepathy) මගින් සිතකින් සිතකට පණිවිඩ යැවිය හැකියි. ඊට එම දෙදෙනා අතර පවතින සංවේදීබව ඍජුවම බලපානු ලබනවා. “ටෙලිපති” පිළිබඳව බටහිර රටවල අවධානයට යොමු වුණේ 19 වැනි සියවසේ ආරම්භයත් සමගයි. නමුත්, ඒ පිළිබඳ පෙරදිග නැඹුරුව හා විශ්වාසයන් ඊට වඩා බොහෝ ඈතට දිවයනවා.
විශේෂයෙන් “සිහින” හෙවත් “සප්න” හරහාද සිදුවන්නේ,මෙම “ටෙලිපති” ක්‍රියාවලියේම එක්තරා අංගයක්, එනම්, දැනට සිදුවෙමින් පවතින සිදුවීම් වගේම ඉදිරියට සිදුවිය හැකි සංසිද්ධීන් විවිධ සංකේත හා අනාවැකි සාධක මගින් නිරූපණය වෙනවා. මනෝ විද්‍යාවට අනුවත්, “ සිහින” යනු පිළිගත හැකි සන්නිවේදන ක්‍රියාවලියක්. මනෝ විද්‍යාවේ පියා වන සිග්මන් ප්‍රොයිඩ් විසින් 1905 දී ප්‍රකාශයට පත් කරනු ලැබූ ““The Interpertation of Dreams” ” නමැති ග්‍රන්ථයෙන් “සිහින” පිළිබඳව දීර්ඝ ලෙස විශ්ලේෂණය කර තිබෙනවා.
සිග්මන් ප්‍රොයිඩ්ට අනුව “සිහින” (Dreams) යනු අවරෝධිත ඉච්ඡාවක් පිටතට පැමිණීමකුයි. “සිහින” තුළ දකින සංකේත ඇතැම්විට සැමට පොදු නොවූවත්, යම් යම් සංකේත පොදු වූවක් බව ඔහු පෙන්වා දෙනවා. ස්ත්‍රී ශරීරය , උද්‍යානය, සර්ථයා මුතුමැණික් ඉටිපන්දම්, ආගමික කුළුණු හා දොරපියන් ඒ අතර වන කිහිපයක්. එහෙත්, සිහින දකින්නාගේ පුද්ගලික තත්වයන් තේරුම් නොගෙන, නිසි නිගමනවලට ඒම වැරැදි සහගත බවද හෙතෙම අවධාරණය කරනවා.

එතකොට චිරන්තන බුදු දහමේ සිහින පිළිබඳව කර ඇති විග්‍රහයන් කෙබඳුද?
‘ධාතුකේඛාහ’, ‘අනුභූ®තපුබ්බ’, ‘දේවතොපසංහර’ සහ ‘පුබ්බ නිමිති’ වශයෙන් සිහින කියන (පෙනෙන) හේතු හතර (04) ක් බුදුදහමේ දැක්වෙනවා.
1.පිත් දොස් කිපීම් (ධාතුකේඛාහ) නිසා සිහින පෙනෙන විට අහසේ යනවා වගේ, උඩකින් බිමට වැටෙනවා වගේ, ඇතුන් වන සතුන් හා සොර සතුරන් ලුහුබැඳ එන්නා වගේ පෙනෙනවා.
2.අනුභූතපුබ්බ හෙවත් පෙර දුටු හෝ ඇසූ පිරූ කරන ලද හෝ තදින් යටි හිතට කා වැදී තිබුණු යම් යම් දේවල් ද විවිධ ස්වරූපයෙන් සිහිනෙන් පෙනෙනවා.
3.දෙවියන් විසින් (දේවතොපසංහර) යහපත හෝ අයහපත පිණිස මිනිසුන්ට නොයෙක් අරමුණු ‘ සිහින’ වලින් දක්වනු ලබනවා.
4.පෙර කරන ලද (පුබ්බ නිමිති) කුසල කර්ම අනුව ඉදිරියට සිදු වන්නට යන යහපතක් හෝ විපතක් කලින් දන්වනු පිණිස විවිධ සිහින පෙනෙනවා. සිදුහත් කුමරු ඉපදීමට පෙර මහමායා දේවිය දුටු පස්මහ සිහින වගේම කොසොල් රජතුමා දැක්ක සිහින දහසයත් මෙම සිහින ගණයට අයත් වෙනවා.

මේ වගේ “ටෙලිපති ක්‍රම” හරහා සිදුවන සිතුවිලි තරංගවලට කිසියම් සීමාන්තික බවක් තිබිය හැකිද?
නැහැ. යහපත් සිතිවිලි දහරාවලට සක්වළ සිසාරා යා හැකියි. බුදු,පසේ බුදු, මහරතන් ආදි චරිත කථාවල එන විවිධ සංසිද්ධීන් හරහා මේ බව වඩාත් තිරසර වෙනවා. අදටත් හිමාලය ඇතුළු මහ වන පෙත්වල නිහඬව බවුන් වඩන භාවනා යෝගීන්ට රුදුරු වන සතුන්ගෙන් කිසිදු අනතුරක් සිදු වෙන්නේ නැහැ. එනම්, ඔවුන්ගේ මෛත්‍රියෙන් පිරුණු සිතිවිලි තරංග හරහා සියලු වන සතුන් දමනය වෙනවා. පාරිලෙයිය වනයේදි අප බුදු හිමියන් සමග සතුන් ක්‍රියා කළ අන්දමෙන් වගේම ප්‍රකෝප වූ නාලාගිරි ඇතුන් බුදුරදුන් ඉදිරියේ දණින් වැටී කීකරු වීමෙනුත් මේ බව කියාපානවා.
ඒ වගේම, සක්වළ පවතින ටෙලිපති ක්‍රමවල හෝ ඊට අයත් වන විෂය පථවල හෝ සීමාවක් දැක්වීමට බැහැ. දැන්, හිතවත් කෙනෙක් පිළිබඳව සිහිපත් (මතක්) කිරීම සහ ඉතා ඈත ප්‍රදේශයක සිටින එම තැනැත්තාට එය දැනීම එකවර “කිබුහුන් යාම” ආදි විවිධ ස්වරූපයෙන් එය දැන් වීමට පුළුවන්, ඇතැම්විට, සත්වයන්ගේ විවිධ හැසිරීම් රටාවල මේ දේවල් ප්‍රකාශ වෙනවා. නැදෑයින්, හිතවතුන් ගෙදරට එනවා නම්, පූසන් (බළලුන්) සිය සිරුර පිරිසුදු කිරීම හා කපුටන් උදෑසන කරව් කිරීම මගින් එය කියාපාන බව ගම්මුන් විශ්වාස කරනවා.
පුරාණ සංස්කෘත ග්‍රන්ථවල සහ දඹදෙණි යුගයේදි ලියැවුණ ‘දෛවඥ කාම ධේනුව” ආදි කෘතිවල මේ පිළිබඳ ගැඹුරින් විස්තර වෙනවා. ඇතුන්ගේ, අශ්වයින්ගේ හා පක්‍ෂීන්ගේ මෙන්ම නොයෙක් ගුප්ත සතුන්ගේ විවිධ හැසිරීම් රටා මගින් මෙබඳු “ටෙලිපති ක්‍රම “ පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණය කෙරෙනවා.මේ සක්වළ,පුදුම තැනක් පමණක් නොවෙයි, අපට හිතා ගැනීමටත් බැරි දේ සිදු වන තැනක් කියන්නේ ඒ හින්දායි.

