ලොව
සුන්දරම මරණයට ඔබටද හිමිකමක් ඇත...
ඉන්ද්‍රජිත්
සුබසිංහ මහතාගේ මහ
රහතුන් වැඩි මග ඔස්‌සේ ලිපි පෙළින් උපුටාගත් සටහනකි.
2012 නොවැම්බර්
මස 25 වැනිදා ඉරිදා දිවයින
සතර අපායෙන් මිදෙමු 16 වැනි කොටස....
ධර්මය තුළ ජීවත්වන
පිංවත් ඔබට, ඔබගේම
ජීවිතය දෙසට හොඳින් සිත යොමුකරලා බැලුවහොත්, වැරැද්ද, නිවැරැද්ද
හොඳින්ම පෙනෙනවා. ධර්මය කියලා කියන්නේ අනිත්‍යයට. යමක් අනිත්‍ය යෑයි අපි නුවනින් දකින
කොට, ඒ
කෙරෙහි බිය සකස් වෙනවා. මොකද ඒ වෙනස් වන දෙයක්. මේ
වෙනස්‌වීම නොදන්නා කෙනා,
ස්‌වභාවයෙන්ම වෙනස් වන දෙයක් වෙනස් නොවී පවත්වා ගැනීමට වෙහෙස ගන්නවා.
එතැනදියි දුක
සකස් වෙන්නේ. සද්ධර්මයෙන් ඈත්වීම නිසා නිත්‍ය සංඥාවන් තුළින් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ
ධර්මයන් ගැනීමෙන් වර්තමාන සමාජය ලෝභය, ද්වේෂය, මෝහය තුළින් ඔද්දල් වෙලයි තියෙන්නේ. විනාශය දැක
දැකත්, විනාශය
ගැන කථා කරමින්ම, එහි
ආදීනව දකිමින්ම
විනාශය දෙසටමයි සැවොම ගමන් කරන්නේ.
තෘෂ්ණාව, ඔබට ලස්‌සනට පාර පෙන්වනවා තව වේගවත්ව ඉදිරියට යන්න. ද්වේෂය ඔබට ඇති තරම් ආත්මශක්‌තිය ලබාදෙනවා, හිරි ඔතප් හීන කරලා දෙනවා, ඇති වන ඕනෑම බාධකයක් මැඩගෙන ඉදිරියට යන්න. මෝහය ඔබට ආශිර්වාද කරනවා 'මේ මාර්ගයමයි සැප ඇති මාර්ගය' කියලා තව තවත් ඒත්තු ගන්වන්න. දුකේ කළ්‍යාණ මිත්‍රයන් තිදෙනාගේ ඇකයේ උණුසුමට තුරුල් වුණාම දැනෙන ගොරෝසු පහසට ඔබ හරිම කැමතියි. මේ කුණු සැපය විඳිමින්ම ඔබ පන්සල් යනවා. සිල් සමාදන් වෙනවා. දානමානත් දෙනවා. සද්ධර්මයත් ශ්‍රවණය කරනවා. ඒ කියන්නේ මොකද්දෝ බියකුත් තියෙනවා. සැබැවින්ම, ඒ බියත් සකස් කරලා දෙන්නේ ලෝභ, ද්වේශ, මෝහය විසින්මයි.
තමන් කැමති කරන්නා වූ කුණුසැපයේ ආරක්‍ෂාව උදෙසා, අර්ථයෙන් තොරව ජීවිතයේ කොනක් ධර්මයේ ගැට ගසනවා. තමා තමාවම රවටාගන්නවා. කුණු සැපයේ ආරක්‍ෂාව උදෙසා ධර්මයේ රැකවරණය අපේක්‍ෂා කරනවා.
මෙය තමයි සැබෑම පෘතග්ජනභාවය. අයෝනිසෝමනසිකාරය. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ වර්ධනය උදෙසා, දියුණුව උදෙසා ධර්මයේ පිහිට සොයනවා. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ මිදීම උදෙසායි අප සද්ධර්මයේ සරණ සෙවිය යුත්තේ. වර්තමාන සමාජය ගමන් කරන්නේ සද්ධර්මයේ අර්ථයට පරස්‌පර විරෝධී ගමනකයි. මමත්වයේ දැඩිභාවය නැමැති, ඔබ හඳුනා නොගත් කුණු හැව, සකස් වෙන පංච උපාදානස්‌කන්ධයන්ගෙන් වෙලී ඇති නිසා, සැබෑ මාර්ගය වැසී නොමගටමයි පාර පෙන්වන්නේ.
වැරදි මාර්ගය
ඔස්‌සේම නිවැරදිවීමට යැමේ පුංචි සිද්ධියක් පිංවත් ඔබට
මෙහි සටහන් තබනවා.
මෙය සටහන්
තබන භික්‍ෂුව හමුවට ධර්මය අහන්න එන ශ්‍රද්ධාවන්ත දරුවෙක්
ඉන්නවා. ඔහු විවාහකයෙක්. ළමා වයසේ දරුවන් කිහිපදෙනෙක්
ඉන්නවා. මේ මහත්මයා සද්ධර්මය නිසාම ජීවිතය නිවැරදි
කරගත් අයෙක්. දිනක් මේ මහත්තයා කියනවා 'දරුවන්ගේ අකීකරුකම්
නිසා, මගේ
බිරිඳට හරියට කේන්ති යනවා. එයාට කොච්චර කිව්වත් කේන්තිගන්න එපා කියලා, මොහොතකින් එය
අමතක වෙනවා. හැබැයි
මම කියලා කියලා දැන් හුඟක් අඩුවෙනුයි කේන්ති ගන්නේ' කියලා.
දවසක් ඒ නෝනාට කේන්ති ගිය වෙලාවක මහත්තයා උපක්‍රමයක් වශයෙන් කියලා තියෙනවා 'ඔයා කේන්ති ගන්න නිසා ඔයාගේ මුහුණ දැන් කැත වෙලා. ඒ නිසා ඔයා කේන්ති ගන්න එපා' කියලා. ඒත් මහත්තයා එහෙම කියපු වෙලාවේ ඉඳලා ඒ නෝනා කරන්නේ මිල ගණන් අධික, ලස්‌සන වෙනවාය කියන ක්‍රීම් වර්ග අරගෙන මුහුණේ ආලේප කරන කටයුත්තලු.
බලන්න. වැරදි මාර්ගය ඔස්‌සේමයි අපි නිවැරදි වෙන්න හදන්නේ.
ලෝකය නිවැරදි
කරන්න අපට බැහැ. ඒ නිසා ලෝකය කමටහනක් කරගෙන පිංවත් ඔබ
නිවැරදි වෙන්න. ලෝකය නිවැරදි කරන්න බැරි බව නුවණින් හඳුනාගෙනම....
එවිටයි ඔබට පුලුවන් වෙන්නේ වඩාත් නිවැරදි තැන ඔබගේ සිත පිහිටුවාගන්න. වඩාත් නිවැරදි තැන තමයි සද්ධර්මය.
එවිටයි ඔබට පුලුවන් වෙන්නේ වඩාත් නිවැරදි තැන ඔබගේ සිත පිහිටුවාගන්න. වඩාත් නිවැරදි තැන තමයි සද්ධර්මය.
'අනිච්ජාවත සංඛාරා' සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි. ඔතැනම තිබෙනවා, ලෝකය නිවැරදි
කරන්නට බැරි බවට බුදුරජාණන් වහන්සේ දෙන සහතිකය. පිංවත් ඔබ ධර්මයේ අර්ථයට
විවෘත වෙන්න. එවිට එය සමාජයටත් ආදර්ශයක් වේවි. සංස්‌කාරයන්ගේ අනිත්‍ය බව තමයි
ලෝකයේ තිබෙන
සංකීර්ණභාවයට, අධිවේගීභාවයට
හේතුව. පිංවත් ඔබ සෑම මොහොතකම මෙනෙහි කරන්න 'මම මැරෙණවා'ය කියන
කාරණය. නැවත මැරිලා ඉපදෙනවාය කියන කාරණය. පාංශකූලය, හත්දවසේ, තුන්මාසේ
පිංකම්.... සාම්ප්‍රදායික
මළගෙදරක චාරිත්‍ර වෙනුවට මිය යැමට පෙරම ඔබ, මරණින් මතු සුරක්‍ෂිත පුද්ගලයකු වන්න.
එවිටයි ඔබට අවස්‌ථාව ලැබෙන්නේ ඔබම රැස්‌කරපු සංස්‌කාර හේතුවෙන් ලබන භවය
අනුන්ගේ පිං ගොටුවකින්
යැපීමට අවශ්‍ය නොවන තැනට පත්කරගන්න.
කෙනෙක්
මැරුණාට පසු ඔහුගේ මරණය ගැන කම්පා නොවී, ජීවත්ව සිටින විට තමාගේ
මරණය ගැන සිතන්න. මරණයත් සමග ජීවත්වෙන්න. එය හරිම සුන්දර
ඇත්දැකීමක්. මරණයේ සුන්දරම අත්දැකීම ලබන්නේ රහතන්වහන්සේය.
මරණය උන්වහන්සේට ආශිර්වාදයකි. මංගල කාරණාවකි. උන්වහන්සේ
අවිද්‍යාව අවසන් කර ඇත. ඒ උත්තමයා දුකත්, සැපත්, උපේක්‍ෂාවත් අනිත්‍ය බව ප්‍රත්‍යක්‍ෂ
කොට ඇත. ඒ උත්තමයාගේ මරණය හුදු ක්‍රියාවක් පමණක්‌මය. එය මේ ලෝකයේ ඇති
සුන්දරම මරණයයි. මාර්ගඵලලාභී දෙව් බඹුන් සාධුකාර දෙන මරණයයි. අනෙකුත් දෙවිවරුන්ට
ශෝක උපදවන මරණයයි. මාර පිරිස අත්පොළසන් දෙන මරණයයි. මහපොළොවට පස්‌වන
ඇටකැබලිත් පූජණීයත්වයට පත්වෙන මරණයයි.
බලන්නකෝ
මරණයක තිබෙන වටිනාකම. අපි මරණය අඩු ලංසුවෙන්, අසුබ ලංසුවෙන්
සැලකුවත්, බලන්න, මරණයක ඇති
ගාම්භීරත්වය, ප්‍රෙෘඩත්වය.
කොටින්ම එය මරණයක් නොව නිවී යැමකි. ඔබට මට නොදැනුනාට, රහතන්වහන්සේගේ
මරණය අභියස ලෝක ධාතුව කම්පා වෙයි. ලෝක ධාතුව කම්පාවන්නේ, රහතන්වහන්සේ
අවබෝධ ඥාණයෙන් ලෝක ධාතුව කම්පාකළ අයෙකු හෙයිනි. අයෝමය සතරමහා ධාතුව විනිවිද
දකිමින් අවබෝධ
කළ හෙයිනි. මුළු ලෝක ධාතුවම අනිත්‍යාවබෝධයෙන් හෙළිකොට ගෙන, මුලාව
විනිවිද අවබෝධය කරා ගිය හෙයිනි. ඔහුට ලෝකය තවත් හිස් දෙයක්, ඵලයක් නැති
දෙයක් පමණක්‌මය.
මේ තරම් අර්ථවත්
මරණයක් ධර්මය තුළ තිබියදී,
තුණ්‌ඩු කෑල්ලක නම ගම ලියා පරදත්තරූප ජීවී ප්‍රේත ප්‍රේතියන්ට
පිංදෙමින් අපි
මරණයට මොන තරම් අවනම්බුවක් ද, අගෞරවයක් ද කරන්නේ. හිතන්න. ඔය සාම්ප්‍රදායික
තුණ්‌ඩු කැබැල්ල බිමින් තියලා 'මට නම් ඔය අනුන්ගෙන් පිං ගන්න මරණයක් එපා'ය කියලා. ශ්‍රද්ධාව, වීර්යය මදභාවය නිසා
එච්චර හිතන්න බෑ කියමුකෝ. ඉන් මෙහා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ශීලයෙන්
පරිපූර්ණ පිංවතා, පිංවතිය
මැරෙන්නේ සිහිනුවණින් සාධුකාර දෙමින්ය කියලා. කවුද මේ ශීලයෙන්
පරිපූර්ණ පිංවතා? ඒ
සතර අපායෙන් මිදුණ පිංවතායි. මරණින් මතු ඔහු ලබන උපත මොන තරම් ශ්‍රේෂ්ඨ උපතක්
වේවි ද? ඇයි අපි එවැනි
මරණයකට සූදානම් නොවන්නේ.
ලොකු හෝටලයක
තිබෙන මඟුල් උත්සවයකට අඳින සාරිය ගැන හිතනතරම්වත් අපි මරණය ගැන
හිතන්නේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ, සාරිය ගැන ඔච්චර
හිතන්නේ සාරිය දවටගන්න ඔය කය, මරණයට පත්වෙන කයක් කියලා නොසිතනා
එකමයි. පිංවත් ඔබට මරණය අමිහිරි අත්දැකීමක්. අනුන්ගේ මරණය ගැන
කථාකරන අපි තමාගේ මරණය ගැන සිතීමටත් බිය වෙනවා. අසුන්දර
මරණයක් අභියස ඇති අසුන්දර කථන්දරය වගේම සුන්දර මරණයක්
අභියස ඇති සුන්දර නව ජීවිතය මොන තරම් චමත්කාරජනකද? ලෙඩ ඇඳේ ජීවත්වන
අවුරුදු හැත්තෑපහේ මහළු පිංවතා ද යදින්නේ ජීවිතයයි.
ඔහු තුළ ඇත්තේ ද ජරා, ව්‍යාධි, මරණ පමණක්‌මය.
එහෙත් ඔහුගේ
බලාපොරොත්තුව ජීවීතයයි. ධර්මය සරණ කර නොගත් පුද්ගලයා නිරතුරුවම
සැප - දුක පටලවාගනී. දුක,
සැපයක් කරගන්නා ඔහු සැබෑ සැපයට බියවෙයි. සැබෑ සැපයට අපතුළ බිය සකස් කරන්නේ
අකුසලයයි.
පිංවත් ඔබ, මරණයට
වටිනාකමක් ලබාදීම උදෙසාම,
මරණින් මතු හේතුඵල ධර්මයන්ගෙන් සකස්‌වෙන නව ජීවිතයට වඩාත් හොඳ
වටිනාකමක් ලබාගැනීම
පිණිසම මේ සටහන උපයෝගිS කරගන්න.
මෙය කියවා ඔබ තුළ ජවයක් සකස්‌කර ගන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සිතේ
ඇතිවූ සිතිවිල්ලක්
ඔබේ සිතේ ඇතිකර ගන්න. රහතන් වහන්සේගේ, රහත් භික්‍ෂුණීන්
වහන්සේ නමකගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක් ඔබේ සිතේ ඇතිකරගන්න.
මාර්ගඵලලාභී උපාසක, උපාසිකාවගේ
සිතේ ඇතිවූ සිතිවිල්ලක්
ඔබේ සිතේ ඇතිකර ගන්න.
සටහන් තබන වේලාව රාත්‍රී 1.30යි. නින්ද
අහලකවත් නැහැ. පංච නීවරණ පළාගොසින්. සද්ධර්මයට ඇති හිරිඔතප් දෙක නිසා අදහස් එනවා, දෝරෙගලාගෙන.
භික්‍ෂුව ඒ අදහස් ඉදිරියේ අනිත්‍ය සංඥාව තබන්නේ නැහැ.
පිංවත් ඔබගේ යහපත උදෙසාම... පිංවත් ඔබලාට නොදන්නා යමක්
දැනගැනීම උදෙසාම.... මේ ගලා එන්නේ අදහස් නොව කරුණාවයි. මේ කරන්නේ
සටහනක් තැබීම නොව ධර්මයේ සංදිට්‌ඨික ගුණයේ අර්ථයයි. මේ මධ්‍යම
රාත්‍රිය ගෙවී උදාවන අලුයම ආකාශය සිසාරා සියුම් සංගීත රාවයක්
පැතිරෙනවා. හොඳින් අවධානය යොමු කරන විට ඒ දිව්‍ය සංගීතයයි.
සංගීත හඬ, ජයමංගල
ගාථාවල සංගීත ස්‌වරයයි. සංගීත ස්‌වරය බොහොම පැහැදිළියි. ඒ කියන්නේ දෙවියන් ආයුෂ, වර්ණය, සැපය, බලය ලැබේවා
කියලා සිල්වත් ලෝකයාට ප්‍රර්ථනා කරනවා. ආශිර්වාද කරනවා. දෙවියන් ඒ ආකාරයට
ආශිර්වාද කරනු ලබන දිව්‍ය සංගීත හඬ ඇසෙනවිට භික්‍ෂුවට හොඳටම විශ්වාසයි මේ
මොහොතේ භික්‍ෂුව
අපවත් නොවෙන බව. අතීත සංස්‌කාරයන් තව ගෙවීමට ඇති නිසයි මේ
මොහොතේ ජීවත්වෙන්නේ. නමුත් මීළඟ නිමේශයේ දිව්‍ය තල වලින් ශෝකී
සංගීත රාවයක් භික්‍ෂුවගේ ශ්‍රොaත වලට ඇසුණහොත් භික්‍ෂුව
අනිවාර්යයෙන්ම දන්නවා තමා දැන් මරණයට සූදානම් වෙන්නේ කියලා.
බලන්න
මොනතරම් ආශ්චර්යමත් ධර්මයක්‌ද ඔබ ඉදිරියේ තිබෙන්නේ කියලා. මෙයයි
ධර්මයේ සංදිට්‌ඨික ගුණය. තමා ජීවත්වන බවත්, තමා මැරෙන
මොහොතත් දැනුවත්වයි ඔහු ජීවත්වෙන්නේ. පිංවත් ඔබ ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන්, දේවානුස්‌සතියෙන්
පරිපූර්ණ නම්
ඔබ මැරෙණ මොහොත දෙවියන් දන්නවා. දෙවියන් ඔබට පාවඩ එලනවා දිව්‍ය
තලයකට. බලන්න. මොන තරම් ආශ්චර්යමත් ධර්ම මාර්ගයක්‌ද? මරණය කියන කාරණය මොන තරම් සුන්දර
මංගල්‍යයක්‌ද? පිංවත්
තරුණ ඔබ දෑඟිලි
බැඳලා, අත්පැන්
වත්කරලා, පෝරුවට
නැගලා, ජයමංගල
ගාථා කියවලා
මංගල්‍යයක් කරගතහොත් ඒ බැඳුණු මොහොතේ පටන් ඔබ මොන දුක්‌කන්දරාවක්‌ද
විඳින්නේ. 'මම' කියන දුක
වෙනුවට තව 'මගේ' කියන දුක්
කීයක් කරගහගන්න සිද්ධවෙනවාද? පිංවත් ඔබ බැඳෙන සාම්ප්‍රදායික
මෝහ මූලික බැඳීම් මංගල්‍යවලට වඩා බුදුරජාණන් වහන්සේ දේශනා
කරන ධර්ම මාර්ගය ඔබේ සහකරු,
සහකාරිය කරගතහොත් එයයි සැපයම ඉතිරිය කරගත් සැබෑම මංගල්‍යය. අපි 'මරණය මරණය' යෑයි අඳෝනා තැබුවද, ධර්මයට අනුව
මෙතැන මරණයක් නැහැ. පුද්ගලයෙක් මැරෙණ නිමේශයේම ඊළඟ ප්‍රතිසන්ධිය සකස්‌කර ගන්නවා.
රැස්‌කර ගන්නා
වූ සංස්‌කාරයන්ට අනුරූපීව. අපි මෝහය නිසා කුණුවෙන මළකුණක්
එම්බාම් එකෙන් සරසවලා, ඒකට
මඟුල් ඇඳුම අන්දවලා අඬනවා,
වඳිනවා, විලාප
තබනවා. අපි මේ විලාප තබන්නේ ඒ මොහොතේ භවයේ කොතැනක හෝ
උපත ලබා ඇති සත්වයෙක් වෙනුවෙන්. අන්න ඒ නිසාමයි බුදුරජාණන්
වහන්සේ මළකුණකට වටිනාකමක් නොදී මරණින් මතු ලබන භවය සැපවත්කර
ගැනිSම
උදෙසාම මාර්ගය කියා දෙන්නේ. මෙතැනදීත් අපිට පැහැදිළියි
බුදුරජාණන් වහන්සේගේ ධර්මය මරණය ගැනම කථා කරන ධර්මයක් නොව, මරණින් මතු
සැපයටම මාර්ගය කථා කරන ධර්මයක් කියලා. පිංවත් ඔබයි මෝහ මූලිකව මරණයක් බදාගෙන
ධර්මයේ නැති දුකක්
උපදවා ගන්නේ, තෘෂ්ණාවේ
දැඩිභාවය නිසාම....
ශ්‍රද්ධාව
අඩු පිංවතුන් නිරතුරුවම මැසිවිලි නගනවා, සද්ධර්මයට එරෙහිව. 'බුදුරජාණන්
වහන්සේ දුක ගැනමයි කියන්නේ'
කියන කාරණය 'ධර්මයට
අනුව ගියොත් අපට අඹුදරුවන්,
දේපල තනතුර අත්හරින්නයි වෙන්නේ' කියන කාරණය. නමුත් ගිහි පිංවතුන්ලාට
ධර්ම මාර්ගයට
අදාළව ඉහත කාරණා කිසිවක් අතහරින්න යෑයි කොතනකවත් දේශනා කරලා නැහැ.
පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ඉහත සැප සම්පත් පරිහරණය
කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ ගිහි පිංවතුන්ලාට දේශනා කරන්නේ.
නමුත් පිංවත් ඔබ අත්හැරීමට ගන්නා උත්සහයේ තරමටම දුක අඩු
වෙනවා කියන කාරණය ප්‍රකාශ වෙනවා. පිංවත් ඔබට, බුදුරජාණන් වහන්සේ මරණය ගැන නිතරම
මෙනෙහි කරමින් ජීවත්වෙන්න කියලා කියන්නේ, පිංවත් ඔබට මරණය පෙර සඳහන් කළ පරිදි මංගල්‍යයක්
කරගන්න මිස හඬමින් විලාප තබමින් කරන අවමංගල්‍යයක් තත්ත්වයට
පත්කර ගැනීමට නොවේ. පිංවත් ඔබ මරණයට පෙර සූදානම් වුවහොත්
පමණයි ඔබට මරණය මංගල්‍යයක් කරගන්න අවකාශ ලැබෙන්නේ. එම මරණය නැමැති
මංගල්‍යයේදී සශ්‍රික දිව්‍යතල වල දෙවියන්, දිව්‍යාංගනාවන් ජයමංගල ගාථා සංගීත ස්‌වරය
නගමින්ම ඔබව දිව්‍ය තලවලට පිළිගන්නවා. මේ මනුෂ්‍ය ලෝකයේ කුණු, ජරා, ව්‍යාධි මරණ සැපය වගේද
පිංවතුනේ බුදුරජාණන්වහන්සේගේ ධර්මය තුළින් ඔබට පෙන්වන ශ්‍රද්ධාවේ, ශීලයේ, දානයේ
පංචඋපාදන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වන සැපය. ධර්මයෙන් පිංවත් ඔබට
කථාකරන්නේ ඉහත
මංගල්‍යයක් වන මරණය නමුත් ශ්‍රද්ධාව අඩු පිංවතුන් 'මරණය' ලෙස දකින්නේ මොන
තරම් මෝහ මූලික දෘෂ්ඨිගත මරණයක්‌ද?
ඉන්ද්‍රජිත්
සුබසිංහ
2012 නොවැම්බර්
මස 25 වැනිදා ඉරිදා දිවයින
ග්‍රහයන්ගේ ග්‍රහණයට හසු වූ අසරණයන්ට..
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ
සතර අපායෙන් මිදෙමු 14 වැනි කොටස
ගොනා පසු පස නඟුල එන්නා සේ....

රැස්‌කරනවා. මේක තමයි මාරයාගේ ආර්ථීක විද්‍යාව. ඉල්ලුම, සැපයුම බොහෝම සමතුලිතව සිදුවෙනවා. මෙවැනි ළදරු වයසේ සතුනට හිංසා කරන උදවිය මරණින් මතු මනුෂ්‍ය ජීවිතයක් ලැබුවොත් ළදරු කාලයේදීම රෝගීන් බවට පත්වෙනවා. උපතින්ම ළදරු ශරීරයේ අඟපසඟ, ඉන්ද්‍රිsයන් අඩුයි, විකෘතියි. කුසල් වගේම අකුසල්ද විපාකදීමේදී බොහෝම සාධාරණවයි ඒවා සිද්ධවෙන්නේ. මේක අසාධාරණයි කියලා ඇෆිල් (අභියාචනා) කරන්න අවශ්‍ය නැහැ. ඒ තරමට ලෝකධර්මය සාධාරණයි. හැබැයි ඔබ ධර්මය නොදන්නා නිසා හැම වෙලාවේම මෙම තීන්දු අසාධාරණ හැටියටයි දකින්නේ. දෙවියන් අප දිහා බලන්නෙ නැහැ. ධර්මයේ පිළිසරණක් අපිට නැහැ කියලයි ඔබ දකින්නේ. ධර්මය කියන්නෙ කුමක්‌ද? අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ස්‌වභාවය. මේ ස්‌වභාවයට පුළුවන්ද ඔබට පිළිසරණ වෙන්න. මෙතැන නිත්‍ය වූ, සැපවූ, ආත්මවූ ස්‌වභාවයක් තිබෙනවාද. ධර්මයට බැහැ ඔබට පිළිසරණ වෙන්න. ඔබ ධර්මය පිළිසරණ කොට ගන්න. කොහොමද ඔබ ධර්මය පිළිසරණ කර ගන්නේ. ධර්මයේ ස්‌වභාවය වූ අනිත්‍ය, දුඛ්‍ය, අනාත්ම ස්‌වභාවය අවබෝධකොට ගැනීම උදෙසා ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයට අවතීරණ වෙන්න. මෙතැනදියි සත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් මිදීමේ චතුරාර්ය සත්‍ය ධර්මයම නුවනින් දකින්නේ. එහෙම නුවනින් දකින කෙනා දුකට ශාපකරන්නේ නැහැ. දෙවියන්ට දොස්‌තබන්නේ නැහැ. ධර්මයට නිගරුකරන්නේ නැහැ. දුකත්, දුකට හේතුවත්, දුකින් මිදීමත් අරමුණු කොට ගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයම සිය එකම මාර්ගය කොට ගන්නවා. දුකට එකම හේතුව අලියාවත්, බලුපැටියාවත්, රෝගී දරුවාවත් නොව තෘෂ්ණාවම බව අවබෝධකර ගන්නවා.
සත්ව හිංසාව ගැන කථා කරන විට ගෘහ ආශ්‍රිතව ඇති දැඩිවෙන ගවයන්, බල්ලන්, බළලුන්, පක්‍ෂීන් වැනි සතුනුත් ගෘහය තුළ ජීවත්වෙන කෘමීන් වැනි සතුන් මනුෂ්‍යයන් අතින් අනන්තවත් පීඩාවට ලක්‌වෙනවා. තිරිසන් සතෙක් යනු සතර අපායේ සාමාජිකයෙක්. ඒ කියන්නේ මාරයාගේ වසඟයේ ජීවත්වන්නෙක්. පිංවත් ඔබ තුළ අකුසල් මූලයන් රෝපනය කිරීමට මාරයා මෙම තිරිසන් සතුන්ව තමයි උපයෝගී කරගන්නේ. තිරිසන් සතා යනු මාරයාගේ සුරතලායි. පිංවත් ඔබව සතර අපායට බිලිබාගැනීම සඳහා මාර බිලි කටුවට අමුණන ඇම වන්නේ තිරිසන් සත්වයායි. එහෙයින් ගින්දරෙන් යම් සේද ඔබ පරිස්‌සම් වන්නේ, තිරිසන් සතුන්ගෙන් ඔබ ඊටද වඩා පරිස්‌සම් වෙන්න ඕනේ.
ගින්දරට පිච්චුනත් පිච්චිච්ච වේදනාව පමණයි. සතුනට හිංසා කළොත් සතර අපායේම දුක ඔබට උරුම වෙනවා. මනුෂ්‍ය ජීවිතයක් ලැබුවොත් රෝගී පුද්ගලයෙක් වශයෙනුයි ඔබට ජීවත්වෙන්න ලැබෙන්නේ. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළ ධර්ම මාර්ගයේ ඔබ ගමන් කළොත් ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, මෛත්‍රීයෙන් පරිපූර්ණ මනුෂ්‍යයෙක් බවට ඔබ පත්වුවහොත් ඔබට හැකියාව තිබෙනවා තිරිසන් සතාව උපයොගී කරගෙන කුසල් මූලයන් වැඩෙන ස්‌වභාවයට ඔබේ ජීවිතය ගෙන යන්න. ඔබේ ගෙදර දොරකඩට බල්ලෙක් එනවා. දෙමාපියන් දරුවට කියනවා පුතේ ඔය බල්ලව හිරිහැර නොකර එලවලදමන්න කියලා. එතනදී ඔබ තුළ මෛත්‍රී සිතිවිල්ලකුත් ඇතිවෙලා. එහෙමත් නැතිනම් ඔබ කියනවා පුතේ ඔය බල්ලට කෑම ටිකක් කන්න දීල කෑම කෑවට පස්‌සේ හිරිහැර නොකර එලවලා දමන්න කියළා. එතනදි මෛත්‍රී සිතුවිල්ලක් වගේම ත්‍යාග සිතුවිල්ලකුත් ඇති වුණා. සතුන් සම්බන්ධව ක්‍රියාත්මකවීමට පෙරාතුව ඔබ ඉවසිලිමත් වෙන්න සත්ව හිංසාවට හිරිඔතප් දෙක ඇතිකරගන්න.
සත්ව හිංසාව කියන දෙය පිංවත් ඔබ හිතනවාට වඩා බොහෝම සියුම් දෙයක්. මේ සියුම් බව මනුෂ්‍යයාට තේරුම් ගන්න බැරි නිසාමයි රෝගීභාවයෙන් තොර මනුෂ්‍යයෙක් වර්තමාන ලෝකයේ සොයාගැනීමට විරල. නිරෝගී පිංවතුන්ලා සමාජයේ ඉන්නවා. ඒ අය අත්විඳින්නේ සංසාරයේ තමන්ම කරගත්ත කුසල් විපාකයන්a. සත්ව හිංසාව නිසා සත්වයාට විඳින්නට සිදුවන කර්ම විපාකයන්ගේ සියුම්භාවය ඉතාමත් මැනවින් ප්‍රකට වෙන කථාවක් භික්‍ෂුව දැන් ඔබගේ අවබෝධය සඳහා මෙහි සටහන් කරනවා. මේ කථාව කියවලා ඔබම තීරණය කරන්න කරන්න සත්ව හිංසාව යනු මොනතරම් සියුම්ව ඔබ අතින් සිදුවිය හැක්‌කක්‌ද ඒවායේ අකුසල විපාකයන් මොනතරම් සියුම් ගුප්ත ආකාරයට ඔබට විපාක පිණිස සකස්‌වෙනවාද කියලා. මේ කථාව කියවලා ඔබ සත්වහිංසාවන් සිදුකිරීමෙන් අත්විඳින්නට වන අකුසල් විපාකයන් හොඳින් හඳුනාගෙන ඔබද මින් මතුවට සතුන් ඇතිකරනවා නම් එම සතුනට හිංසාවක් පීඩාවක් ඇති නොවන ආකාරයට එය කරන්න. සතුන්ගෙන් හරිහම්බ කරගන්න. ආදායම් ලබාගන්න. සතුන්ව හොඳින් පෝෂණය කරමින්, මෛත්‍රිය කරුණාව දක්‌වමින්ම.
ධර්මයට බොහොම ලැදි මැදිවියේ විවාහක යුවලක් ජීවත්වෙනවා. මේ දෙපළට දරුවන් නැහැ. ඒ නිසා බොහොම නිදහස් ජීවිතයක් තමයි ගතකරන්නේ. ප්‍රධාන නගරයක ව්‍යාපාරික ස්‌ථානයක් පවත්වාගෙන යමින් ආදායම් ලබනවා. මේ ව්‍යාපාරික ස්‌ථානය පවත්වාගෙන යන්නේ බිරිඳ විසින්. සැමියා අත්‍යවශ්‍ය අවස්‌ථාවකදී තමයි ව්‍යාපාර කටයුතු වලට හවුල් වෙන්නේ. ඒ කියන්නේ ඇය සහජයෙන්ම ව්‍යාපාරික හැකියාව තිබෙන කාන්තාවක්.