(සැ.යු. පිට සක්වළින් එන සංඥා ,හඳුනා නොගත් රහස් සහ සක්වළ කැලඹිලි පිළිබඳව මීළඟ පත්‍රයෙන් බලාපොරොත්තු වන්න)

සක්වළ සක්මන - 06


ආලෝකයේ වේගය හඹා යාම



ජීවීන් බිහිවන සතර යෝනි, එම ශරීරවල ස්වභාවයන්, සුවාසූ ධර්මස්කන්ධයන් සහ ආලෝකයේ වේගය අතික්‍රමනය වීම මෙන්ම නිවහල් ජීවනාලෝකය මෙවර “සක්වළ සක්මනේ” විෂය පථය වේ.

බුදු ඇසෙත්, විදු ඇසෙත් අසිරිය විනි විද දකින අති පූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමියන්ගේ ඤාණාලෝකයෙන් ඔබ රැගෙන යන සක්වළ සක්මනේ හයවැනි පියවරයි මේ,

මහ නායක හාමුදුරුවනේ, වෙනත් ලෝකවල ජීවීන්ගේ, පහළ වීම කොහොමද සිදු වෙන්නෙ ?
ඒ, ඒ ජීව ලෝකවල පවතින ස්වභාවයන්ට අනුගතවයි, ජීවීන්ගේ පහළ වීම සිදුවෙන්නේ. දැන් අපි ජීවත් වෙන මේ මනුෂ්‍ය ලෝකයේ වුණත් එකම විධියට ජීවීන් හට ගන්නේ නැහැනේ. වරක් අපේ බුදු හාමුදුරුවෝ අග්‍ර ශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේට ජීවීන් උපදින සතර යෝනී පිළිබඳව විස්තර කර තිබෙනවා.
එනම්, බිත්තර (අණ්ඩජ යෝනි) වලින් උපදින ජීවීන්, වැදෑමහ (ජලාබුජ යෝනි) මව්කුස ඇසුරෙන් උපදින සත්වයින්, අපද්‍රව්‍ය - තෙතමනය (සංසෙදජ යෝනි) ආශි‍්‍රතව උපදින ජීවීන් සහ අඟ පසඟ සහිතව (වැඩී) පහළ වන සත්වයින් වශයෙනුයි. කළල රූපයක් ක්‍රමිකව වැඩීමකින් තොරව ඕපපාතිකව පහළ වන ජීවී කොටස් ද මෙලෙස විවිධ ලෝකවල වෙසෙනවා.
ඒ වුණත්, භෞතික විද්‍යා ඉගැන්වීම්වලට අනුව ස්ත්‍රී, පුරුෂ සම්යෝගයක් නැතිව ප්‍රමාණාත්මක ඇසට පෙනෙන ජීවීන් හට ගන්නේ නැහැ නේද?
ඔබ ඔය කියන න්‍යායන් සක්වළ ධර්මතාවලට පටහැනියි. දැන් බලන්න, කෙකනියන් ගැබ් ගන්නේ කොහොමද කියලා. මේඝ (වැසි) ගර්ජනා හඬටයි, උන් ගැබ් ගන්නේ. ඔවුන් අතර ස්ත්‍රී වර්ගයේ සත්වයින් හැර ඔබ කියන අන්දමේ පුරුෂ වර්ගයේ සත්වයින් සමග සංවාසයක් සිදුවන්නේ නැහැ. නමුත් සොබා දහමත් සමග බැඳුනු කෙකනියනුත් (බලාක යෝනියෙහි) ගැබ් ගන්නවා. මේඝ ගර්ජනා නැතිවුණ අහසක් මතු කාලයක නිර්මාණය වුණොත් පමණයි, කෙකනියන්ගේ ගැබ් ගැනීම නතර වෙන්නේ. එතෙක් පුරුෂ සත්වයන් නැතත් කෙකනියන්ගේ ගැබ් ගැනීම සිදු වෙනවා.
එතකොට, ඕපපාතිකව උපදින්නේ, මොන වගේ සත්ව විශේෂද?
බොහෝ විට එහෙම පහළ වෙන්නේ ඉතා සූක්‍ෂම ප්‍රමාණවල ශරීර කොටස් ඇති සත්ව විශේෂයි. නිරා සතුන් සහ භූත, ප්‍රේත, පිශාච, කුම්භාණ්ඩාදී අමනුෂ්‍යයින් වගේම දේව, බ්‍රහ්ම කොට්ඨාසත් මේ ගණයට අයත් වෙනවා. දෙවිවරුන්ගේ මෙම ඕපපාතිකව පහළ වීම පිළිබඳව ‘සංයුක්ත අට්ඨ කථාවල’ මෙන්ම ‘යෝගාචාරභූමි’ වැනි පුරාතන ග්‍රන්ථවලද විස්තර කර තිබෙනවා. ඒ වගේම ත්‍රිපිටකයේ නොයෙක් තැන්වල දෙවි බඹුන්ගේ පහළවීම් පිළිබඳව දැක්වෙනවා. විශේෂයෙන් දිව්‍ය ශරීරවල සියුම් (සූක්‍ෂම) බව අංගුත්තර නිකායේ ‘සමචිත්ත’ සහ ‘හත්ථක’ වැනි සූත්‍රවල විස්තර කෙරෙනවා. දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයේ ‘කේවට්ට සූත්‍රයෙන්’ බ්‍රහ්ම කායික ලෝකවල සියුම් ශරීර පිළිබඳවත් දීර්ඝ ලෙස විස්තර කර තිබෙනවා.
මෙවැනි සියුම් ශරීර ඇති ජීව ලෝක දැක ගැනීමට කුමන අන්දමේ ඤාණ ගවේෂණයක් අවශ්‍ය වෙනවාද?
දෙව්, බඹුන් දැක ගන්නට නම් අෂ්ට ඤාණය ප්‍රමාණවත් වෙනවා. ඒ කියන්නේ, දිබ්බචක්ඛු, ඉද්ධිවිධ, චෙතොපරිය, යථාකම්මූපග, අනාගත, පච්චුප්පන්න, අතීත, පුබ්බේනිවාසානුස්සති යන ඤාණ අටයි. අපේ බුදුහාමුදුරුවන්ට තවත් ඤාණ සම්භාරයක් ඇතුළු අෂ්ට පරිවත්ත අධි දේව ඥානය පවා තිබූ බව සඳහන් වෙනවා.
මේ නිසායි, බුදු රදුන් හැරුණු කොට සෘද්ධිමතුන් අතර අග තැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ සහ දිබ්බචක්ඛු ඤාණාලාභීන්ගෙන් අගතැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ වැනි මහ රහතන් වහන්සේ කිහිප නමක් පමණක් දෙව්, බඹුන් සමග සමීපව කටයුතු කර තිබෙන්නේ.
එසේ නම් බුදුරදුන්ගේ මහා ඤාණ සම්භාරය සුවාසු දහසක් ධර්මස්කන්ධයකට සීමා වුණේ ඇයි?
පන්සාලිස් (හතළිස් පස්) වසරක් තුළ විනය පිටකය 21, 000 ක්, සූත්‍ර පිටකය 21, 000 ක් හා අභිධර්ම පිටකය 42, 000 ක් වශයෙන් ඔබ කියපු පරිදි සුවාසූ (84,000) දහසක ධර්මස්කන්ධයක් දේශනා කොට වදාරා තිබෙනවා. සත්වයන්ට සසරින් එතර වෙන්න, මේ ධර්මස්කන්ධය ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වෙනවා. නමුත්, උන්වහන්සේ සතු දැනුම හා දැක්ම ඊටත් වඩා බොහොම වැඩියි. ඒ බව සංයුක්ත නිකායේ, සිංසපා සූත්‍රයෙන් මෙසේ විස්තර කෙරෙනවා.