නමුත් මේ පිංවත් කාන්තාවගේ ජීවිතයට බලපාන එක්‌තරා ප්‍රශ්නයක් තිබෙනවා. එය ගුප්ත ස්‌වභාවයේ ප්‍රශ්නයක්. ඇය සමහරක් අවස්‌ථාවල තැතිගත් අයුරක් පෙන්වනවා. සමහර අවස්‌ථාවල ඇයගේ පසුපස අමනුෂ්‍ය බලවේගයක් තිබෙන බව ඇය පවසනවා. මේ හේතුවෙන් ඇය පීඩා විඳිනවා. ව්‍යාපාරය කරන අවස්‌ථාවේ බොහෝම හොඳින් කටයුතු කරන ඇය ගෙදර පැමිණිවෙලේ පටන් කේන්ති ගන්නවා. සැමියා පන්සලකට යැමට, භික්‍ෂුවක් හමුවීමට යන්න හදනවිට ඇය අකමැති වෙනවා. බියවෙනවා. බිරිඳගේ මෙම ස්‌වභාවය හොඳින් දන්න ස්‌වාමිපුරුෂයා ඇයත් සමඟ බොහෝම අවබෝධයෙනුයි කටයුතු කරන්නේ. ඇය සිතනවා තමන්ගේ මියගිය පියා ඇය කෙරෙහි ආදරයෙන් ඇය පසුපස සිටින බව. මේ හේතුව නිසාම ඇය පීඩනයට පත්වෙලා. සමහර අවස්‌ථාවල තැතිගත්, ගුප්ත ස්‌වභාවයක් ඇය තුළින් දර්ශනය වෙනවා. නමුත් ඇය තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවයි. ශිල්පද ආරක්‍ෂා කරගැනීමට උත්සහගන්නවා. පොත පත කියවීමෙන් ධර්මය ගැන හොඳ දැනීමක් තිබෙනවා. මේ ගුණාංගයන් තිබුණත් ඉහත ප්‍රශ්නයෙන් ඇය පීඩා විඳිනවා. මෙම දෙපළ ඉදිරි කාලයේදී සිය ගෙවල් ව්‍යාපාර විකුණා දමා අනගාරිකව ජීවත්වීමටද බලාපොරොත්තුවෙන් පසුවනවා. මේ පසුබිමේ සිදුවීම් හොඳින් ගලපා බලනකොට බොහොම ශ්‍රද්ධාසම්පන්න යුවලක් ලෙසයි මේ දෙපල පෙනෙන්නේ.
නමුත් ඇයට ස්‌ථීරව සිතාගන්න බැරි පීඩනයක් ඇය තුළ තිබෙනවා. ඒ පීඩනය නිසා ඇය මානසිකව සමහර අවස්‌ථාවල දුකට පත්වෙනවා. ඇය මේ පීඩනයට පත්වෙන්නේ ඇය පසුපස අමනුෂ්‍ය බලවේගයක් සිටින නිසාවත්, ඇයගේ ශරීරය තුළ අමනුෂ්‍ය බලවේගයක් සිටින නිසාවත් නොවේ. ඇයගේ දුර්වල මනෝභාවය නිසයි. ඇය දක්‍ෂ නැහැ මම තෙරුවන් සරණ ගිය, ශීලයක හික්‌මෙන, නිරතුරුව දන්දෙන අයෙක් හැටියට දකින්න. එම දැක්‌ම විශ්වාසයක් බවට පෙරළාගන්න. මේ විශ්වාසය තුළින් ඇය ශක්‌තිමත් මනොභාවයක් ගොඩනගාගත් සැනින් ඇයට හැකියාව තිබෙනවා මෙ දුර්වලතාවයෙන් අත්මිදෙන්න. ඇයට මේ නිවැරදි මනෝභාවය සකස්‌කර ගැනීමට මඟ අහුරන්නේ පෙර ජීවිතයේදී ඇය විසින් කරන ලද කර්ම විපාකයක්.
එක්‌තරා භික්‍ෂුවක් මේ සිද්ධියට අදාළ කාන්තාවගේ පෙර ජීවිතය සමාධියෙන් අරමුණුකර බලනවා. උතුම් සමාධිය තුළදී ඇයගේ පෙර ජීවිතයත්, වර්තමාන කර්ම විපාකයට අදාළ පෙර ජීවිතයේදී කරන ලද කර්මයත් භික්‍ෂුවට දර්ශනය වෙනවා.
භික්‍ෂුවට දර්ශනය වෙන්නේ මීහරක් කිහිපදෙනෙක් සහ කාන්තාවක්. එම කාන්තාවගේ හඬ මේ විදිහට ඇසෙනවා.
'මගේ වැඩ කරපු සල්ලි දෙන්න'
ඔතැනින් දර්ශනය නිමයි.
දැන් භික්‍ෂුව මෙම දර්ශනය ඇයගේ පෙර ජීවිතයට ගලපනවා, ඇය පෙර ජීවිතයේ කවරෙක්‌ද? ඇය කළ අකුසල් විපාකය කුමක්‌ද යන්න දැනගැනීමට. මෙන්න මේ ගැලපීම ඔබට ගොඩාක් වටිනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් දේශනා කොටවදාළ 'කර්මය ඔබ දායාදකොට පවතීය' යන ධර්මය නැවත නැවත ශ්‍රද්ධාවෙන් යුතුව ආවර්ජනය කිරීමට.
පෙර ජීවිතයේදී ඇය මනුෂ්‍ය කන්තාවක්. ඇයගේ ආදායම් මාර්ගය වූයේ මීහරකුන්ව කුඹුරු වැඩ සඳහා කුළියට දීම. ඒ කුඹුරු වැඩට යෙදවූ මීහරකුන්ගේ ගාස්‌තුව තමයි කුඹුරු හිමිකරුගෙන් ඉල්ලන්නේ. දැන් මෙම සිද්ධිය පැති කිහිපයකින් බලමු.
පළමු කරුණ පෙර ජීවිතයේදී ද ඇය ව්‍යාපාරික කාන්තාවක්. පෙර ජීවිතය කියන්නේ මීට අවුරුදු 50 කට පෙරාතුව. අඩසියවසකට පෙරාතුව වර්තමානය වගේ විවිධ ව්‍යාපාර තිබුණේ නැහැ. වර්තමාන සමාජයේ තිබෙන සංකීර්ණභාවය තිබුණේ නැහැ. ප්‍රධාන ව්‍යාපාරය, ආදයම් මාර්ගය තමයි කෘෂිකර්මය. එය අතීතයේ ගෞරවණීය ව්‍යාපාරයක්. පෙර ජීවිතයෙදී මෙම කාන්තාව මීහරකුන්ව කෘෂිකර්ම කටයුතු වලට දීමෙන් ආදයම ලැබුවා. මේ ජීවිතයේදීත් ඇයට පෙර සංසාරික පුරුද්ද නිසාම නවීන තාක්‍ෂණික ආම්පන්න විකිණීමේ ව්‍යාපාරයක් තනියම කරගෙන යැමට ශක්‌තිය ලැබුණා. සමාජයේදී ඔබ දැකලා ඇති සමහර කාන්තාවෝ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේදී ඉතාමත් දක්‍ෂ ආකාරයට කටයුතු කරනවා. මේවා පිංවතුනි සංසාරික පුරුදු. එවැනි පුරුදු නැති අය කඩේකට ගිහින් බඩුවක් ගන්නෙත් බොහොම ලැඡ්ජාවෙන්. ඔබලාගේ ජීවන ක්‍රියාකාරකම් සමග මේවා ඔබවිසින්ම ගලපාගන්න ඕනා.
දෙවැනි කාරණය තමයි ඇය පෙර ජීවිතයේදී කළ ව්‍යාපාරය නිසා ඇතිකරගත් අකුසලයේ ස්‌වභාවය. ඇය මීහරකුන්ව කුඹුරු වැඩට යොදවා ආදායම ලබාගත්තත් ඇය සත්ත්ව ඝාතනයට නම් යොමුවෙලා නැහැ. ඒක අතීතයේ මනුෂ්‍යයා තුළ තිබූ සත්ව කරුණාව. වර්තමානයේ මීහරකුන්ව කුඹුරු වැඩට යොදාගන්නවා ඉතාම අඩුයි. නමුත් මෙයට වසර 50කට පෙර සමාජයේ කෘෂිකර්මයේ ප්‍රධානම බලවේගය තමයි මීහරකා. කුඹුර, පස පෙරලන මොහොතේ පටන් අස්‌වැන්න කමතේ පාගන මොහොත දක්‌වාම මීහරකා තමයි ගොවිතැනට උදව්වෙන්නේ. මෙම සතුනගෙන් මිනිස්‌සු වැඩ ගන්නේ හුඟක්‌ම අකාරුණික විදිහට. උදේ ඉඳලා සවස්‌වෙනකම් නගු=ලක මීහරක් දෙදෙනෙක් බැඳලා ගන්න වැඩ ප්‍රමාණය කොපමණක්‌ද? හරියට යන්ත්‍රයක් වගේ. ගොවි මහත්තයා ආහාර ගන්න වෙලාවට පමණයි මීහරකාට නිදහසක් ලැබෙන්නේ. ඒත් නගුලෙන් එම සතාව ලිහන්නේ නැහැ. නගුල කරේ තියාගෙනම මීහරකා විවේක ගන්නවා. මහ පොළොවේ පස පෙරළාගෙන, කඩාබිඳදමාගෙන යන්න මොන තරම් ජවයකින් මීහරකා විසින් නගුල අදින්න ඕනේද? පොඩ්ඩ බැරිවුණොත් වැදෙන කෝටු පහර, එහි ශබ්දය භික්‍ෂුවට මේ සටහන ලියන මොහොතේත් දැනෙනවා. 'අනේ මට සනීප නැහැ. මගේ දණිස් රිදෙනවා. මගේ හිස කකියනවා. දැන් අවුරශ්මිය වැඩියි. මට බඩගිනියි. පිපාසයි.......' මී හරකට පුළුවන් ද මොනතරම් වුවමනා වුණත් මේවා කියන්න. දවස පුරාවට තම ශරීර ශක්‌තියෙන් නගුල ඇදලා පොළොවේ පස පෙරළලා සවස් වරුවේ ඕවිටේ තණකොල ටික කාලා නිදාගන්නවා. හෙට උදයේ නැවතත් සුපුරුදු රාජකාරියමයි...
මීහරක් හිමියා ආදායම ලබනවා.
අපි හිතනවා මේක ධාර්මික රැකියාවක් කියලා. ඔබම හිතන්න, මනුෂ්‍යයෝ දෙදෙනෙක් නගුලක බැඳලා කුඹුරට දැම්මොත් පස පෙරළන්න එම දෙදෙනා විඳින්නා වූ මානසික, කායික හිංසනය ගණනය කළ හැකිද? මේ අනුසාරයෙන් මී හරකා අත්විඳින්නා වූ හිංසනය ඔබම තීරණය කරන්න. මෙන්න මේ සත්ව හිංසාව නිසා මීහරකා ගෙල මත තබා බැඳි නගුල මී හරකා පසුපසින් ගමන් කරන්නේ මොනතරමක් ද එම සතාව කායිකව, මානසිකව හිංසාවට ලක්‌කළේ කොපමණක් ද ඒ තරමටම එම හරක් අයිතිකාර කාන්තාවට ආදායම ලැබුණි. ඇය එම සත්ව හිංසනයෙන් ඉපයෙන ආදායමෙන් සතුටු වූවාය. එහි කර්ම විපාකය හැටියට කාන්තාවක් ලෙසට උපත ලැබූ මෙම ජීවිතයේදී ඇය අමනුෂ්‍යයෙක් යෑයි සිතා සිටින මානසිකත්වය ඇය පසුපස පැමිණෙමින් ඇයට අකුසල් විපාක විඳීමට සලස්‌වනවා. බලන්න ලෝක ධර්මය මොනතරම් සාධාරණද කියලා. මීහරකාගේ ගෙලේ බැඳි නගුල එම සතා පසුපස පැමිණෙමින් එම සතුන්ව කායික, මානසික හිංසාවට ලක්‌කළේ යම්සේද, එහි කර්ම විපාකය හැටියට මේ මනුෂ්‍ය ජීවිතයේදී අදාළ කාන්තාවට තමා විසින්ම මනසින් අරමුණු කරගත්තා වූ අමනුෂ්‍ය හැඟීමක් ඇය පසුපස පැමිණෙමින් ඇයව කායිකව, මානසිකව පීඩාවට පත්කරනවා. දැන් ඔබට තේරෙනවා ඇති සත්ව හිංසාව කියන අකුසලය මොන තරම් සියුම් ආකාරයෙන් ඔබ අතින් සිදුවිය හැකිද කියලා. ඒ වගේම එම සත්ව හිංසාවන්ගේ අකුසල් ස්‌වභාවය එම හිංසනයේ ස්‌වභාවයට අනුරූපී ආකාරයටමයි විපාක දීමට සලස්‌වන්නේ කියලා.

'සතර අපායෙන් මිදෙමු' 14 කොටස
අකුසලයට පොකුරු ගසන්නට ඉඩ නොදෙන්න...

එතකොට බලන්න යමෙක් මේ සමාජයේ නිරෝගීව ජීවත්වන්නත් තව කෙනෙක් රෝගීව ජීවත්වෙන්නෙත් හේතුඵල ධර්මයක් නිසා. ප්‍රධාන වන්නේ සතුනට හිංසාකිරීමත් මෛත්‍රිය කරුණාව දැක්‌වීමත් කියන කාරණා. වර්තමානයේ සමාජය දෙස බැලීමේදී මනුෂ්‍යයා පමණක් නොවේ ඔබ ජීවත් වන පරිසරයත් රෝගී බවට පත් වෙලා. මෙතනින් පරිසරය අපි පැත්තකින් තියලා මනුෂ්‍යයා ගැන බලමු. සමහරු රෝගී බවට පත්වෙන්නේ මව්කුසේදීම. මව්කුස පිළිසිඳගෙන මාසෙන් දෙකෙන් දරුගැබ කළලය රෝගී බවට පත්වෙනවා. මව් කුසේ සිටියදීම පෙර කළ සත්ව හිංසා කර්මයන් විපාක දෙනවා. සමහර දරුවන් ලෝකයට බිහිවන මොහොතේම නොමේරූ දරුඋපතක් හැටියටයි ලොවට බිහිවන්නේ. තවත් ළදරුවන් නොයෙක් ආබාධ ඉන්ද්‍රියන්ගේ අඩුපාඩු සහිතව ලොවට බිහිවෙනවා. මෙලොව එළිය දැකපු දවසේ පටන් මේ ළදරුවන් රෝහලේ දැඩිසත්කාර ඒකකයක නොමේරූ ළදරු ඒකකවළ, සති, මාස, අවුරුදු ගණන් දුක්‌විඳිනවා. රටේ ප්‍රධාන ළමා රෝහලකට එසේත් නැතිනම් ළමා වාට්‌ටුවකට යන්න. මොනතරම් දරුවෝ නොයෙක් වයස් සීමාවල සිතාගන්නවත් බැරි රෝගවලින් පීඩා විඳිනවාද? සමහර ළදරුවන්ට මාරාන්තික රෝග, තවත් තවත් දරුවන්ට අර්ධ මාරාන්තික රෝග. නාසයට මුඛයට බට දමලා, උදරයට බට ගහලා..... ඔබ මේවා දකිනකොට, ඔබ මේවා අත්දකිනකොට ඔබට දරන්න බැහැ මේ පොඩි දරුවන් විඳින වේදනාව. පොඩිදරුවන් විතරක් නොවේ මේ දරුවන් නිසා ඒ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ඥාතීන් මේ හැමෝමත් දුකේ කොටස් කරුවන් වෙලා. මිනිස් ජීවිතයක උපත ලැබුවත් රෝගී දරුවන් නිසා අපා දුක්‌විඳින දෙමාපියන් මොනතරම් සමාජයේ සිටිනවාද? මේ දුක ඔබට අහම්බෙන් ලැබුණ දෙයක් නම් නොවේ. අපලයක් නිසා, දේවකෝපයක් නිසා, රටේ වෛද්‍ය අංශයේ දුර්වලතාවක් නිසා ලැබුණු දේවල් නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනාකරනවා කර්මය සත්වයා දායාද කොටගෙන පවතීය කියග. රෝගී දරුවන් නිසා එම දෙමාපියන්ද විඳින්නේ දුකක් නම් එයත් දෙමාපියන්ගේ සංසාරික කර්මයක දායාදයක්‌මය. මෙය දෙමාපියන්ට අහම්බෙන් ලැබුණ වගකීමක් දුකක් නොවේ. පෙර ජීවිතයේදී සත්ව හිංසාව අකුසලය කරගත් මනුෂ්‍යයෙක් මරණයෙන් මතු නැවත මනුෂ්‍ය ජීවිතයක් ලබන්නේ නම් ඔහුට සුදුසු මව්කුස ලෙස තෝරාගන්නේ ද ඊට අදාළ අකුසල් සිදුකරගෙන ඇති මවකගේ මව්කුසක්‌මයි. මේවා කාටවත් වෙනස් කළ නොහැකි ලෝක ධර්මයන්. දරුවා නිසා අම්මා තාත්තා දුක් විඳිනවාත්, අම්මා තාත්තා නිසා දරුවා දුක් විඳිනවාත් නොවේ. තම තමන් කරගත් අකුසල් නිසා තමන් හවුලේ එම අකුසල් විපාක අත්විඳනවා පමණි.
ඔබ මෙහෙම හිතන්නකෝ. ඔබේ ගෙදර දොරකඩට බල්ලෙක් එනවා. ගෙදර අම්මයි තාත්තයි කියනවා පුතේ ඔය බල්ලට ගහල එලවන්න කියලා. පුතා හොඳ ගලක් හෝ පොලු කැබැල්ලක් අරගෙන බල්ලට ගහනවා. අර අහිංසක බල්ලා කකුල ඔසවා ගෙන ලේ පෙරාගෙන දුවනවා. දැන් බලන්න මේ සත්ව හිංසාවට කී දෙනෙක් හවුල්වුණාද? බල්ලාට ගැහුවෙ දරුවා තමයි. නමුත් ගහන්න අණ කළේ දෙමාපියන්. අකුසලය වැඩි දරුවට. මරණින් මතු මෙන්න මෙවැනි අකුසල් තිබෙන දරුවන් එවැනිම අකුසල් සහිත දෙමාපියන්ගේ මව් කුසවල ඉපදිලා දරුවා රෝගීභාවයට පත්වෙලා දෙමාපියන්ගේ අකුසලය විපාක දීමට අවස්‌ථාව සලස්‌වනවා. දැන් මේ තුන්දෙනාම විඳින්නේ තමන් කරගත් කර්මයක විපාකයක්‌මයි. භික්‍ෂුවට සමහර අවස්‌ථාවල ඇහිල තිබෙනවා රෝගී දරුවන් ඉන්න අම්මලා කියනවා 'මගේ කරුමෙටයි මේ දරුවා ලැබුණේ' කියලා. අන්න එවැනි අම්මලාගේ අදහස සර්වසාධාරණයි.
අවිද්‍යාසහගත ලෝකය හැඩගැසිලා තිබෙන්නේ සත්වයා දුක දෙසටම තල්ලුකර දමන ස්‌වභාවයටයි. ඔබ විසින්ම කරගන්නා ලද අකුසලයන් විපාක දෙන විට ලෝකයේ ස්‌වභාවය සකස් වී තිබෙන්නේ ඒ විපාකයේ අමිහිරි වේදනාව නිසා සත්වයා තව තවත් අකුසල කර ගන්න දිශාවටම මෙහෙය වීමටයි. ඔබ මෙතනදි පරිස්‌සම් වෙන්න ඕනේ. එසේ නොවුණොත් තව තව අකුසල කර්මයන් ඔබත් අනුනුත් දායාද කර ගැනීමයි සිද්ධවෙන්නේ. ඔබ අතින් උපස්‌ථානය ලබන රෝගී වැඩිහිටියෙක්, දරුවෙක් සිටිනවා නම් ඒ අයගේ ක්‍රියාකාරකම් නිසා නිරතුරුවම ඔබට ද්වේෂය, පළිගැනීම, පිළිකුල, නොසලකාහැරීම වැනි ෙච්තනාවන් සකස් වෙන්න පුළුවන්. එය ස්‌වභාවයක්. මෙවැනි අවස්‌ථාවකදී ඔබ දක්‍ෂවෙන්න ඕනේ ලොව්තුරා ධර්මය ජීවිතයට ගලපා ගන්න. ද්වේෂය ඔබ ඔබේ කර ගත්තොත් ඔබ ඔබේ කර ගන්නේ මහා ගිනි ගොඩක්‌මයි. ඒ ඔබ විසින්ම අවුලුවාගත් ගිනිගොඩෙන්ම ඔබට සසර අප්‍රමාණ කාලයක් පිච්චෙන්නට සිදුවේවි.
ඉහත සදහන් කළේ දරුවන්ගේ රෝගීභාවය ගැනයි. තරුණ වැඩිහිටියන්ගේ රෝගීභාවය ගැන දකිනකොට මහා රෝහලකට, කුඩා රෝහලකට ඔබ ගොඩ වැදුණොත් ලක්‍ෂගණනක් ජනතාව රෝගීන්. නිරෝගීභාවය ගොඩක් අඩුයි. වයසට නොගැළපෙන රෝග, මාරාන්තික රෝග, අන්‍යයන්ගේ පිළිකුලට භාජනය වන රෝග, අනුනට ප්‍රකාශ කිරීමට නොහැකි රෝග..... සංසාරයේ සත්ව හිංසාවට අදාළව ඒවා විපාක දීමට සුදුසු ආකාරයට ලෙඩ රෝග හැදෙනවා. හැබයි පාරිසරික හේතූන් නිසාත්, Rතු බලපෑම් නිසාත් රෝගීන් ස්‌වභාවයන් ඇතිවෙනවා. ඒත් එම රෝග දීර්ඝකාලීන නිදන්ගත රෝග බවට පත්වෙන ස්‌වභාවය අඩු බවද ඔබ වටහාගත යුතුව ඇත. අකුසල කර්මයන් විපාකදෙන රෝගීන්ගේ ස්‌වභාවය පැහැදිලිව හඳුනාගන්න පුළුවන්. ඔබ සිතෙන් මවාගන්නකෝ රෝහලේ ඇඳේ නිරතුරුවම අඳෝනා තබන රෝගියෙක්. නාසයට, මුඛයට, උදරයට බට ඇතුළත් කර වේදනාව විඳින රෝගියෙක්. දෑත් දෙපා ඇඳ හතර කොණේ බැඳ දමා ඇති රෝගියෙක්, අසිහියෙන් දිනගණන් දුක්‌විඳන රෝගියෙක්, ජලය ආහාර රස බැලීමට වාසනාව නොමැති රෝගියෙක්. අත පය වාරු නැති අංගවිකල අංශභාග රෝගියෙක්. භික්‍ෂුවට නම් මෙවැනි රෝගීන් දකිනකොට සද්ධර්මය කෙරෙහිමයි ගෞරවය ඇතිවෙන්නේ. මොනතරම් පැහැදිලිව ලෝක ස්‌වභාවය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබෙනවාද. ඔබ සත්වයින්ට සංසාරයේදී දුක් දුන්නා. හිංසා කළා. ඒ දුකමයි, හිංසාවමයි ඔබ ඔය අත්විඳින්නේ.
වර්තමානයේ මනුෂ්‍යයා මොනතරම් නම් සත්ව හිංසාව සිදුකරනවාද? සමහරු සත්ව හිංසාව සිද්ධකරන්නේ මෝස්‌තරයක් හැටියට. තවත් සමහරු සත්ව හිංසාව සිදුකරන්නේ ව්‍යපාරයක් හැටියට. සමහරු විනෝදයටත් සත්ව හිංසාවේ යෙදෙනවා.
හුඟදෙනෙක් මේ දේවල් කරන්නේ විපාකය ගැන අනවබෝධය නිසා. භික්‍ෂුව දිනක් ආරණ්‍යයක වැඩ සිටින විට කුටිය ඉදිsරියෙන් ළමයින් කීපදෙනෙක් කැළය දෙසට යනවා දැක්‌කා. මේ අය පොලිතීන් බෑග් එකක යමක් දමාගෙනයි එම ප්‍රදේශයට ගියේ. භික්‍ෂුවට දැනුණේ නැහැ බෑගයේ මොනවද තිබුණේ කියලා. පසුවදා භික්‍ෂුව එම දරුවන් ගිය මාර්ගයේ වඩින විට සාමාන්‍ය කලුගලක් ළඟ ගොළුබෙල්ලන් විස්‌සක් පමණ කලුගලේ ගහල මරල. අර ෂොපින් බෑගයේ දමාගෙන ගිහින් තිබෙන්නේ ගස්‌වල එල්ලිලා හිටපු ගොළුබෙල්ලෝ. ඒ ගොළුබෙල්ලන්ගෙ කටුව ගලේ වැදිල කුඩුවෙනව දැකලා ඒ දරුවන් සතුටුවෙනවා. මෙතන සත්ව හිංසාවකින් එහාට ගියපු සත්ව ඝාතනයකුයි සිද්ධවෙන්නේ. කුරුල්ලන්ට ගල්වලින් ගහනවා. මාළුන්ට ගල්වලින් ගහල තුවාල කරනවා. සමනළයන්ගෙ පියාපත් කඩනවා. මෙහෙම දරුවො සමාජයේ ඕනතරම් සිටිනවා. වියළි කලාපයේ ප්‍රදේශවල සත්ව හිංසාව ගොඩක් වැඩියි. ගොවිතැන් විනාශ කරන්න එන අලින්ට හේන රකින අට්‌ටාලය මත සිට එම සතුන්ගේ ඇඟට ලෝදිය වගේ උණුවතුර හලනවා. ගෝනි ගිනිතියලා අලින්ගේ පිට මතට දමනවා. අට්‌ටාලය මත සිට ලොකු යකඩ ඇණ ලෑලි මත ගහලා අලි එන මංකඩවල තියනවා කකුල්වල ඇනෙන්න. මේවා විපාක දීලා අහවරකරන්න පුළුවන් අකුසල් කර්ම නොවේ. මෙවැනි බරපතළ සත්ව හිංසා අකුසල් කිරීමට පෙරාතුව ඔබ මේවා ධර්මානුකූලව ගළපාගන්න දක්‍ෂවෙන්න ඕන.
ඔබ මෙහෙම හිතන්න. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ගොවි මහත්මයෙක් තම කුඹුර අස්‌වද්දනවා. ඔහු කවදාකවත් අස්‌වනු රැකගැනීම උදෙසා පැල් රකින්නේ නැහැ. තෙල්, බෙහෙත්, පොහොර, යොදලා බොහෝම විවේකීව ඉන්නේ. වතුර හැරවීම වැනි කටයුතු පමණයි කළ යුත්තේ. නමුත් වියළි කලාපයේ ගොවි මහත්මයෙක් බීජ වැපුරුව දවසේ පටන් අස්‌වැන්න නෙළාගන්නා දවස දක්‌වාම නිදිවරාගෙන වැස්‌සෙ පින්නෙ දුක්‌ඳින්න ඕනේ අස්‌වැන්න රැකගන්න. එළිවෙනතුරු නින්දක් නැහැ අස්‌වැන්න ගන්නා පුරාවටම. හොඳින් ඔබ දකින්න. ගම්පහ ගොවි මහත්මයත් වියළි කලාපයේ ගොවිමහත්මයත් කරන්නේ එකම ගොවිතැන. නමුත් දෙදෙනාට විඳීමට සිද්ධවෙන්නාවූ දුකේ ස්‌වභාවය එකිනෙකට වෙනස්. මෙය කර්ම විපාකයක් නිසා සිදුවෙන්නක්. වියළි කලාපයේ පිංවත් ගොවි මහතාට තමන්ගේ අස්‌වැන්න රැකගැනීමට ජීවිතය පරදුවට තබා වෙහෙසවීමට සිදුවී ඇත්තේ ඔහු පෙර ජීවිතවලදී අනුනගේ අස්‌වැන්න විනාශ කිරීමේ අකුසලය සිද්ධකරන්න ඇති නිසා. මනුෂ්‍යයෙක් හැටියට හෝ එහි කර්ම විපාකය තමයි ඔහු මේ ජීවිතයේදී අත්විඳින්නේ. දුෂ්කර පළාතක ඉපදුණේ, දුෂ්කර ජීවිතයක් ලැබුණේ.....මේ පෙර කර්ම විපාක. මේ ස්‌වභාවය හඳුනාගන්න කෙනා කවදාකවත් අතීතයේ කළා වූ අකුසල කර්මයන් නැවත කරන්න පෙළඹෙන්නේ නැහැ. හේතුඵල ධර්මයන්ට අනුව ගළපමින් ඔබ ජීවිතය විග්‍රහ කර ගන්න දක්‍ෂවෙන්න. පිංවත් ඔබ මේ ජීවිතයේදී දුෂ්කර වියළි කලාපයේ ගොවි මහතෙක් වශයෙන් ජීවත්වුවද පෙර ජීවිතවලදී ඔබත් අලියෙක්, හරකෙක්, වල් ඌරෙක්, පක්‍ෂියෙක්, වැනි සතෙක් වෙලා අනන්තවත් අනුනගේ අස්‌වැන්න විනාශ කරන්න ඇති. සසර ඔබ කරපු ඒ අකුසල් විපාකයන් ඔබම වර්තමානයේදී අත්විඳිනවා. මේවා ඔබ ධර්මානුකූලව ගලපා නොගත්තොත් ඔබ තව තව අකුසල්මයි සිද්ධකරගන්නේ. එම නිසා සත්ව හිංසාවන්ට යන්නෙ නැතුව උපක්‍රමශීලීව වන සතුන්ගෙන් ඔබේ වගාවන් ආරක්‍ෂා කර ගන්න.
ඔබට නැවතත් මතක් කරනවා, ලෝකව පවතින්නේ ඔබව නිරතුරුවම අකුසලය දෙසට යොමුකරන ස්‌වභාවයක. ඔබේ දක්‍ෂභාවය නිසා පමණක්‌මයි කුසලය දෙසට ගමන් කළ හැකිවෙන්නේ. සමහරවිට මෙම සටහන කියවනකොට ඔබට හිතෙන්න පුළුවන් අලියෙක් කොහොමද මනුෂ්‍යයෙක් වෙන්නේ කියලා. එයත් කුසලභාවයේ ප්‍රතිඵලයක්. මේ ඒ ගැන උදාහරණයක්..
මේ රටේ ජීවත් වන ප්‍රභූ පෙළේ ව්‍යාපාරික මහත්මයෙක් ඉන්නවා ඔහු බොහෝම නිහතමානී, චාම්, ධාර්මික ජීවිතයක් ගත කරන මහත්මයෙක්. එක්‌තරා භික්‍ෂුවක් මේ පිංවත් මහත්මයාගේ පෙර ජීවිතය උතුම් සමාධිකයකදි අරමුණු කර බලද්දී අරමුණු වෙන්නේ අලියෙක්. ඒ කියන්නේ මේ මහත්මයා පෙර ජීවිතයේදී අලියෙක්. හැබැයි වල් අලියකුගේ ස්‌වභාවයක් නොවේ පෙනෙන්නේ, හිලෑ අලියෙක්‌ගේ ස්‌වභාවය. සිද්ධස්‌ථාන, රජමහාවිහාර, දේවාල ආශ්‍රිතව සහ පුද්ගලිකව අලි ඇතිකරන වැදගත් මහත්වරුන්ගේ භාරයේ ජීවත් වන, ආගමික පෙරහැරවලට නිරතුරුවම සම්බන්ධ වන ආගමික පරිසරයක හැදෙන අලි ඇතුන් මරණින් මතු වැදගත් ශීලාචාර බෞද්ධ පවුල්වල මනුෂ්‍යයින් වශයෙන් ඉපදීමේ ඉඩකඩ හුඟාක් වැඩියි. එහෙම අය මනුෂ්‍ය ජීවිතයක් ලැබුවහම ධර්මයට හුඟාක් ලැදියි. ලෝකයට හරි කීකරුයි. විනය ගරුකයි. තමන් මොනතරම් මහේශෘඛ්‍ය කෙනෙක් වුවත් ඔහු හිතන්නේ හුඟාක් නිහතමානීව. මේ ගති ලක්‍ෂණ තමා සිටි පෙර හිලෑ අලි ජීවිත චර්යාවට හුඟාක් කිට්‌ටුයි. දැන් ඔබත් වර්තමානයේ විඳින්නට සිදුව ඇති ජීවිතය ගැන ඔබේ අතීත භව චර්යාවන්ට අනුව ගළපාගන්න. ඉහත කථාව අනුසාරයෙන් වියළි කලාපයේ ගොවි මහතා හිතන්න පෙර භවයක මා හැසිරුණු ආකාරය නිසාමයි මට මෙවැනි දේ වෙන්නේ කියලා. මගේ අස්‌වැන්න භවබෝග සතුන් විනාශ කරන්න එන්නේ මමත් පෙර ජීවිතවලදී තිරිසන් සතෙක් වෙලා මනුෂ්‍යයින්ගේ භවබෝග විනාශකරපු නිසාමයි කියලා. එවිට ඔබට හරිම පහසුයි සසර කරපු අකුසල් විපාක ලබන ගමන් අලුතින් අකුසල් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න?