දවසක් බුදු හාමුදුරුවෝ මහා සංඝයා පිරිවරා ගෙන වන පෙදෙසක් මැදින් චාරිකාවේ නිරත වන අතර ඇට්ටේරියා ගසක් යට විවේක සුවයෙන් වැඩ සිටි සේක. එවිට එම ගසින් බිම වැටී තිබුණ කොළ මිටියක් බුදුරදුන් අතට ගෙන මෙහෙම විමසනු ලැබුවා.
‘මහණෙනි, මේ මගේ අතේ තිබෙන කොළද වැඩි නැති නම් මේ ගසේ තිබෙන කොළ ද වඩා වැඩි’ යනුවෙන් එවිට නොපැකිලිව මහා සංඝයා ‘ගසේ කොළ ඉතා වැඩි’ යැයි තථාගතයන් වහන්සේට පිළිතුරු දී සිටියා. ඉන් පසු බුදුහාමුදුරුවෝ විසින් ‘මහෙණනි මේ ගහේ කොළ ද වැඩි, නැතිනම් මේ වනයේ කොළ ද වඩා වැඩි’ යනුවෙන් නැවතත් විමසනු ලැබුවා. එවිටත් මහා සංඝයා ‘වනයේ කොළ ඉතා ම වැඩි’යි යනුවෙන් පිළිතුරු දුන්නා.
ඉනික්බිතිව, එලෙසම ‘මහණෙනි, බුදුවරු දැනගත් ධර්මය මේ වනයේ ඇති කොළ තරම් බොහෝ වැඩි බවත්, බුදුරදුන් ලොවට දේශනා කොට වදාළේ අතේ ඇති කොළ මිට මෙන් ඉතා සුළු ප්‍රමාණයක් බවත් විස්තර කර තිබෙනවා. ඉන් පැහැදිලි වෙනවා, බුදුරදුන් දේශනා නොකළ ධර්මය එම වනයේ කොළ තරම් ඉතා වැඩි බව. උන්වහන්සේ එසේ කළේ, ලොව්තුරා සම්මා සම්බුදු කෙනෙකු සාර සංඛ්‍යෙ කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ පාරමී දම් සම්පූර්ණ කරමින් අවබෝධ කර ගත් මහා ධර්මස්කන්ධය ලෝකයාට විෂය නොවනු නිසා විය යුතුයි.
එය එකළ පැවති භක්තිවාදී බමුණු සමාජයට විෂය නොවුණත්, නවීන විද්‍යාවේ දියුණුවෙන් කෙළ පැමිණි නූතන සමාජයට නම් විෂය විය හැකියි නේද?
අදටත් භක්තිවාදී අන්තවාදී මිථ්‍යා ආගම් අදහන අන්ධ ලබ්ධිකයින්ගෙනුයි ලෝකය පිරී පවතින්නේ. නවීන විද්‍යාත්මක කැමරා උපකරණවලට ඉඳහිට දේවතා එළි හා විවිධ ආලෝක දහරාවන් සටහන් වුණාට, ඒවායේ සූක්‍ෂම භාවයන් අවබෝධ කර ගැනීමට තරම් විඥානය දියුණු කර ගෙන නැහැ. නවීන විද්‍යාවෙන් නිරූපණය වෙන්නේ, භෞතික හා යාන්ත්‍රික ඡායා දැක්මක්. නමුත්, අධ්‍යාත්මික සූපසන් දැක්මකුයි, බුදුදහමේ දැක්වෙන්නේ. විද්‍යා (ඉජඪඥදජඥ) යන වදන, බුදුදහමේ විස්තර වෙන්නේ, ‘විජ්ජා’ යනුවෙන්. බුදු දහමට අනුව ‘විජ්ජා උදපාදී’ කියන්නේ නිවැරදිව යමක් අවබෝධ කර ගැනීමටයි.
නමුත් නවීන විද්‍යාවෙන් අද නිගමනය කරන හුඟක් දේවල් හෙට දවස වන විට වෙනස් වෙනවා. ඒ දේවල් පිළිබඳව නිවැරැදිව අවබෝධ කර නොගැනීම නිසායි, ඒවා කලින් කලට වෙනස් වෙන්නේ. මේ නිසා අද තියෙන්නෙත්, අවිද්‍යාව හෙවත් අනවබෝධය පිරුණු භෞතික සමාජයකුයි.
මහා විද්‍යාඥ, සාපේක්‍ෂතාවාදයේ පියා වූ ඇල්බට් අයින්ස්ටයින්ටත් වැරදුණේ මේ නිසා ද?
ඔව්, එතුමා සාපේක්‍ෂතා වාදයෙන් ලොවට අනාවරණය කළ ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් සක්වළ පවතින කිනම් වස්තුවකට හෝ ගමන් කළ නොහැකිය යන අදහස පවා අද වන විට අභියෝගය ලක් වී තිබෙනවා. ලොව පිළිගත් විශිෂ්ටතම විද්‍යාත්මක නිගමනයත් වසර සියය (100) ක් ගත වීමට පෙර වෙනස් වුණා නම්, අනෙකුත් විද්‍යාත්මක නිගමන පිළිබඳ ඉතින් කවර කථා ද?
ජිනීවාහි විද්‍යාඥයන් පිරිසක් කළ විස්මය ජනක සොයා ගැනීමකට අනුව, ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන අංශු විශේෂයක් හඳුනාගෙන තිබෙනවා. මහාචාර්ය ජෙනී තෝමස් පවසන පරිදි මෙම සොයා ගැනීම නිසා භෞතික විද්‍යාවේ මූලික තේරුම් ගැනීම පමණක් නොව සක්වළ තේරුම් ගැනීමද ගැටලුවක් වී තිබෙනවා. ‘ඒක හරියට මේ සක්වළේ හැමදේම ඔලුවෙන් හිටෙව්වා වගේ වැඩක්. ඒ ගැන හිතන කොටත් ඔලුව අවුල් වෙනවා වගෙයි’ යනුවෙන් ඇය (මහාචාර්ය ජෙනී) විදෙස් මාධ්‍යයන්ට පවසා තිබුණා.
එහෙනම් විද්‍යාවේ නිගමන වලින් ඔලුව අවුල් නොවීමට නම්, බුදු දහමෙන් දෙන උපදේශය කුමක්ද?
ඔව්, ‘විජ්ජා චරණ සම්පන්නෝ’ යන ගාථා පාඨයෙන්ම ‘විද්‍යාව හා චරණ ධර්ම’ පිළිබඳව විස්තර කෙරෙනවා. බුදුරදුන් සොයා ගත්තා වූ සෑම දෙයක් සමඟම හැසිරීම් රටාවක් සහ චර්යාධර්ම පද්ධතියකුත් නිර්දේශ කර තිබෙනවා. එමගින් මිනිසාගේ සිතට ආධ්‍යාත්මික සුවයක් කැඳවනවා. මේ නිසා එම අවබෝධයෙන් මිනිසාට හෝ පරිසරයට හෝ විපතක්, අනර්ථයක් සිදු වෙන්නේ නැහැ.
ලෝකයේ ස්වභාවය මේ බඹයක් පමණ වූ ශරීරය තුළින් අවබෝධ කරගත හැකි බවත්, එහි ලොව ඇති සියලු ධාතු කොටස් දැක ගත හැකි බවත් අංගුත්තර නිකායේ, චතුක්ත නිපාතයේ බුදුරදුන් විස්තර කර තිබෙනවා. එබැවින් බඹයක් පමණ වූ ශරීර කොටස්වලින් යුතු තමා, තමන්වම නිවැරදිව දැක ගැනීම ලෝකය දැකීමක් වැනිය යන්න එම බුද්ධ දේශනාවෙන් මොනවාට පැහැදිලි කෙරෙනවා.

සැ.යු. පිටසක්වලින් එන සංඥා, සක්වළ ශබ්ද හා අපායේ සොයා ගැනීම් මීළඟ පත්‍රයෙන් බලාපොරොත්තු වන්න.

සක්වළ සක්මන - 05


දෙවි බඹුන් වෙසෙන ලෝක



ආකාසට්ඨක දෙවිවරු, අබ්භවළාහක දෙවිවරු, උණ්හවළාහක දෙවිවරු, සීත වළාහක දෙවිවරු, වස්ස වළාහක දෙවිවරු, චාතුම්මහාරාජක දෙවිවරු, සතරවරම් දෙවිවරු, තාවතිංස දෙවිවරු, ශක්‍ර දෙවියෝ, යාම දෙවිවරු, සුසාමය දෙවිවරු, තුසිත දෙවිවරු, සන්තුසිත දෙවිවරු, නිර්මාණරතී දෙවිවරු, සුනිර්මිත දෙවිවරු, වශවර්ති, දෙවිවරු, වශවර්ති දිව්‍ය රාජයා, බ්‍රහ්මපාරිසජ්ජ බ්‍රහ්මයෝ, බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්මයෝ, මහා බ්‍රහ්ම බ්‍රහ්මයෝ, පරිත්තාභ බ්‍රහ්මයෝ අප්පමාණභ බ්‍රහ්මයෝ, ආභස්සර බ්‍රහ්මයෝ ,පරිත්තසුභ බ්‍රහ්මයෝ, අප්පමාණසුභ බ්‍රහ්මයෝ, සුභකිණ්න බ්‍රහ්මයෝ, වේහප්පල බ්‍රහ්මයෝ, අවිභ බ්‍රහ්මයෝ, ආතප්ථ බ්‍රහ්මයෝ, සුදස්ස බ්‍රහ්මයෝ, සුදස්සි බ්‍රහ්මයෝ සහ අකණිට්ඨ බ්‍රහ්මයෝ ඒ අතර සිටිනවා

ඇසළ පොහොයෙන් ඇරඹි “ සක්වළ සක්මන “ අව අටවක, අමාවක සහ පුර අටවක පසුකොට නිකිණි පුන් සඳ අභියසට පාතබා ඇත. සහස්සි ලෝකධාතු, බුද්ධ අසිරිය, මඟුල් සක්වළවල්, කර්ම විෂය, සක්වළ ගල, මහමේරු පර්වතය, අනෝතත්ත විල සහ කිදුරු කොදෙව් එහිදී අපට දිස් විය.

අතිපුජ්‍ය බෙල්ලන ඤාණවිමල
මහ නාහිමියෝ ඤාණාලෝකයෙන්
දෙව් බඹුන් වෙසෙන ලෝක සහ
අනාගත අභ්‍යවකාශ සෝපාන
මෙසේ දැක ගනිමු. සක්වළ සක්මනේ
පස්වෙනි පියවරයි මේ.