නො.223 බ්ලුමැන්ඩල් පාර, කොළඹ 13 පිහිටි උපාලි පුවත්පත් ප්‍රධාන කාර්යාලය
කොළඹ කොටුව රීගල් සිනමා ශාලාව අසළ පිහිටි උපාලි පුවත්පත් දැන්වීම් කාර්යාලය
මහනුවර ක්‌වීන්ස් හෝටලයේ පිහිටි උපාලි පුවත්පත් දැන්වීම් කාර්යාලය කොළඹ 04, වජිර පාරේ පිහිටි 'වජිර හවුස් බිල්ඩර්ස්' වෙතින්
පිට පළාත් වල පාඨකයන්ට මෙම පොත ලබාගැනීමට හැකි ආකාරය ලබන සතියේ මෙම පිටුවෙන් දැනුම්දෙමු.
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
'සතර අපායෙන් මිදෙමු' 11 කොටස
සමාධියෙන් දුටු අකුසල් කන්දක්
ආරාණ්‍යවාසී භික්‍ෂුවක් සවස දෙකට පමණ සමාධියෙන් පසුවෙනකොට සද්ධන්ත අමනුෂ්‍යයෙක් දර්ශනය විය. මේ අමනුෂ්‍යයා භික්‍ෂුවට දර්ශනය වූයේ ඔහුගේ ඉඟටියෙන් පහළ කොටස පමණි. ඒ කියන්නේ කකුල් දෙක පමණකි. කකුල් දෙකේ උස අඩි විස්‌සක් පමණ ඇති. කකුල් දෙක ශක්‌තිමත් මිනිසකුගේ ස්‌වභාවයෙන් යුත් අතර ඇල්සේෂන් බල්ලකුගේ ඇඟේ ඇති දිග රෝමයන් සේ දැඩි කළු පැහැති රෝමවලින් කකුල් දෙක පිරී තිබිණි. මහා බියකරු රූපයකි. මෙම අමනුෂ්‍යයාගේ ඉඟටියෙන් පහළ කොටස දර්ශනය නොවුයේ ඇයි ද? යන්න භික්‍ෂුව නොදනී. මෙවැනි අතිශය බියකරු අමනුෂ්‍යයන් අකුසල් කඳු වගේය. අතීතයේ කරන ලද පාපකර්මවල බලවත් බව නිසා මොහුට මේ බියකරු බව, සද්ධන්ත බව ලැබී ඇත. මොහු නැවත නැවත කරන ලද අකුසල හේතුවෙන් මෙම බියකරු බව සද්දන්ත බව වැඩිවනු ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි.
මේ ආරණ්‍ය බිම්වල කරක් ගසමින් ආරණ්‍යයත් එහි වැඩ සිටින භික්‍ෂූන්වත් පීඩනයට පත්කිරීම, විකෘති මනෝභාවයන් ඇතිකිරීම, ධර්ම ශක්‌තියෙන් හීන භික්‍ෂූන්, කැපකරුවන් ග්‍රහණයට ගැනීමෙන් ඔවුන් හරහා ආරණ්‍යය අපිරිසිදු අවුල් සහගත ස්‌වභාවයන්ට පත්කිරීම මෙම අමනුෂ්‍යයන්ගේ කැමැත්තය. මෙම අමනුෂ්‍යයාගේ දේහ විලාශය දුටුවිට මොහුගෙන් ගැලවීමට ශක්‌තිමත් ශීලයකින් හික්‌මීම ඇතිකරගත් භික්‍ෂුවකට මිස ඉන් පහළ අයකුට නම් නොහැකිය. මෙවැනි විශම බලවේගවල බලපෑම නිසා එක්‌කෝ ලෙඩ රෝග, මානසික දුර්වලතා, කලකිරීම් ද චංචල මනෝභාවයන් නිසා ගැටෙන ස්‌වභාවයන්, අපිරිසිදුකම වැනි මේවා සිදුවීම පුදුමයක් නොවේ. පුදුමය වන්නේ මෙසේ සිදුනොවුණා නම්ය. මොකද මේ නිරිසතා එතරම්ම බියකරුය. මේ මිත්‍යදෘෂ්ඨික බලවේග ශාසනය රැකෙනවාට විරුද්ධය. වර්තමානයේ ශාසනයේ ඇති සංඝරත්නයේ අඩුව නිසා සුදුසු නුසුදුසු පිsරිසද මහණ පැවිදි වෙයි. පැවිද්දට සුදුසු පිංවත් පිරිසද පැවිදිවීමෙන් පසුව අතහැරීම පසෙක තබා රැස් කිරීමට පෙළඹේ. ශීල, සමාධි භික්‍ෂු දැනුම මාන්නය වපුරාගනී. මේවා මේ විෂම බලවේගවලට මහා ශක්‌තියකි. මෙම විෂම බලවේග ආරණ්‍යම ඉලක්‌ක කරගන්නේ සැබෑ සම්බුද්ධ ප්‍රතිපදාව මරා දැමීමටය.
මෙම සටහන තැබුවේ ඔබට නොපෙනෙන ලෝකයේ බියකරු ජීවිතයක ස්‌වභාවය දැනගැනීමටය. ඒ තුළින් ඔබට පාඩමක් ඉගෙන ගැනීමටය. මේ සද්ධන්ත අමනුෂ්‍යයා කවදාහරි දවසක ඔබ සේම මිනිසකු ලෙස මනුලොව ජීවත් වූවෙකි. එම ජීවිතයේදී වැඩූ අකුසල් නිසා මෙම ආත්මය ලැබී ඇත. මෙම ආත්මය තුළදීම මොහු රැස්‌කරන්නේ බියකරු අකුසල්මය. මොහු කුසල් හඳුනන්නේ නැත. මේ ආකාරයෙන් භික්‍ෂූන්ව දුකට පීඩනයට හෙළීමෙන්, සංඝභේද ඇති කිරීමට පරිසරය සකස් කිරීමෙන් මොහු අතින් ආනන්තරීය පාපකර්මය ද සිදුවිය හැකිය. දැන් හිතන්න මෙම අමනුෂ්‍යයාට සංසාරය මොනතරම් දුරවෙයිද විෂම වෙයිද කියලා. ඒ වගේම මෙවැනි අසරණයන්ට අනුකම්පා කරලා මෙය කියවලා පිංවත් භික්‍ෂුන් වහන්සේලා ද අවබෝධකර ගන්න ඕනේ භික්‍ෂූත්වය තුළ ශීල, සමාධි, දැනුම මාන්නයෙන් තොරව සැබෑ අතහැරීමේ භික්‍ෂු ප්‍රතිපදාව තුළ හික්‌මෙන්න. එසේ නොවුණහොත් එක පැත්තකින් එම බිහිසුණු අමනුෂ්‍ය බලවේගවලට තවතවත් අකුසල් රැස්‌කර ගැනීමට අවස්‌ථාව ලබා දෙන අතර ඔබද දුර්වල පිංවත් භික්‍ෂුවක් ලෙස කවදාහරි දවසක මේ බියකරු අමනුෂ්‍යයාගේ පිරිවර සමාජිකයෙක් වීමටද ඉඩකඩ නැතිවා නොවේය යන්න ඔබ සිහිකළ යුතුය.
ඔබේ කුටිය අවට පරිසරය, ආරණ්‍ය පරිසරය, චීවරය, අඳනය, ශරීරය, වැසිකිළිය, නියපොතුටික පවා පිරිසිදුව තබාගන්න. අවුල්වෙන්න දෙන්න එපා. පරණවූ දෙය, නරක්‌වූ දෙය, අනවශ්‍ය දෙය රැස්‌කොට තබන්න එපා. විනාශකර දමන්න. අපිරිසිදු සතුන් ඇති කිරීමෙන් වළකින්න. බුදු පහන, බුදු කුටිය අපිරිසිදු වෙන්න දෙන්න එපා. අඳුරු වෙන්න දෙන්න එපා. මේවා අපිරිසිදුයි කියන්නේ සිත අපිරිසිදු නිසාය. අන්තවාදී නොවී, සැබෑලෙස ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළ සුන්දර භික්‍ෂුවක් වීමට අවශ්‍ය ගුණධර්ම ඔබ තුළද වගාකරගෙන ඔබ සැනසෙනවා සේම විෂම අමනුෂ්‍ය බලවේගවලටද උපකාරවී ඔවුන්ගේ අකුසල් වැඩි නොකිරීමට ඔබ දක්‍ෂවෙන්න.
මේ ගමනේදී නිවීමේ මග අවහිර කිරීමට මාර බලවේග, බියකරු අමනුෂ්‍ය බලවේග ශීල්වත් වේෂයෙන්ද, අසරණ වේෂයෙන්ද, ගුරු ගෝල වේෂයෙන්ද, ඔහුගේ ගැලවුම් කරු වේෂයෙන්ද ඔබ ඉදිරියට එනු ඇත. දැනුම පාණ්‌ඩිත්‍ය වේෂයෙන්ද, ලාභ සත්කාර වේෂයෙන්ද ඔබ ඉදිරියට එනු ඇත. මේවා නිවන් මග බාලකරන සියුම් ධර්මතාවන්ය. මෙම බලවේග කෙරෙහි නොඇලී පෙරට යැම සංකීර්ණය. මොකද ඉහළ බලවේග පසුපස පෙර සදහන් කළ පරිදි සද්ධන්ත විෂම මිත්‍ය, දෘෂ්ඨික අමනුෂ්‍ය බලපෑම් දැඩිලෙස තිබෙන නිසාය. මොන පැත්තෙන් බැලුවත් මාර බලවේග අපට දැල එලා ඇත. මෙසේ මාර බලවේගවලට ඔබ අසුවන්නේ තවමත් ඔබ මාරසිත් අනිත්‍ය වශයෙන් දැක අතහැරීමට අදක්‍ෂ නිසාය. මෙය සටහන් කරන භික්‍ෂුව මෙම සද්ධන්ත අමනුෂ්‍යයාගේ අඩ රුව දුටු මොහොතේදීම, එම සිත අතහැරදැමීය. දුටුවේ රූපයකි. එහි ස්‌වභාවය අනිත්‍යය. එපමණකින්ම එය අවසන්ය. ඔබට පාඩමක් ඉගෙන ගැනීමට පමණක් සිද්ධිය සටහන් තබන ලදි. මෙවැනි විෂම, බියකරු, සද්ධන්ත අමුනුෂ්‍යයන්ගෙන් ගහණ, නොපෙනෙන ලෝකයේ වියරු ස්‌වභාවය දැක, ඔබ අනුනට මෛත්‍රිය කරුණාව දැක්‌වීමට පෙර මුලින්ම තමන්ට කරුණාව දක්‌වන්න. සැබෑ පරාර්ථය උදෙසා වර්තමානයේ ඔබ ආත්මාර්ථාකමී වෙන්න. ඔබ මෙහිදී අත්මාර්ථකාමී විය යුත්තේ කල්‍යාණ මිත්‍රයකු ගුරුවරයකුගේ උපදෙස් මත මිස අවිචාරයෙන් නොවේ. මොකද මාර බලවේග ඔබේ ආත්මාර්ථකාමී බවද තවත් ඇලීමකට ගැටීමකට යොමුකොට ඔබව අසරණ කරන නිසාය. ඉහත ස්‌වභාවයන් ඔබ නිවන් මග වැඩීමේදී අවබෝධ නොකරගතහොත් ඔබ ද, ඔහු ද නැවත නැවත ඉපදෙනු මැරෙනු ඇත.
'අතහැරීම - 2' එළිදැක්‌වේ

මේ දැනුවත් කිරීම එලෙස උනන්දු වූ ඔබ වෙනුවෙනි.
'මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ' ලිපි මාලාවේ දෙවැනි කොටසේ කොටස් 26ම එකතුවෙන් 'අතහැරීම 2' පොත මෙම සතියේදී ඔබ අතට පත්කිරීමට මේ වන විට කටයුතු සූදානම් වෙමින් තිබේ.
මෙම 18 වැනිදා සිට 26 වැනිදා දක්‌වා කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (බී.එම්.අයි.සී.එච්) පරිශ්‍රයේදී පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 'ජී' ශාලාවේ (Hall-G ) අංක 312 'කරුණාරත්න සහ පුත්‍රයෝ' ප්‍රදර්ශන කුටියේදී 'අතහැරීම 1' මෙන්ම අලුතින්ම ඔබ අතට පත්වන 'අතහැරීම 2' පොතද විශේෂ වට්‌ටම් යටතේ ලබාගැනීමට ඔබට හැකිවනු ඇත.
'අතහැරීම 1' මෙන්ම 'අතහැරීම 2' කොටසින් ලාභය ලෙස උපයන මුදලද ශාසනයේ අභිවෘධිය වෙනුවෙන් යෙදවෙනු ඇත.
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
‘සතර අපායෙන් මිදෙමු’ 2 කොටස (IV)
මේ දවස්‌වල භික්‍ෂුව වැඩ සිටින කුටිය අවට තිබෙන පළු ගස් කැලයේ පළු ගෙඩි හට අරගෙන මුළු පළුයායම කහ පාටින් පෙනෙන්නේ. වෙසක් මාසයේ සෞම්‍ය දේශගුණයත් එක්‌ක සෑම සතා සිව්පාවෙක්‌ටම හොඳහැටි ආහාර තිබෙනවා. භික්‍ෂුවගේ කුටිය වටේ තිබෙන වැලිමළුව නිතරම අපවිත්‍ර වෙලා තිබෙන්නේ. වැලි පොළවට වැටෙන පළුගෙඩි කන්න හරක් නිතරම වැලි මළුවට එනවා. හරක් කුර සටහන්වලින් වැලිපොළව අපවිත්‍ර වෙලා. දැන් වෙලාව උදෑසන හයට විතර ඇති. භික්‍ෂුව කුටියේ බිම අතුගාන කොට හරක් කීපදෙනෙක්‌ම වැලිමළුවේ පළුගෙඩි කනවා. වැලි මළුව හොඳටම අපවිත්‍ර වෙලා. හරක් ටික දැක්‌ක ගමන් භික්‍ෂුවට එක පාරටම කියවුණේ ‘පුතේ කරදර නොකර ඉක්‌මනට කාලා යන්න’ කියලා. කාටද මේ ‘පුතේ’ කියලා කියවුණේ? මිදුලේ සිටි හරකුන්ට. මේ හරක් සංසාරයේ කොච්චර නම් මා සමඟ එකම අම්මාගේ, තාත්තාගේ දරුවෝ වෙලා ඉන්න ඇතිද? සංසාරයේ හේතුඵල ධර්මයක් නිසාම ඉපදිලා එක පිඟානේ බත් කන්නට ඇතිද? එකට ගුලිවෙලා කොච්චර නම් දුකට හඬන්නට ඇතිද? සතුටට සිනාවෙන්න ඇතිද? ඔබත් මමත් අතර තිබෙන වෙනස පුතේ, සංස්‌කාරයන්ගේ වෙනස පමණයි. මේ දැක්‌ම තුළ ඉඳගෙන තමයි මහා සංඝරත්නයේ කරුණාව, මෛත්‍රිය ලෝකයට පැතිරෙන්නේ. සෑම සත්වයෙක් කෙරෙහිම ‘මම ලෝකය හඳුනාගත්තාය, ඔබ ලෝකය හඳුනා නොගත්තාය’ කියන අනුකම්පාව මත සිටිමිනුයි මහා සංඝරත්නය ලෝකය දකින්නේ. මේ අනුකම්පාව සකස්‌වෙන්නේ සසර දිග, සසර ගැඹුර, සසර දුක ගැන අවබෝධය තුළිනුයි.