මහානායක හාමුදුරුවනේ, මේ අනන්තවත් සක්වළවල් අතර අපි හුදකලා ලෝකයක ජීවත් නොවීමට නම්, අප වටා තවත් ජීව ලෝක තිබිය යුතු නේද? ඒ මොනවාද?
ඉතා පැහැදිලිව ජීව ලෝක 31 ක් ගැන බුදුදහමේ විස්තර කර තිබෙනවා. කාම ලෝක 11 ක්, රූප ලෝක 16 ක් හා අරූප 04 ක් ඒ අතර වෙනවා. අප ජීවත් වන මනුෂ්‍ය ලෝකය ඇතුළු තිරිසන් ලෝකය, පේ‍්‍රත ලෝකය, පේ‍්‍රතාසුර හා නිරය මෙන්ම සදෙව් ලෝකය (දිව්‍ය ලෝක 06) මෙම කාම ලෝක 11 ට ඇතුළත් වෙනවා.
ඒ වගේම, රූප ලෝක ගණයට සොළොස් බඹ ලොවක් ගැන විස්තර කෙරෙනවා. ඊගාවට ,ආකාසනාඤ්චායතනය ආදී අරූපාවචර ලෝක (සිත මිස ඇති කය නැති බඹ ලොව) හතරක් පිළිබඳවත් විස්තර වෙනවා.
මීට අමතරව අංගුත්තර නිකායේ “චූලනිකා සූත්‍රයෙහි” සක්වළ (චක්‍රාවාට) ගැන කර ඇති බුද්ධ දේශනාවෙන් මේ වගේ ජීව ලෝක පිළිබඳව තවදුරටත් තොරතුරු අපට හමුවෙනවා. එනම් ‘සහස්සධා ලෝක “ධාතුවෙහි (චක්‍රවාට හෙවත් සක්වළ දහසක්හි) සඳ හිරු දහසක්, බුදුවරු උපදින ජම්බුදීප දහසක්, සදෙව් ලෝක දහසක් හා බ්‍රහ්ම ලෝක දහසක් ආදි වශයෙන් අනන්ත සක්වළවල් අතර එබඳු තවත් ජීවලෝකද තිබෙනවා. මෙවැනි තැන් සිඛී බුදුරදුන්ගේ (මණ්ඩ කල්පය ) අභිභු රහතන් වහන්සේට පවා විෂය වූ බව අප ගෞතම බුදුරදුන් ආනන්ද හිමියන්ට එහිදී විස්තර කර තිබෙනවා.
අපට ඍජු ලෙස සම්බන්ධ ඉහළ ජීව ලෝකවලට ඇති භූගෝලීය දුර ආසන්න වශයෙන්වත් විස්තර කරන්න පුළුවන්ද? ඔව් සාමාන්‍යයෙන් “චාතුම් මහා රාජිකය” දිව්‍ය ලෝකය මනුලොව සිට සිරස්ව (ඉලිප්සාකාරව නොව) යොදුන් හතළිස් දෙදහක් උසින් පිහිටා ඇති බවට විශ්වාස කෙරෙනවා. එනම්, මහමේරු පර්වතයට පිරිවරව සිටින යුගන්ධර නම් දිව්‍ය (සූක්‍ෂම මිනිස් ඇසට නොපෙනෙන) පර්වතය මත පිහිටි බව කියවෙනවා.
ඊඟාවට “තාවතිංසය” (තව්තිසා දිව් ලොව) යුගන්ධර පර්වතයෙන් යොදුන් හතළිස් දෙදහක් (මනුලොව සිට යොදුන් අසූ හතර දහසක්) ඉහළ මට්ටමේ පිහිටා ඇතැයි සැලකෙනවා. මේ “චාතුර් මහා රාජිකය” හා “තාවතිංසය” යන දෙදෙව් ලොවට අධිපති (ප්‍රධානියා) වන්නේ සක්‍රයා හෙවත් සක්දෙව් රජුයි.
එතැන් සිට ඉහළට එක් එක් දිව්‍ය භූ®මියක්ම පිහිටා ඇත්තේ, එකකට එකක් යොදුන් හතළිස් දෙදහස බැගින් උසින් සිටින සේයි. මේ අනුව, සලකන විට පරනිම්මිත වසවත්ති දෙව්ලොව පිහිටා ඇත්තේ පෘථීවි මට්ටමෙන් යොදුන් දෙලක්‍ෂ පනස් දෙදහසක් පමණ උසකිනුයි.
මේ සදෙව් ලෝකවලටත් ඉහළිනුයි. බ්‍රහ්ම ලෝක ක්‍රමිකව ඉහළට පිහිටා ඇත්තේ, එහි “බ්‍රහ්ම පාරිසජ්ජය” පහළම බ්‍රහ්ම ලෝකය වන අතර ඉහළින්ම පිහිටා ඇත්තේ, “අකණ්ඨක” නම් බ්‍රහ්ම ලෝකයයි. ලෝහ ප්‍රසාදයෙහි (ලෝවාමහාපාය) සත්වෙනි කූටාගාරයට සමාන මහා විශාල පාෂාණයක් (ගලක්) එම බඹලොව සිට පහළ (බිම ) ට දැමුවහොත් එය අවම වශයෙන් පෘථිවියට වැටීමට මාස හතරක්වත් ගත වේවි. ඒ තරම්ම දුරකිනුයි බඹලොව පිහිටා තියෙන්නේ. මේ ලෝකවලට අපිට යා හැක්කේ, සිත දියුණු කිරීමෙනුයි. ඒ සඳහා කුසල් වැඩීමෙන් හැර, ඒ වෙත ළඟාවිය හැකි වෙනත් භෞතික නවීන යානා නැහැ.
එතකොට, එම ඉහළ තලවල පිහිටි ජීව ලෝකවල වෙසෙන දෙව් බඹුන් පිළිබඳව බුදුදහමේ විස්තර වෙන්නේ කොහොමද?
ශක්‍ර දේවේන්ද්‍ර ,වසවර්ති දිව්‍ය රාජයා සහ සුබ්‍රහ්ම දිව්‍ය රාජයා ප්‍රමුඛ අවශේෂිත වූ දෙව් බඹුන් රාශියක් ඒවායේ වාසය කරනවා. අංගුත්තර නිකායේ, දුක නිපාතයේ “සමචිත්ත සූත්‍රය” අසා සාධු නාද පැවැත්වු දෙව්වරුන්ගේ නම් අංගුත්තර අත්ථී කථාවෙහි දැක්වෙනවා. එහි සොතායතන නොලැබෙන අසඤ්ඤසත්තයෙහි හා අරූපාවචර ලෝකවල සත්වයන් හැර සොතාතනය පවත්නා දෙතිස් (32) දෙවිවරු පිළිබඳව පමණක් විස්තර කෙරෙනවා. එම පිරිස් මෙසේයි.
ආකාසට්ඨක දෙවිවරු, අබ්භවළාහක දෙවිවරු, උණ්හවළාහක දෙවිවරු, සීත වළාහක දෙවිවරු, වස්ස වළාහක දෙවිවරු, චාතුම්මහාරාජක දෙවිවරු, සතරවරම් දෙවිවරු, තාවතිංස දෙවිවරු, ශක්‍ර දෙවියෝ, යාම දෙවිවරු ,සුසාමය දෙවිවරු, තුසිත දෙවිවරු, සන්තුසිත දෙවිවරු, නිර්මාණරතී දෙවිවරු, සුනිර්මිත දෙවිවරු, වශවර්ති, දෙවිවරු, වශවර්ති දිව්‍ය රාජයා , බ්‍රහ්මපාරිසජ්ජ බ්‍රහ්මයෝ, බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්මයෝ, මහා බ්‍රහ්ම බ්‍රහ්මයෝ, පරිත්තාභ බ්‍රහ්මයෝ අප්පමාණභ බ්‍රහ්මයෝ, ආභස්සර බ්‍රහ්මයෝ ,පරිත්තසුභ බ්‍රහ්මයෝ, අප්පමාණසුභ බ්‍රහ්මයෝ ,සුභකිණ්න බ්‍රහ්මයෝ,වේහප්පල බ්‍රහ්මයෝ ,අවිභ බ්‍රහ්මයෝ, ආතප්ථ බ්‍රහ්මයෝ, සුදස්ස බ්‍රහ්මයෝ, සුදස්සි බ්‍රහ්මයෝ සහ අකණිට්ඨ බ්‍රහ්මයෝ ඒ අතර සිටිනවා.
මේ කියපු දෙව් බඹුන්ගේ ආයු කාලයත් එකිනෙක පිරිසට වෙනස් වෙනවාද?
ඔව් චාතුම්මහාරාජිකයේ දිව්‍ය වර්ෂ 500 යි. තාවතිංසයෙ දිව්‍ය වර්ෂ 1000 යි. යාමයේ දිව්‍ය වර්ෂ 2000 යි. තුසිතයේ දිව්‍ය වර්ෂ 4000 යි. නිර්මාණ රතියේ දිව්‍ය වර්ෂ 8000 යි. පරනිම්මිතවසවත්තියේ දිව්‍ය වර්ෂ 16000 යි වශයෙන් ආයුකාලය දක්වා තිබෙනවා. මෙම ආයු කාලයන් මනුෂ්‍ය වර්ෂවලට වඩා බෙහෙවින් වැඩිවෙනවා. ඉහළ බ්‍රහ්ම ලෝකවල ආයු ප්‍රමාණය දිව්‍යලෝකවල ආයු කාලයටත් වඩා ඉතාම වැඩියි.
ඉහළ බ්‍රහ්ම ලෝකවල ඉහත නම් සඳහන් කළ බ්‍රහ්මයින් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඒවායේ වෙසෙන බව “ආටානාටිය සූත්‍රයේ” විස්තර වෙනවා. ආටානාටියේ කියැවෙන සත්බුදුවරු (විපස්සි, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා අප ගෞතම යන බුදුවරුන් සත්දෙනා) සියැසින් දුටු අනාගාමී බ්‍රහ්මයන් ඉහළ බඹතලවල තවමත් වැඩ වෙසෙනවා. ඒ නිසායි, ඉතා මෑත කල්පවල (ආසන්නතම) බදුවරුන්ගේ නම් “ආටානාටිය” ට ඇතුළත් කර තිබෙන්නේ.
ඒ වගේම, සහසක් සක්වළ දෙව් බඹුන් අප ගෞතම බුදුරදුන් සහ මහා සඟරුවන දැකීමට දඹදිව කිඹුල්වත් නුවර මහා වනයට පැමිණි බව “මහා සමය සූත්‍රයේ ” දැක්වෙනවා.දෙවියන් හා අසුරයන් අතර පැවති සටනක් ගැන හා ප්‍රජාපති වරුණ ඊසාන දෙවිවරු පිළිබඳව “ධජග්ග සූත්‍රයේ” සඳහන් වෙනවා.
අප ගෞතම බුදු හාමුදුරුවෝ “මනුෂ්‍ය ලෝකේ සිට එබදු දිව්‍ය ලෝක වෙත වැඩම කළ අවස්ථා පිළිබඳවත් බුදුදහමේ විස්තර වෙනවා නේද?
ඔව්. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සත්වෙනි වස් කාලය ගත කළේ “තව්තිසා” දෙව් ලොවේ. එහිදි මාතෘ දිව්‍ය පුත්‍රයා (පෙර මහමායා දේවිය) ප්‍රමුඛ දිව්‍ය සමූහයාට උන්වහන්සේ අභිධර්මය දේශනා කරන්නට යෙදුණා. එම කාලය තුළ අප බුදුරදුන්ට ඇප උපස්ථාන කරනු ලැබුවේ. සක්දෙවි ඇතුළු දෙවිවරුන් විසිනුයි.
එම වස්තුන් මාසයෙන් පසු, බුදුහිමියන් යළි මනුලොව වෙත දඹදිව සංකස්සපුර නගරද්වාරයෙන් වැඩම කිරීම සිදුවුණා. එලෙස දිව්‍යලෝකයේ සිට මනුලෝකය (පෘථිවිය ) ට වැඩම කළ අසිරිමත් අවස්ථාව “දේවාරෝහණ උත්සවය” ලෙස හඳුන්වනවා. එය කලින් දැනගෙන මුගලන් හිමියන් (ඍද්ධිමතුන් අතර අගතැන් පත් හා අග්‍රශ්‍රාවක) ඊට අවැසි වූ සියලු කටයුතු සූදානම් කරන්නට යෙදුණා.
ඒ අනුව, බුදුරදුන් වැඩම කරන මොහොතේ, ඉන්දියාවේ සංකස්සපුරයට රැස්ව සිටි සැදැවතුන් අතර සිරිවඩ්ඩන සිටු පුත්‍රයා ද වුණා. සංකස්සපුර සිරිවඩ්ඩන සිටු පුත්‍රයා හෙවත් මේ මහා භද්‍රකල්පයේ අවසන් බුදුවරයා වන මෙත් බෝ සතුන්ද දිව්‍ය ශ්‍රීය දැක බලා පැහැදි ගෞතම බුදු සසුණේ පැවිදි වී උපසම්පදාව ලබා ගැනීම විශේෂ සිද්ධියක් වෙනවා.
බුදුරදුන්ගේ මෙම මනුෂ්‍ය දිව්‍යලෝක ගමනය සහ පිටසක්වල තරණය කිරිමේ “අනාගත අභ්‍යයවකාශ සෝපාන” ක්‍රමය අතර කිසියම් සාම්‍ය බවක් තිබෙන්නට බැරිද?
ඔබ ඔය “අනාගත අභ්‍යවකාශ සෝපාන” ක්‍රමය කියන්නේ, ආචාර්ය ආතර් සී ක්ලාක් මහතාගේ අවසාන විද්‍යා ප්‍රබන්ධයක් වන ඊඩඥ ඹ්චඵබ ඊඩඥධපඥථ (අවසන් සිද්ධාන්තය) කෘතියේ එන සංකල්පය විය යුතුයි. එම කෘතියේ , එතුමා (ආතර් සී ක්ලාක්) ඒක විස්තර කර තියෙන්නෙ මෙහෙමයි.
ගුරුත්වය ද ජය ගනිමින් අභ්‍යවකාශ සෝපානය ශ්‍රී ලංකාවේ ඉදිවෙද්දී ඉන්දියන් සාගරයේ “ලාස් වේගාස්” යන අනුවරත නාමය කොළඹ නගරයට ලැබෙයි” යනුවෙන්.
ක්ලාක් මහතා කියපු” චන්ද්‍රිකා තාක්‍ෂණය,’ පිළිබඳව අනාවැකිය සැබෑ වු පළියටම මේ කියන ගුරුත්වයද ජය ගනිමින් අභ්‍යවකාශ සෝපානය ලංකාවේ ඉදිවෙනවා කියන අනාගත අනාවැකිය කොයිතරම් දුරට යථාර්ථයක් වෙයිද කියන්න බැහැ. එහෙම වුණත් හැබැයි, භෞතිකව නිර්මාණය කරන ඔය කියන අභ්‍යවකාශ සෝපානවලින් අපේ සක්වළ ළඟ තියෙන ග්‍රහලෝක වලට ගියත්, ඉහල තලවල පිහිටි දිව්‍ය ලෝකවලට නම් යන්න බැහැ.