මේ සටහන් තබන වේලාවේ භික්‍ෂුවට මතකයට එනවා එක්‌තරා ආරණ්‍යයකදී තරුණ සාමණේර හිමිනමකට ‘පුතේ’ කියන වචනයෙන් ඇමතුවාය කියලා එක් ගුණවන්ත වැඩිහිටි ස්‌වාමීන්වහන්සේ නමක් අවවාද කළ කාරණය. මේ සියල්ලම තුළ අපි දකින්නේ ලෝකයයි. ලෝකය වසාගෙන පැතිරෙන විවිධත්වයයි. සංඝ සමාජයේ පැවැත්ම උදෙසාම තමාට වඩා පැවිද්දෙන් අඩු ස්‌වාමීන්වහන්සේ නමකට ‘ආයුෂ්මතුන්’ නමින් හැඳින්වීම නිවැරදි බව භික්‍ෂුවත් පිළිගන්නවා. පසුව එම වරද භික්‍ෂුව නිවැරදි කරගත්තා. එහෙත් මොකක්‌දෝ හේතුවක් නිසාම ඉන් ඔබ්බට ගිය කරුණාවක්, මෛත්‍රියක් මහා සංඝරත්නයේ ජීවිතය තුළ තිබෙනවා. තමන්ගේ කුටියේ වැලිමළුව අපවිත්‍ර කරන එළදෙනත් දරුවෙක් හැටියට දකින්න වෙන දවසක් අපට ඉදිරියට එනවා. අන්න එතැනට යන්නයි පිංවත් ඔබ මේ ධර්ම මාර්ගයේ පෙරට යන්නේ. නමුත් පිංවත් ඔබම සිතන්න, අවංකවම ඔබට පුළුවන්ද යාබද නිවසේ සිටින අසල්වැසියාව මිතුරෙක් හැටියට දකින්න? ඔබට එය එහෙම දකින්න බැරිනම් මුලින්ම ඔබ එතැනින් පටන්ගන්න. අසල්වැසියාව මිතුරෙක් බවට පත්කරගන්න. අසල්වැසියා මොනතරම් අකීකරු වුවද ඒ අකීකරු බවේ තරමටම ඔබ උපේක්‍ෂාව තුළට එන්න. පිංවත් ඔබ මේ වෙහෙසෙන්නේ ඔබ උදෙසා මිස අනුන් උදෙසා නොවේ. අනුන්ගේ අකීකරුභාවය ඔබ, ඔබේ ජයග්‍රහණය සඳහා උපයෝගී කරගන්න.
අද නැකත් දවසක්. ඒ කියන්නේ සුබ දවසක්. භික්‍ෂුව උදෑසන පිණ්‌ඩපාතය වඩිනකොට, මෝටර් රථයක් වේගය බාලකොට භික්‍ෂුව අසලින් ගමන් කළා. භික්‍ෂුව එදෙස බලනකොට එය මංගල රථයක්. මලින් සරසලා. එහි මනමාල මහත්තයෙක් සිටියා. නැකත් බලලා, ඒ කියන්නේ සුබ දවසක් බලලා ‘දුකක්’ කැන්දාගෙන ගෙදරට එන්නයි මේ යන්නේ. භික්‍ෂුව එය දුකක් හැටියට දැක්‌කත් එම මනමාල මහත්තයා අද දවස දකින්නේ ජීවිතයේ ලස්‌සනම, වැදගත්ම දිනය හැටියටයි.
සම්බුදු දහමේදී නැකත් කියන කාරණය ප්‍රතික්‍ෂේප වෙනවා. යමෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් නම් ජීවත්වෙන්නේ, ශිලයට ජීවිතය තුළින් වටිනාකමක් ලබාදෙමින් නම් ජීවත්වෙන්නේ එම පිංවතාට සෑම දවසක්‌ම සුබ දවසක්, සෑම මොහොතක්‌ම සුබ මොහොතක් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එමනිසා පිංවත් ඔබ සුබ නැකත් සොයන්න හඳහන අරගෙන නැකත් බලන්න, සල්ලි වියදම් කරන්න අවශ්‍ය නැහැ. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ශීලයෙන් පිරිසිඳු නම් ඔබේ ජීවිතයම නැකතක්. හැම දවසක්‌ම ඔබට සුබ දවසක් බවට පත්වෙනවා. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටියදී ඔය රාහු කියන අසුරිඳු තමන්ගේ බලපුළුවන්කාරකමින් හිරු, ඒ කියන්නේ සූර්යාව ගිලගත්තා. මුළු ලෝකයම කළුවර වුණා. ඒ වෙලාවේ හිරුට අධිපති දෙවියෙක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේට දිව්‍ය ශ්‍රොත ඥානය ඔස්‌සේ ඇසුනා හිරුදෙවියන් තමන්ගෙන් පිහිට ආරක්‍ෂාව යදින බව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රාහු අසුරිඳුට ප්‍රකාශ කරනවා, ‘මා සරණ ගිය, මා දහම් පුත් හිරු මුදව¾ කියලා. ඒ මොහොතේම වෙව්ලමින් රාහු අසුරිඳු හිරු දෙවියන්ව තම ග්‍රහණයෙන් මුදවා වේපචිතති අසුරිඳු වෙත පළායනවා. වේපචිතති අසුරිඳු රාහුගෙන් අහනවා ‘ඇයි ඔබ හිරුව ග්‍රහණයෙන් මුදවා පළා පැමිණියේ’ කියලා. ඒ වෙලාවේ රාහු කියනවා ‘එසේ හිරු දෙවියන් මුදවා පළානොගියා නම් සම්බුද්ධ ආඥාව ඉටු නොකිරීම නිසා මගේ හිස සත්කඩකට පුපුරාවි’ කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ සරණ හමුවේ රාහු පළාගිය ආකාරය. නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවේ ඇති හීනභාවය නිසාම අපි රාහුට බයේ, සෙනසුරුට බයේ, කේතුට බයේ මොනතරම් පුද පූජා, බලි තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර කරනවාද?
මේ සටහන් තබන භික්‍ෂුවගේ ජීවිතයේ සෑම මොහොතක්‌ම සුබ මොහොතක්, සෑම දවසක්‌ම සුබ දවසක්. කේන්දර නැකත් බලලා හෙම නොවෙයි. ඒවා අතහැරලා සැබෑම තෙරුවන් සරණේ සිත පිහිටවපු නිසා.
ජීවිතය ඉදිරියට කුමන කාරණයක් පැමිණියද එය භික්‍ෂුව දකින්නේ සංස්‌කාරයන්ගේ ඵලයක් වශයෙන්මයි. ඒ කියන්නේ මා විසින්ම, හේතුඵල ධර්මයන්ට අනුව සිදුකොටගත් කුසල් සහ අකුසල්වල ඵලයන් හැටියටයි. මෙතැන රාහු හෝ සෙනසුරු නැහැ. අපේ අකුසල්වල බලවත්භාවය නිසාම, තෙරුවන් සරණින් බැහැරට ගිය නිසාම, රාහු සෙනසුරු කේතු බලෙන්ම අපි අපේ හිස මතට දාගන්නවා. දැන් ඉතින් ජීවිතයම අපළයක්, හූනියමක්, එහෙම නැතිනම් කොඩිවිනයක්. තෙරුවන් සරණ අහිමිකරගත් තැනදී ජීවිතයම ප්‍රශ්න ගොඩක් තමයි.
තමන්ට තිබෙන ප්‍රශ්න ගොඩ මදිවට, තව ප්‍රශ්න ගොඩක් කරගහගන්න ගිය මනමාල මහත්තයාව භික්‍ෂුවට මතකයට නැගෙනකොට අතීතයේ සිදුවූ සිද්ධියක් මතකයට පැමිණියා. එදා භික්‍ෂුව ගිහියෙක්. වයස අවුරුදු 30ක් පමණ ඇති. එදා මම සතිඅන්ත පුවත්පතක මංගල දැන්වීමක් පළකළා. විවාහයක් සඳහා. එම දැන්වීමේ එකතැනක මෙහෙම සඳහන් කළා. ‘නිහඬ විවාහයකට, ආගම දහමට කැමැති යුවතියක් සොයයි’ කියලා. සති දෙකක් පමණ යනකොට විශාල පිළිතුරු ලිපි ගණනක් ලැබුණා. ඉන් තෝරාගත් ලිsපි කිහිපයකින් එකකට පිළිතුරු යෑව්වා. මා එහි සඳහන් කළේ, කිසිම විවාහ උත්සවයක් ගන්නේ නැහැ. විවාහය ලියාපදිංචි කරලා අපි අනුරාධපුරයට හෝ කතරගමට ගිහිල්ලා ආගමික කටයුතු කරලා ජීවිතය පටන්ගමු කියලා. ලිපිය අදාළ තැනැත්තියට යවලා සතියකට විතර පස්‌සේ මට පිළිතුරු ලිපියක් ලැබුණා ඇයගෙන්. එය දීර්ඝ ලිපියක්. එහි මුලින්ම මෙහෙම සඳහන් කර තිබුණා. ‘ඔබ මහා චපල පිරිමියෙක්. ඔබ තරුණියකගේ බලාපොරොත්තු හඳුනන්නේ නැහැ. ගැහැණු දරුවෙක් වැඩිවියට පත්වුණ දවසේ ඇය බලාපොරොත්තුවක් ඇතිකරගන්නවා. ඒ තමයි ඇයගේ උතුම්ම බලාපොරොත්තුව. ජීවිතයේ එකම සිහිනය. ඒ සිහිනය තමයි, කවදාහරි දවසක නෑදෑයෝ වටකරගෙන මඟුල් සාරි ඇඳලා, පෝරුවට නැගලා, මුදු මාරුකරලා….. මේ සුන්දර සිහිනය හැමදාකම දරාගෙනයි තරුණියක් ජීවත්වෙන්නේ. තරුණියකගේ එම සිහිනය නොහඳුනන මනුෂ්‍යයෙක් ඔබ. ඔබ උත්සහගත්තේ තරුණියකගේ එම සිහිනය මරාදමන්නයි. ඔබගෙන් මෙයට පිළිතුරු ලිපියක්‌වත් බලාපොරොත්තු නොවන්නේ යෑයි ඇය සඳහන් කර තිබුණා. මේ ලිපිය කියවලා අහවරවෙන විට මාව තුෂ්ණිම්භූත වුණා. ඇත්තටම මම තේරුම්ගත්තා තරුණියකගේ විවාහ උත්සවයක් නමැති ඒ සුන්දර සිහිනය බිඳදමන්නයි මම උත්සහ ගත්තේ කියලා. ඇයත් මමත් අතර අහසයි පොළොවයි වගේ පරතරයක් ඇති බවයි මම දැක්‌කේ. අහසයි පොළොවයි කවදාකවත් එකතුවෙන්නේ නැහැ. ඒ නිසාමයි ඇය පිළිතුරු ලිපියක්‌වත් එවන්න එපාය කියලා සටහන් කර තිබුණේ. මේ ලිපිය කියවලා කරුණු නුවණින් මෙනෙහි කරනකොට අවංකවම මට සතුටක් ඇතිවුණා. ලෝකය සිතනවාට වඩා මම මොනතරම් දුරස්‌වද සිතන්නේ කියලා. ලෝකයාට වඩා දුරස් ආකාරයට හිතන්න මා තුළ තිබුණා වූ දක්‍ෂභාවය නිසාමයි මේ මොහොතේ මා ලෝකයාගෙන් ගොඩාක් දුරස් තැනක ජීවත්වන්නේ. නමුත් මට හොඳටම විශ්වාසයි මේ මොහොතේ ඇය ජීවත්ව සිටිනවා නම් දරුවන් කිහිපදෙනෙකුගේ මවක් හැටියට මහා දුක් කන්දරාවක් දරාගෙන ජීවත්වෙනවා ඇතිය කියලා. එදා ඒ මුල් ලිපියෙන් සිදුවූ හමුවීම, වෙන්වීමක් බවට පත්වූයේ රාහු නිසා හෝ සෙනසුරු කේතු නිසා නොව, සංස්‌කාර ධර්මයන් නිසාමයි. මගේ තිබුණු කුසල් විසින් ඒ අකුසල් වළක්‌වා දැම්මා. මට මේ මොහොතේ ඉන්න තැනට එන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි මා තුළ තිබූ ශ්‍රද්ධාවමයි එදා මාව මේ අනතුරුවලින් බේරුවේ. මගේ අතීත ජීවිතයේ මෙවැනි අනතුරු කිහිපයකින්ම බුදුරජාණන් වහන්සේගේ සරණ විසින් මාව බේරාගෙන තිබෙනවා. මේ ඉන්න තැනට එන්න…. ඒ කියන්නේ මේ සියල්ල අහම්බයක් නොවේ. සංස්‌කාරයන්ගේ ප්‍රතිඵලයන්මයි.
මේ වෙලාවේ මට නැවතත් මතකයට එනවා අද හිමිදිරියේ පිණ්‌ඩපාතය වඩිනකොට මංගල රථයේ ගමන් කළ මනමාල මහත්තයාව. ‘අනේ මනමාල මහත්තයෝ, ඔබට ලැබුණ මනමාලියත් ඉහත ආකාරයෙන්ම උපාදානය බලවත් මනමාලියක් වුණෝතින් ඔබටත් දෙවියන්ගේම පිහිටයි’
මෙතැනදී ‘දෙවියන්ගේම පිහිටය’ කියලා කීවේ පුතේ කවදානම් ඔබට ගැලවෙන්න පුළුවන්ද කියන කාරණයයි. ගිහි පිංවතුන්ලා මිත්‍යදෘශ්ඨික සම්මුතීන්ගෙන් බැහැරවෙලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ජීවිතය පටන්ගතහොත් එම ජීවිත මොනතරම් නම් ශක්‌තිමත් සැනසිලිදායක තැනකට රැගෙන යන්න පුළුවන්ද. බලාපොරොත්තු කන්දක් ගොඩගසාගෙන එම බලාපොරොත්තු කන්දටම යටවී මෙලෝ සිහියක් නැතිව ජීවත්වෙන මිනිස්‌සුන්ට මඟ නොමඟ කියාදෙන උතුම් ධර්මයක හිමිකාරීත්වයට පිංවත් ඔබ සුදුසුයි. කළ්‍යාණ මිත්‍ර ඇසුරම සොයන්න. සද්ධර්ම ශ්‍රවණය සිදුකරන්න. ඇසෙන්නා වූ ධර්මය නුවණින් මෙනෙහි කරන්න. එය ඔබේ ගමනක ආරම්භය වනු ඇත.
ඉන්ද්‍රජිත් සුබසිංහ
දිවයින ඉරිදා සංග්‍රහයේ පළවන ලිපි පෙළ ඇසුරින් උපුටා ගන්නා ලදී
indrajith.media@gmail.com
සත්තයි, ආයේ කිසිදවසක වරදින්නේ නැහැ
සිත නැවතිලා. ඇසට රූප පේනවා. කනට ශබ්ද ඇසෙනවා. ඒත් ඒවා නිසා විතර්ක සකස් වෙන්නේ නැහැ. දැස් ඇරගෙන සිටින්නේ. පරිසරය පෙනෙන්නේ නැවතිලා තියෙනවා වාගේ. දැස් වසාගනිද්දී පරිසරය මැකී යනවා. එතැනදී හිස් බවක් පෙනෙන්නේ. කාලය ගලාගෙන යනවා. සංස්‌කාර ගෙවීගෙන යනවා. වන පෙතේ දැඩි නිහඬතාවය නිහඬ සිත තව තවත් නිවා දමනවා. අරමුණක් නැහැ. බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ මරණය. කාගේවත් කැමැත්තට එය සිද්ධ වෙන්නේ නැහැ. අතීත සංස්‌කාර ශක්‌තිය මරණයේ ආධිපත්‍යය දරාගෙන සිටින්නේ. එය ස්‌වාභාවික මරණයක් වෙන්න පුලුවන්. මරා දැමීමක් වෙන්නත් පුලුවන්. කොහොම වුණත් වෙන්න තියෙන දෙයයි සිද්ධ වෙන්නේ. මරණය අස්‌වාභාවික වෙන්න වෙන්න, මරණයේ සුන්දරත්වය වැඩි වෙනවා. මොකද, සංස්‌කාරයන්ගේ විෂම, ගොරහැඩිභාවයයි අත්දකින්නේ. සංස්‌කාර කියන්නේ බොහෝම සාධාරණ ධර්මතාවයක්. එයාගෙන් කාටවත් වරදක් නැහැ. හොඳට හොඳයි. නරකට නරකයි. වඩාත්ම ශක්‌තිමත් කුසලය හෝ අකුසලය මතුකොට ගන්නවා.

පින්වත් ඔබ සිතන්නකෝ, මේ ජීවිතයේදී මිච්ඡා ආජීවයේ යෙදෙන කෙනෙක් ඉන්නවා. ඔහුගේ ව්‍යාපාරය මත්වතුර වෙළඳාම. මොහු බොහොම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නේ. ආදායම දිනෙන් දිනම ඉහළ යනවා. මේ මහතා දන් දීමත් කරනවා. මේ මහතා මිය ගිහින් නැවත මනුෂ්‍යයෙක්‌ව ඉපැදුනොත්, ඔහු ලාබාල තරුණ වයසේ පටන්. මත්වතුර බීමට ඇබ්බැහි වෙනවා. මුළු ජීවිතයම මහා බේබද්දෙක් වෙනවා. ගිය ජීවිතයේදී අනුන් මත් කළාවු වරදට, සංස්‌කාර බොහොම සාධාරණව නිවැරදි හේතුඵල ධර්මයන්ට අනුව විපාකය සලස්‌වනවා. ඔහු ගිය ජීවිතයේදී කළාවු දන්දීම්වලට, රැකගත්තාවු ඉතිරි සිල්පදවලට මනුෂ්‍ය ජීවිතයක් ලබා දුන්නා. අනුන්ට මත්වතුර වෙළඳාම් කොට මත්කිරීම හේතුවෙන් බේබද්දෙක් බවට පත්වුණා.
පින්වත් ඔබත් විවේකීව සිතන්න. සිත දිව්වොත් නවතාගන්න පුලුවන්ද? සසර ගැන බිය ඇතිකර ගන්න. බිය අබියස සිත තැන්පත් වේවි. නැතිව සිත තැන්පත් කරන්න බැහැ. මුහුදු රැළ වාගේ බිඳෙනවා. සකස්‌වෙනවා. බැරි දෙයක් නැහැ වුවමනාවක් තියෙනවා නම්. වුවමනාව සකස්‌කොට ගන්නෙ සසර බිය දැනුන කෙනායි. ඔබේ ජීවිතය තුළට මනසින් කිමිදෙන්න. ඔබ මේ මොහොතේ මිය ගියොත් කෙබඳු උපතකට ඔබ වැටෙයිද? උපාදානය නිසා.... භවය කුමක් වේවිද? සිතන්න. ශිල් පද බිඳුන ඒවා මතක් වෙනවාද? ගෞරවයෙන් රැකගත් සිල්පද මතක් වෙනවාද? ලෝභ ද්වේෂ මෝහ අකුසලයන්ගේ ස්‌වභාවය කොහොමද? ලකුණු වැඩි සුගතියටද? දුගතියටද? පුලුවන්ද ඔය රැකගෙන සිටින 'මගේ ගොඩ' මොහොතින් අතහරින්න? මැරෙනවා කියන්නේ හිනා වෙනවා කතා කරනවා, විහිළු කරනවා වාගේ ලෙහෙසි වැඩක් නොවෙයි. ඇලීම්, ගැටීම්, උපේක්‌ෂාවන් සියල්ල අහිමි වෙන්නයි යන්නේ. මේවායේ ග්‍රහණයෙන් බැහැරව යන්නයි හදන්නේ. අහිමි වෙන්නයි හදන්නේ. භික්‌ෂුවට මේ මොහොතේ මතක් වෙනවා තනතුරක් අහිමි වූ තැනකදී දේශපාලනඥයකුගේ දැසට කඳුළු නැඟී ආකාරය. ඒ කඳුළු උණුසුම් වුණේ තෘෂ්ණාවෙන්. ඔහු තනතුරු දැරූ මහේශාක්‍ය කාලයේ හෙළු සතුටු කඳුළු උණුසුම් වුණේ තෘෂ්ණාවෙන්මයි. එකම කඳුළ දුක සැප වශයෙන් මහා පරතරයකින් වර්ගීකරණය කරනවා. දුක සැප දෙක සැම මොහොතකදීම දෙකක් වශයෙන් ගත්ත අපි කාලය ළඟදී පරදිනවා. දැන් මහලුයි. දැන් වයසයි. කාලය වේගයෙන් ඉදිරියට යනවා. ඔබත් දුවනවා. නමුත් සැම මොහොතකම කාලය වේගවත්. ඒ අපේ තෘෂ්ණාවේ බලවත් භාවය නිසා. නිශ්චිත ඉලක්‌කයකින් සෑහීමක් නැහැ. ඒ නිසා සෑම මොහොතකදීම අපි කාලයට පරදිනවා. ඒ කියන්නේ කාලය මදිවෙනවා. නැති දෙයක් ඇතැයි කියලා ගත්තොත්, අපිට සොයන්න වෙනවා. නමුත් වෙහෙස පමණයි. අපි පරදිනවා. මොකද? අපි නැති දෙයකුයි සොයන්නෙ. ඵස්‌සය හේතුවෙන් සකස්‌වෙන සිතිවිලි අයාලේ යන්න දෙන්න එපා. ධර්මයේ ග්‍රහණයට යටත් කොට ගන්න. සිතනවා නම් ගොඩක් දේවල් සිතන්න පුලුවන්. ඒත් ඒ සිතිවිලි මට අයිති නැහැ. මගේ සිතිවිලි මට අයිති නැති නම්, අනුන්ගේ සිතිවිලි කෙසේ මට අයිති වෙන්නද? එහෙම සිතනකොට ලොකු නිදහසක් දැනෙනවා. එම නිදහස ළඟ ඔබ නවතින්න. එවිට ඔබට දැනේවි කාලය වේගයෙන් ගලාගෙන යනවා. එහෙත් ඔබ නැවතිලා. ඔබ නැවතුන තැනදී කාලයට කරන්න දෙයක් නැහැ. ලෝකය දුවනවා. ඔබ නැවතිලා. සිතිවිලි නැවතුන තැනදී ඔබ නවතිනවා. ඒ කියන්නේ ඔබට මේ වේගය නවතාගන්න පුලුවන්.
අපි නිදහස විවේකය උදෙසා කොපමණ දේවල් කරනවාද? විවේකය ගත කිරීම සඳහා කොතරම් වියදම් කරනවාද? නමුත් එක සිතිවිල්ලක් නවතා ගැනීම තුළ මොන තරම් නිදහසක් ලබන්න පුළුවන්ද? අපි විවේකය කියලා හොඳට කාලා බීලා නිදාගෙන විනෝද වෙලා පංචනීවරණ තීව්‍ර වෙලා. තව තවත් කෙළෙස්‌වළ සිරගත වීමකුයි කරගන්නේ. දුක නිසා සැප සොයනවා. සැප නැවතත් දුකකටම ඇද දමනවා. ඒ නිසාමයි නැවත නැවත සැපය සොයන්නේ. නැවත නැවත සැපය සොයන්න වෙන්නේ.
අපි මොන දේ කරන්නෙත් සැප බලාපොරොත්තුව. දුකක් බලාපොරොත්තුව අපි කිසිවක් කරන්නේ නැහැ. අපි ගින්දරට අත දමන්නේ නැහැ. අත පිච්චෙන දුක නිසා. සැප බලාපොරොත්තුවෙන් සියල්ල සිදු කළත් එහි ප්‍රතිඵලය දුකමයි.
භික්‌ෂුව හඳුනන එක් භික්‌ෂුවක් සිටිනවා. තෘෂ්ණාව මරා දමලයි සිටින්නේ. උන්වහන්සේ සිතන කිසිම සිතිවිල්ලකින් දුකක් සකස් වෙන්නේ නැහැ. සැනසිල්ලක්‌මයි ලබන්නේ. ජීවිතය කියන්නේ හරිම පරස්‌පරයක්. සැපය කියලා කුමක් ඇල්ලුවාද, කුමකට බැඳුනද, එතැන දුක් ගොඩක්. ඉතින් අපේ තිබෙන විශේෂත්වය දුක බාහිරට පෙන්වන්න යන්නේ නැහැ. සිනාවෙන්, කතාවෙන් දුක හොඳින් වසා ගන්නවා. එතැනදී ඉපැදෙන්නේ තෘෂ්ණාව දුක නිසා දුක වර්ධනය වෙනවා. දුකට කියන තවත් නමක් කියන්න කිව්වොත් භික්‌ෂුව කියන්නේ සැපය කියලයි. මොකද එය ඒ තරමටම සමීපයි දුකට. ඇත්තේ ආශ්වාදයක කෙටි පරතරය පමණමයි. ඒ පරතරය එක සිතිවිල්ලක පරතරය වෙන්න පුලුවන්. මෙතැන දුක ගැන කතාකරන්නේ මනුෂ්‍ය ලෝකයට සාපේක්‌ෂව. දිව්‍යතලවල සැපයේ ආශ්වාදය මනුෂ්‍ය ලෝකයට සාපේක්‌ෂව පින නිසා ඉතා ඉහළයි. දුක සැප කියන්නේ අවසානයක් දකින්න පුලුවන් සමීකරණයක් නොවේ. ඔබ පැටලෙන සංකීර්ණ සමීකරණයකි.
දුක සැප කියන දෙකම මිරිඟුවක් නම්, පිංවත් ඔබ මුවෙක් කියන අසරණ චරිතයෙන් මිදෙන්න. සරණක් ඇති පින්වතෙක් වෙන්න. සරණක් ඇති පුද්ගලයා ඉන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක පමණයි. ඔහු සරණ කොට ගත් සද්ධර්මය ජීවිතයට දරාගෙනයි ජීවිතය දෙස බලන්නේ. ඔහු මිරිඟුවත් යථාර්ථයත් නුවණින් හඳුනා ගන්නවා. බොරුවත් මුළාවත් පස්‌සේ දුවන්නේ නැහැ. ඇත්ත ඇති තැන නවතිනවා. දුක කියන කාරණයට ප්‍රතික්‍රියා දක්‌වනවා වෙනුවට ඔහු දුක ඇතිවීමට හේතුවයි සොයන්නේ. තෘෂ්ණාව නිසාමයි අකුසල් රැස්‌වෙන්නෙ කියලා ඔහු දකිනවා. ඔහු දුක ගැන සිතීම නවතා දසකුසල් ගැන සිතීමට පටන් ගන්නවා. දුකට අපි හැමෝම අකැමැතියි. ඒ නිසයි අවම වශයෙන් දුකෙන් පලායන්න උත්සාහ ගන්නේ. දුකෙන් පලා යන මනුෂයා අතිරේක දුක් සකස්‌කොට ගන්නවා. දුක කියන්නේ අකුසල්වල ඵලයක් කියලා තේරුම් නොගන්නා නිසාම..........
මේ ලෝක ධාතුව තුළ අතිශය කෘරතර දුක් විඳින සත්ත්වයින් සිටිනවා. ඔවුන් සිටින්නේ අවීචිය කියන නිරයේ. ඔබත් මමත් අතීතයේ යම් දවසක මේ දුකත් විඳලා තියෙනවා. මනුෂ්‍යයා වැරදි කරන්නේ වැරැද්දට ධර්මානුකූලව ලැබෙන දඬුවම් නොදකින නිසාමයි. මේ නොදන්නා භාවය ඇති කරන්නේ මෝහය විසින්. ධර්ම මාර්ගය තුළ නිවැරදිව දාන, ශීල භාවනා කටයුතු කරන ගිහි පින්වතුන් හට රැකියා ව්‍යාපාර ආදියේදී ප්‍රශ්න මතුවෙනවා වැඩියි. මෙය ධර්මයේ ආශ්චර්යයක් බව, තමන් ධර්ම මාර්ගයේ සිටින බවට තමන්ට ලැබෙන සහතිකයක් බව තේරුම් ගත යුතුයි. ධර්මය තුළ හැසිරෙන කොට ඔබ ඉදිරියට ප්‍රශ්න එන්නේ ධර්මය පැත්තට තව අඩියක් ඉදිරියට තබන්නටයි. නමුත් මේ තත්ත්වය නිවැරදිව හඳුනා නොගත් ශ්‍රද්ධාව අඩු පින්වතුන් මෙතැනදී ධර්මය සමග කලකිරෙනවා. ගැටෙනවා. ධර්මය සැමවිටම සන්දිට්‌ඨික ගුණයෙන් යුක්‌තයි. උත්සාහයේ කැපවීමේ තරමට ප්‍රතිඵල ලබාදෙනවා. ඒ නිසා ධර්ම මාර්ගයේ ගමන් කරන පින්වත් ඔබ හැමවිටම පෙරළුන එක හොඳයි කියලා දකින්න ඕනි. එසේ දකිමින්මයි නිවැරදි පැත්තට නැවත පෙරලාගන්න ඕනි. පෙරළීමත්, නැවත නිවැරදි පැත්තට හරවා ගැනීමත් අතර ඇති ව්‍යායාමය ඔබ තුළ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තීව්‍ර භාවයමයි සකස් කොට දෙන්නේ. ගොඩනැගෙනවාට වඩා වැටෙනවාට ඔබ කැමැති වෙන්න. ගොඩ නැගෙන දෙය වැටෙන ස්‌වභාවයෙන් යුක්‌ත බව එවිටයි නුවණින් දකින්නේ. ඒ දැකීමයි ධර්මය කියන්නේ. යමක් නුවණින් දකින පින්වතුන් තුළ ප්‍රඥාව හෙමිහිට මෝදු වෙනවා. විදර්ශනාව ප්‍රගුණ කිරීම තුළින්මයි ඔබ එම ගුණය වඩාගත යුත්තේ. මෙම සටහන් තබන භික්‌ෂුව ප්‍රශ්න ගැටලු තුළින් ජීවිතය, ධර්මය දුටු කෙනෙක්. ප්‍රශ්න දැඩිව මතු වු වේලාවක භික්‌ෂුව ගිහි කාලයේ සිතා තිබෙනවා ඇයි මම ඉපැදුනේ කියලා. එසේ අතීතයේ සිතුනේ ධර්මය නොදන්නාකම නිසාමයි. වර්තමානයේ මෙතරම් සුන්දර ජීවිතයක උරුමය සැඟවිලා තිබුණේ ඒ අතීත අසුන්දර ජීවිතය තුළයි. ඒ අසුන්දර අතීත ජීවිත කතාව තුළ ඒ සෑම ප්‍රශ්නයක්‌ම භික්‌ෂුවගේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා, අවාසානයේදී. ගිහි ජීවිතයේදී භික්‌ෂුවට ඉහත ප්‍රශ්න නොපැමිණියානම්, භික්‌ෂුව මීට වඩා වෙනස් තැනක ඉන්න තිබුණා. නමුත් එය එසේ වෙන්න බැහැ. සංස්‌කාරයන් නිවැරදි තැනට ප්‍රශ්න මැදින් අවබෝධය සකස් කරමින් රැගෙන එනවා. එහෙම නම් භික්‌ෂුවගේ ගිහි ජීවිතයේදී ප්‍රශ්න ඇතිවුනේ හේතුවක් නිසාමයි. භික්‌ෂුවට මේ මොහොතේ ඉන්න තැනට එන්න අවශ්‍ය පාර කැපීම සඳහාමයි. දැන් ඔබට අවශ්‍ය පිළිතුර පැහැදිලිව තිබෙනවා. ඔබ ඉදිරියට එන ප්‍රශ්න කැමැත්තෙන් පිළිගන්න කියලා භික්‌ෂුව කියන කාරණය ඔබට දැන් පැහැදිලියි. ප්‍රශ්න හා ගැටෙන්න එපා. ප්‍රශ්න සුහදව පිළිගන්න. ප්‍රශ්න නිසා ඇතිවන අතුරු ඵලයන්ට සුහදව ආචාර කරන්න. මේවා ඔබ සොයා එන්නේ හේතුවක් නිසාමයි. එම නිසා ඔබ සොයා එන කිසිවක් ප්‍රතික්‌ෂේප නොකරන්න. ඔවුන් සතුරු වේශයෙන් පැමිණියත් ඔබගේ මිතුරන් බව සිතන්න. දුක සහ සැප ඔබ අතීතයේ කළාවු සංස්‌කාරයන්ගේ නිවුන් දරුවන්.