(සැ.යු. තරු දොරටුව ආලෝකයේ වේගය, අපායේ සොයා ගැනීම් සහ සක්වළ ශබ්ද මීළඟ පත්‍රයෙන් බලාපොරොත්තුවන්න)

සක්වළ සක්මන -04


ලොව නිර්මාණය කරන්නෙකු හෝ රකින්නෙකු නැද්ද ?



අනෝතත්ත විල කුසුම නෙළාලා, අනෝතත්ත විල සිදිලා යන තුරු හා උදුම්බරා මලක් ප්‍රියේ ආදරයෙන් මෙන්ම සඳ කිඳුරා මිය ගියා ආදී ගීතවලට බුදුදහමේ එන මූලාශ්‍රයන් වස්තු විෂය වී ඇත. ඒවා, සක්වළේ සක්මන් කරන අපගේ ද ඇස ගැටෙයි.
අති පූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමියන්ගේ ඤාණාලෝකයෙන් එම ලෝකය මෙලෙස දැක ගනිමු.
මහ නායක හාමුදුරුවනේ, ‘ මහා මේරු පර්වතය’ වගේම, ‘ අනෝතත්ත විල’ ත් පිහිටා තියෙන්නේ, අපේ සක්වළේ ද ?
ඔව්, අපේ අසල්වැසි ඉන්දියාව හෙවත් දඹදිව ඇති ගංගා, යමුනා, අචිරවතී, සරභූ සහ මහී යන පංච මහා ගංගාවන් ආරම්භ වෙන්නෙත් මේ විලෙනුයි. දඹදිව පිහිටි සප්ත මහා විල්වලින් එකක් වන ‘ අනවතත්ත විල’ චිත්‍රකූට, කාලකූට, ගන්ධමාදන හා සුදර්ශන යන මහා පර්වත සතරින් වට වෙලයි තියෙන්නේ.
ගව් ගණන් දිග පළල ඇති මේ අනවතත්ත විල් ජලය බුදු, පසේ බුදු, මහරහත් ආදි උතුමන් වගේම සෘද්ධිමත් දිව්‍ය, නාග ආදීන් ද පාරිභෝග කරනවා. එකළ සහ මෙකළ සෘද්ධිමත් යෝගාවචරයින්ට ගෝචර වූ තැනක් බොහෝවිට මනුෂ්‍යයන්ට විෂය වෙන්නේ නැහැ. එමගින් එහි පාරිශුද්ධතාවට හානි සිදුවිය හැකියි.
නමුත්, අනවතත්ත විලට බැසීමට පියගැට (පඩි) පෙළක් ඇති බවත්, එහි නාන තොටුපලවලින් යුක්ත බවත් දැක්වෙනවා. විශේෂයෙන්, අශෝක අධිරාජ්‍යයා (ධර්මාශෝක රජ) ද අනවතත්ත විල් ජලය ස්නානය කර තිබෙන බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා.
එහෙමනම්, ගගනගාමීන්ට පවා තවමත් මේ මහා විල දර්ශනය වෙලා නැත්තේ ඇයි ?
‘අනවතත්ත විල’ කියන්නේ හිරු ට අනාවරණය නොවූ, රත් නොවන විල කියන අදහසයි. හිරු එළිය පවා හරිහැටි නොවැටෙන මනරම් කඳු ශිඛරවලට හා තුරු ලතාවලට මැදි වී, සිසිල් ජලයෙන් මේ විල හැම කාලයේදීම පිරී පවතිනවා. මහා හිමාලය මධ්‍යයේ පිහිටි ‘අනවතත්ත විල’ සම්පූර්ණයෙන්ම සූර්යාලෝකයට නිරාවරණය වී සිඳී යන්නේ, සිව් (හතර) වෙනි හිරුගේ පහළ වීමෙන් පසු බව ‘සප්ත සූර්යෝද්ගම සූත්‍රයේ’ දැක්වෙනවා. සම්බුද්ධ දේශනාවක් වන සූත්‍ර පිටකයට අයත් අංගුත්තර නිකායේ මහා වග්ගයෙහි එන එම සූත්‍රයෙන් ඒ පිළිබඳව මෙසේ විස්තර කරනවා.
“මහණෙනි, සතරවෙනි සූර්යයාගේ පහළවීමෙන් මහා නදීන්ගේ පටන් ගැනීමේ මූලස්ථානය වූ අනවතත්තය, සිංහ ප්‍රපාතය, රථකාරය, කණිමුණ්ඩය, කුණාලය, ඡද්දන්තය, මන්දාකිනිය යන සප්ත මහා විල්වල ජලය ද සිදී වියළී යන්නේය.“
කොහොම වුණත්, දැනට වර්ෂ කිහිපයකට පෙර මහා හිමාල වන පෙදෙසට ඉහළින් ගමන් කළ ගුවන් නියමුවෙකුට එහි කඳු පාමුල අතු පතර තුරු ලතා ආදියෙන් වැසී ගිය ඉතා විශාල දර්ශනීය අපූර්ව විලක් දර්ශන වූ බවට පුවතක් දෙස් විදෙස් මාධ්‍යවල ප්‍රචාරය වුණා. ඒවගේම යුරෝපයෙන් වර්ෂ දහස් ගණනක් හිමෙන් වැසී තිබී, ගෝලීය උණුසුම ඉහළයාමත් සමග මතු වූ එබඳු වෙනත් විශාල විලක් පිළිබඳව පසුගියදා ( 2012 මැයි ) ප්‍රවෘත්ති වාර්තා අනාවරණය කළා.
අභිනව කල්පයක ආරම්භයේදී මුලින්ම මල් පිපෙන්නේත්, අනෝතත්ත විලේ කියන්නේ ඇත්තද ?
ඔව්, එහෙම අදහසක් තිබෙනවා. කල්ප විනාශයෙන් පස්සේ සක්වළ අලුතින් නිර්මාණය වීමේදී “මහා බෝධි පර්යංකය පිහිටන ජයභූමි ස්ථානය සියල්ලටම පළමුව පිහිටනවා. ඊගාවට ක්‍රමිකව ඒ ආසන්නයේ විලක නෙළුම් පැළයක් හට ගන්නවා. නිර්මාණය වුණ අලුත් කල්පයේ ලොව්තුරා බුදු කෙනෙකු පහළ වෙනවා නම් එහි නෙළුම් මලක් පිපෙනවා. එම කල්පයේ පහළවීමට නියමිත බුදුවරු ගණන අනුවයි එහි නෙළුම් මල් පිපෙන්නේ. එය මහා භද්‍ර කල්පයක් නම් විතරමයි, මල් පහක් විකසිත වෙන්නේ. එය බුද්ධ ශූන්‍ය කල්පයක් නම් එකදු මලක්වත් එහි පිපෙන්නේ නැහැ.
එකල දොළොස් වන ‘අව්හ’ නම් බඹලොව ඇතුළු පංච ශුද්ධවාස බඹලොව වෙසෙන බඹුන් එක්ව විමසා බලන්නේ, මේ කල්පයේ බුදුවරු කී නමක් පහළ වේද ? එම පෙර නිමිති බලන්නට යමුයි කියා මහා බෝධි මණ්ඩල භූ®මිය කරා පැමිණ ඒ ආසන්නයේ පිහිටි විලේ පිපි නෙළුම් මල් අසිරිය දැක සාදු නාද දී ශුද්ධාවාස වෙත නැවත ගමන් කරනවා.
මෙහෙම මුලින්ම නෙළුම් මල් පිපෙන විල වන්නේ අනෝතත්ත විල බවට විවිධ වශ්වාස පවතිනවා. එය සැබෑවක් නම්, ලොව අවසානයටම සිඳි වියළී විනාශ වන විල වගේම, නව ලොව නිර්මාණයෙන් පසු ප්‍රථමයෙන්ම දිය පිරි මල් පිපි විල වන්නේත්, මේ “අනවතත්ත විල” යි
භෞතිකවාදීන්ට අනුව ඒක මනඞකල්පිත දෙයක් වෙන්න බැරිද ?
ඔය කිය සමහර භෞතිකවාදීන් බෞද්ධ සාහිත්‍යයේ වර්ණනා වෙන “උදුම්බරා“ ආදී මල් විශේෂයනුත් එහෙම මනඞකල්පිත යැයි සලකා යටගියාවේදී බැහැර කරනු ලැබුවා. අවසානයේදී මොකද ? වුණේ. ඔවුන්ටම ඒවා යථාර්ථවාදී දේවල් බව අකමැත්තෙන් වුණත් අද පිළිගැනීමට සිදුවි තිබෙනවා.
2010 මාර්තු 05 වැනිදා දිනපතා පුවත්පතක විදෙස් (11) පිටුවේ “උදුම්බරා මලක් චීනයේ“ යනුවෙන් පුවතක් පළ කර තිබුණා. මෙහි ඇති විශේෂත්වය ලෙස දක්වා තිබුණේ, එය වසර තුන්දාහක (3, 000) ට වරක් පමණක් පිපීමයි. මේ මලෙහි විශ්කම්භය මිලි මීටර් එකක (01) යි. මේ දුලභ වර්ගයේ ගසේ නාරටියේ පණු බිත්තර මෙන් සුදු පැහැති තිත් වර්ගයක් පළමුව දුටු බවත් ඊට පසු සුදු පැහැති කුඩා මල් 18 ක් පිපී තිබෙනු දුටු, තමන් පුදුම වී බවත් එම ගෙවත්තේ හිමිකාරිය වූ 50 හැවිරිදි මියෝවෙයි මාධ්‍යයන්ට පවසා තිබුණා. ඒ වගේ, බුදු දහමේ එන හැම දෙයක්ම කාලයත් සමග සැබෑ වෙනවා. දැන් පන්සිය පනස් ජාතක පොතේ එන 455 වෙනි ජාතකය (සමුද්‍ර වානිජ) කියවපු භෞතිකවාදීන් හුඟ දෙනෙක් ඒකෙ විස්තර කෙරෙන මුහුද ගොඩ ගලන කථාව පිළිගත්තාද? නමුත්, අද එබඳු සිද්ධීන් ලොව පුරා වාර්තා වීමට පටන් ගැනීමත් සමඟ ඔවුන් නිරුත්තර වී සිටිනවා. අනෙක් දේවලුත් ඉදිරියේදී පිළිගැනීමට සිදු වෙන බවට සැකයක් නැහැ.
ඒ වුණාට, චන්න කින්නර ජාතකයේ විස්තර කෙරෙන දිය කිඳුරන්, දිය කිඳුරියන් හුදෙක්ම මනඞකල්පිත සත්වයින් ලෙස ඔවුන් හුවා දක්වනවා නේද ?
එහෙනම්, ලංකාවේ මඩකලපුවේ කල්අඩි පාලම ළඟ සින්දු කියන වැනි ශබ්ද නිකුත් කරන මාලු විශේෂ ගැන ඔවුන් මොකද කියන්නේ. ඊඟාවට, පුත්තලම, මන්නාරම ආසන්න මුහුදු තීරයේ ඉන්න මුහුදු ඌරා (Dugong) සහ ‘මැන්පියා’ වැනි දිය කිඳුරන්ට සමාන ශරීර ලක්‍ෂණ තියෙන මාලු විශේෂ පිලිබඳවත් ඔවුන් දන්නේ නැතිව ඇත. මනුෂ්‍ය මුහුණටයි, මාලුවාගේ හැඩහුරුකමයි ගන්න සත්ව විශේෂ වේ. සක්වල කොතෙකුක් ඉන්න බැරිද ? ඕනතරම් ඉන්න පුළුවන්.
විශ්වයේ කොයි ඉසව්වක හෝ නොමැති නැතහොත් කවර කාලයකදී හෝ නොසිටි සත්ව කොට්ඨාස පිිළිබදව බුදු දහම කොතනවකවත් විස්තර වෙන්නේ නැහැ. මහා හිමාලය තුළ එබඳු කිඳුරු කොදෙව් අදටත් බිහිවිය හැකියි. ඒත්, හිමාලය ආශ්‍රිතව සිදු කළ හෝ සිදු කෙරෙන විමර්ශන ඉතාම අල්පයි. එහෙම එකේ, අපිට “සඳකිඳුරුදාවතේ එන විස්තර ලේසියෙන් බැහැර කරන්න බැහැ.
මෙවැනි අසිරිමත් ජීවී – අජීවී දේවල් අනන්තවත් ලොව නිර්මාණය කර තිබෙන්නේ සහ ඒවා ආරක්‍ෂා කරන්නේ කවුරුන්ද ?
මජ්ඣිම නිකායේ “රට්ඨපාල සූත්‍රයේ” ලෝකය (විශ්වය) නිරන්තරයෙන් අස්ථිර බවත්, එය නිර්මාණය කරන්නෙකු හෝ රකින්නෙකු නොමැති බවත්, එහි රැකගත යුතු කිසිවක් නොමැති බවත් වගේම අවසානයේදී සියල්ල හැරදා යායුතු බවත් විස්තර කෙරෙනවා. මේ නිසා මෙම අනිත්‍ය ස්වභාවය සියලු සංස්කාර ධර්මයන්හි අඩංගු වූ බව පමණක් අප වටහා ගත යුතුයි. මේ සියලු දෙයම අනිත්‍ය වන්නේ, ලොව සියලු ජීවී හා අජීවී කොටස් හේතුන් නිසා හට ගෙන තිබීම නිසා බව අංගුත්තර නිකායේ, “චතුක්ක නිපාතයේ” වැඩිදුරටත් විස්තර කර තිබෙනවා. කර්ම විපාක විෂය අනුවයි, ලොව බොහෝ ජීවීන් හා ඔවුන්ගේ ස්වභාවයත් නිර්මාණය වෙන්නේ.
ඒ අනුව, ඕනෑම ශරීරයක් නිර්මාණය වෙන්නේ, ජානවල බලපෑම අනුවයි. ඊඟාවට ජීවියාගේ වැඩීම සිදුවන්නේ, එම පරිසර සාධක හා දේශගුණික තත්ත්වයන්ට වගේම පරිභෝජනය කරන සම්පත්වලට (ආහාර පාන ඇතුළු) අනුගතවයි. ඊළඟට එම ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වගේම පරිභෝජනය කරන සම්පත්වලට (ආහාරපාන ඇතුළු) අනුගතවයි. ඊළඟට එම ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හා හැකියාවන් නිර්මාණය වෙන්නේ. ඔවුන්ගේ සමාජ හා මානසික වර්ධනය අනුවයි. ඒක මනුෂ්‍ය ප්‍රජාව දිහා බැලුවාම වුණත් පැහැදිලි වෙනවා. චීනයේ මිනිසුන්ගේ හැඩරුව හා වර්ණය මෙන්ම ස්වභාවය අප්‍රිකාවේ මිනිසුන්ට වඩා වෙනස් වී තිබෙන්නේත් මේ හේතූන් නිසායි. මේ ස්වභාවය පිටසක්වල ජීවීන් හෝ අපායවල දුක් විඳින ජීවීන් දිහා බැලුවත් මොනවාට පැහැදිලි වෙනවා.

සැ. යු. පිටසක්වල ජීවීන්, අපායේ ශබ්ද සහ වෙනත් ලෝක පිළිබඳව මීළඟ පත්‍රයෙන් බලාපොරොත්තු වෙන්න.)


1 comment:

  1. sir meka hugak wadagath .meke ithuru tikath danna 1 idan piliwelata

    ReplyDelete