ඔබ ඉදිරියේ එන ප්‍රශ්න දුක් පීඩා නින්දා අපහාස අතරින් ඒකට මුහුණ දෙමින් සද්ධර්මය පැත්තෙන්ම අඩියක් ඉදිරියට තබන්න ඔබ දක්‌ෂ වෙන්න. පින්වත් ඔබ යාචක මහත්මයෙක් වෙලා මැරෙන්න පුලුවන්. ඒත් ඔබ හිස් අතින් නොවේ මැරෙන්නේ. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් වඩාගෙනයි සුගතියට ගමන් කරන්නේ. ඒ ඉන්ද්‍රිය ධර්මයන්මයි මතු භවයක අයෝමය ශක්‌තියක් වී නැඟී සිටින්නේ ධර්මාවබෝධය පිණිස. වෙනස් වන ලෝකය ඉදිරියේ ඔබ නොවෙනස්‌වන පුද්ගලයෙක් වෙන්න. නොවෙනස් වන පුද්ගලයා යනු ඇලීම් ගැටීම්වලින් තොරව උපේක්‌ෂාව තුළ ජීවත්වෙන පුද්ගලයායි. දැන් ඔබ තවදුරටත් මිරිඟුවක් පිටුපස දුවන්නේ නැහැ. මොකද, ඔබ දැන් අසරණ පුද්ගලයෙක් නොවේ. සරණ ඇති පින්වතෙක්.
වේලාව සවස 5.30 යි. පරිසරය ඉතා සීතලයි. වෙනනත් සතෙකුගේ හෝ ශබ්දයක් නැහැ, කුරුල්ලන්ගේ හඬ මිසක්. දඩයම්කරුවන්ගේ සෙවනැලි කැලය තුළින් මැවී නොපෙනී යනවා. සතුන් නැත්තේ ඒ හේතුවෙන්. ලේ රසට මස් රසට ගිජු වෙච්ච මනුෂ්‍යයෝ දඬුලේන්, මුගටියන් සැපයක් හැටියටයි දකින්නේ. මසට ඇති තෘෂ්ණාව නිසා. මනුෂ්‍යයාගේ දිවට දැනෙන මස් රසය මගින් වනයේ සතුන්ව සීමා කරනවා. තනිවෙච්චි වළිකුකුලෙක් නිතරම කෑගසනවා ඇසෙනවා. එයාගේ වළිකුකුල් පවුලත් විනාශයට ගොදුරු වෙලා. ලෝකය ඉපැදෙනවා. මැරෙනවා. මරපු අය මැරුම් කනවා. අරුමයක් පුදුමයක් නැහැ. මෙයයි ලෝකය. ලෝකය ලෝකයේ ස්‌වභාවයෙන් ගලාගෙන යනවා. සංස්‌කාරයෝ සංස්‌කාරයන්ගේ ස්‌වභාවයෙන් දුකත් සැපත් ජීවිතයත් මරණයත් බෙදා දෙනවා. භික්‌ෂුව ලියනවා. පින්වත් ඔබ කියවනවා. භික්‌ෂුව ලියන්නේ අවබෝධයකින්. පින්වත් ඔබ කියවන්නේ අවබෝධය ලබාගන්න. පින්වත් ඔබ කියවන කරුණු ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමග හොඳින් ගළපන්න. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඵලයයි පින්වත් ඔබට මේ සටහන් තබන්නේ. ........................ පිංවතුනි .ප්‍රඥාව අවධිකොට ගන්න.
මේ ලිපියේ තවත් කොටසක් ලබන සතියේ බලාපොරොත්තු වන්න...
ඉන්ද්‍රජිත් සුබසිංහ
දිවයින ඉරිදා සංග්‍රහයේ පළවන ලිපි පෙළ ඇසුරින් උපුටා ගන්නා ලදී 2012-09-02
indrajith.media@gmail.com
බලන්න ඊර්ෂ්‍යාවේ වෛරයේ රඟ...
කාමයේ ආශ්වාදයට ඔබ තුළ ඇති කැමත්ත නිසා හේතුඵල ධර්මයන් අනුව සකස්‌වෙන ජූරි සභිකයන් පස් දෙනෙක් සිටිනවා. මේ අය එකම මොහොතක එක පේලියේ ඉඳගෙන ඉන්නෙ නැහැ. එක් අයෙක් හේතුවෙනුයි අනෙක් ජූරි සභිකයා සකස් වෙන්නේ. ඵලය සකස්‌වෙනවිට හේතුව මැකිල යනවා. මේ ධර්මතාවය නැවත නැවත සිද්ධවෙනවා. මේ ජූරි සභිකයෝ පස්‌දෙනා වෙන කවුරුවත් නොවේ. පස්‌ස, වේදනා, සංඥා, සංස්‌කාර, විඤ්ඤාණ කියන පස් දෙනයි. මේ පස්‌දෙනාම බිහිවෙන්නේ රූපය කෙරෙහි ඔබ තුළ ඇති ජන්දරාගය නිසා. යම් රූපයක් ස්‌පර්ෂය නිසා, ඔබ ප්‍රකටව හෝ අප්‍රකටව යම් විඳීමක් ඇතිකරගත්තානම් ඒ විඳීම හේතුවෙන් සකස්‌වෙන හඳුනාගැනීමත්, ෙච්තනාවත්, විඤ්ඤාණයත් අනුනගේ දෙයක් නොවේ. හේතුව තුළින්ම සකස් කරගන්නා ධර්මතාවයන්. මේවා අප්‍රසිද්ධියේ කරන්න, සඟවන්න බැහැ. මොකද? සඟවන්න සඟවන්න, අප්‍රසිද්ධියේ වැරදි කරන්න, කරන්න ඔබ තුළ සකස්‌වෙන ෙච්තනාවන්ගේ ස්‌වභාවය බලවත් වෙනවා. ෙච්තනාවේ ස්‌වභාවය හේතුවෙනුයි විඤ්ඤාණය නමැති ඵලය සකස්‌වෙන්නේ. මිය ගිය පිංවත් මහත්මයෙක් අප්‍රකටව, අප්‍රසිද්ධියේ කරන ලද බලවත් අකුසල් කර්ම හේතුවෙන් සකස් වුණ බලවත් අකුසල් ෙච්තනාවන් නිසයි ඊට අදාළව සකස්‌වුණ විඤ්ඤාණය නිරය වැනි අති භයානක උපතකට බැසගන්නේ. ඒ බැසගත් මොහොතේ පටන් එම නිරි සතාට තම අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත්, ස්‌පර්ශය හේතුවෙන් නැවත නැවත සිත් සකස් වෙනවා. දැන් ඔබට හොඳින් තේරුම් යනවානේ ලෝකයට හොරෙන් යමක් කළත් ධර්මයට හොරෙන් යමක් කරන්න බැහැය කියලා. සම්මා සම්බුද්ධ ශාසනය ලෝකයේ පැවතියත් එය අතුරුදහන්ව ගියත් පංචඋපාදානස්‌කන්ධය කියන ධර්මය සත්වයා තුළ සකස්‌වෙනවා. එය අවබෝධකර ගන්නේ සම්මා සම්බුද්ධ ශාසනයකදි පමණයි. ඔබ සිතන්නවත් අකමැති කුරිරු වේදනාවක් නිරයේ විඳින මේ නිරිසතා එම දුකට පත්වූවේ ශීලය ආරක්‍ෂා නොකර ගැනීමේ හේතුවෙන්මයි. ඔබට වැටහෙනවාද උතුම් ශීලයේ ඇති වැදගත්කම. කඳුළ කියන්නේ ශිල්පදයක බිඳවැටීම. කඳුළ දැකලා දුක්‌වෙලා ඵලක් නැහැ. බිඳුන ශීලයයි ඔබ පිරියම් කර ගත යුත්තේ. එවිට කඳුළු පසුබසීවි.
භික්‍ෂුව පෙර සටහන් කළ ගිනියම් වූ ජලයේ නැගෙන්නා වූ උතුරන ජල බුබුළු දකින විට, මතකයට නැගෙන විට භික්‍ෂුවට මැවී පෙනෙන්නේ මනුෂ්‍යයාගේ සහ අනෙකුත් සත්වයින්ගේ ඊර්ෂ්‍යාව නිසා, වෛරය ක්‍රෝධය නිසා ඇතිවෙන්නාවූ බිහිසුණු, බියකරු, පුපුරණ ස්‌වභාවයයි. මේ අකුසල් මූලයන් නිසාමයි මනුෂ්‍යයා යන්ත්‍ර, මන්ත්‍ර, හදි හූනියම් වැනි තිරස්‌චීන ධර්මයන් වෙතට යොමුවෙන්නේ. අකුසල මූලයන් හොඳින් වැඩෙන රසායනික පොහොර මේවා. අනුනගේ දියුණුව දකින්නට අකමැති කෙනා අවසානයේදී තමන්ගේ දියුණුව, සැපය කල්ප ගණනාවක් වලකාගන්නවා. අනුනට නිදහසේ හැදෙන්න දෙන්න, වැඩෙන්න දෙන්න. ඒ දෙස බලා සතුටු වෙන්න. ඒ සතුට ඔබේ සැපය උදෙසාම හේතුවේවි.
එක මනුෂ්‍යයෙක් ජීවත්වුණා බොහෝම ඈත දුරබැහැර ගම් ප්‍රදේශයක. සමාජයේ හොඳින් ජීවත් වන දරුමුණුපුරන් ඇති තාත්තා කෙනෙක්. මොහු මියයන විට අවුරුදු අනූවක් විතර ඇති. මොහු බොහෝම හොඳන් ගමේ ජීවත්වුණ කෙනෙක්. ගමේ පන්සලට උපකාර කළා, උදව්කළා. නමුත් මොහුගේ අවාසනාවට මොහු මියයාමට වසර තුනකට පෙරාතුව මේ පුද්ගලයා ගමේ පන්සල සමග කුමක් හෝ හේතුවක් නිසා අමනාප වෙනවා. හේතුව කුමක්‌ද කියන්න භික්‍ෂුව දන්නෙ නැහැ. එදා පටන් මේ වයසක මනුෂ්‍යයා මොකද කරන්නේ හාමුදුරුවන්ට බණිනවා. පන්සලට බණිනවා. හාමුදුරුවන්ට එරෙහිව පොලිසියට බොරු පැමිණිලි කරනවා. පුදුමාකාර වෛරයක් ඇතිකරගත්තා. මේ වෛරය, ඊර්ෂ්‍යාව නිසාම ඔහු ශීලයෙන් පිරිහුණා. එක ශිල්පදයක් ගිලිහෙනකොට අනෙක් ශිල්පදත් ගිලිහෙන්න පටන් ගත්තා. මේ හේතුව නිසාම වයස අවුරුදු අනූවක් වුනත් මොහු තුළ කාම සිතුවිලි ඇතිවුණා. තමාගේ වැඩිහිටිබව නිසා තමාගේ දෙපතුළ ළඟ වැඳ වැටුණ කාන්තාවකගේ පවා අතින් අල්ලන්නට තරම් මොහු තුළ ශිල්පදවල හීනභාවයක් ඇතිවුනා. ඊර්ෂ්‍යාවෙන් දැවෙමින් සිටියදීම මොහු මියයනවා. භික්‍ෂුව අරමුණු කර බලනවා උතුම් සමාධිය තුළදී මොහු මරණින් පසු කොහේ නැවත උපත ලැබුවද කියලා.භික්‍ෂුවට දර්ශණය වෙන්නේ උතුම් සමාධිය තුළදී කිඹුලෙකුගේ කුසක්. ඒ කියන්නෙ මොහු කිඹුල් බිත්තරයක එහෙම නැතිනම් කිඹුල් කුසක ප්‍රතිසන්ධිය ලබලා. බලන්න සසර භයානකම. මේ තත්පරයේ මනුෂ්‍යයෙක් වශයෙන් සිටි කෙනා ඊළඟ නිමේශයේදී කිඹුල් කුසකට බැසගන්නවා. අසාධාරණයි කියන්න පුළුවන්ද ලෝකධර්මය. එහෙම කියන්න බැහැ. සාධාරණ තැන එයාට හිමිකරදුන්නා. කිඹුලා කියන්නේ වෛරයෙන්ම, ක්‍රෝධයෙන්ම පසුවෙන නපුරු සතෙක්. මේ සතා දකින කෙනා තුළ අපුලක්, බියක්, තැතිගැනීමක් ඇතිවෙනවා. මේ සතා සතුන් මරාගෙනමයි කන්නේ. තමාගේ පැටවාත් තමා මරාගෙන කනවා. වර්ණය, හැඩය, හැසිරීම හරි අප්‍රියජනකයි.
භික්‍ෂුව එක අවස්‌ථාවක රුහුණු ප්‍රදේශයේ පෞරාණික ආරණ්‍යයක වැඩසිටින විට එහි දැඩි නියඟයක් පැවතියා. වැව් හිඳෙන කාලයට වැව්වල සිටින කිඹුලන් කැලේ ගල් ගුහා තුළට ඇදෙනවා දහවල් කාලයට. රාත්‍රි කාලයේ කිඹුලන් ආහාර සොයාගෙන කැලයේ වැව් පිටිවලට ඇවිදිනවා. භික්‍ෂුව වැඩසිටිය කුටිය දොරකඩ බාග බිත්ති බැඳපු ඉස්‌තෝප්පුවක් තිබෙනවා. දිනක් රාත්‍රි 12.00 පමණ එම කුටිය ඉදිරිපස කැලෑ ප්‍රදේශයෙන් වේගවත් හඬකින් සතෙක් පිඹිනවා ඇහුණා. භික්‍ෂුව මුලින්ම හිතුවේ අලියෙක් වෙන්න ඇතිය කියලා. නැවත නැවතත් වේගයෙන් පිඹීමේ හඬ ඇසුණා. ඒත් සතා පේන්නෙ නැහැ. පස්‌සෙ බලනවිට අඩි හතක් පමණ දිග හොඳින් වැඩුණු කිඹුලෙක්. කුටියේ ඉදිරිපස බාග බිත්ති සහිත ඉස්‌තෝප්පුව තුළට ඇවිල්ල යන්න බැරිව කේන්තියෙන් පිඹිනවා. පස්‌සෙ භික්‍ෂුව උගුර පාදනවිට කිඹුලා භාග බිත්තියට ශරීරය කෙලින් කරලා බිත්තිය උඩින් කැලයට පැන්නා. මේ කිඹුලා කටින් පිඹින වේගයෙන්ම වලිගයනුත් ගහනවා. කිඹුලාගේ නපුරුම ස්‌වභාවය භික්‍ෂුව දැක්‌කේ ඒ වෙලාවේ. පුදුම වෛරී, ක්‍රෝධ ස්‌වභාවයක් මේ සතා තුළ තිබෙන්නේ. අපි කියන්නේ සමහර මිනිස්‌සු ඊරිසියාවෙන් පුපුරනවා කියලා. ඒ පිපිරීමේ උච්ජභාවය තමයි ඔය සතුන් තුළින් අපි දකින්නේ.
පිංවත් ඔබ හොඳින් සිතන්න ඔබ ඊරිසියා සහගත සිතක්, ක්‍රෝධ සිතක් සකස් කරගන්නවා කියන්නේ නිරයේ ගිනියම් ජලයේ පැහෙන උපතක්, කිඹුල් කුලයේ සත්ව උපතක් ඔබ ප්‍රාර්ථනා කරනවා කියන එකයි. දැන් බලන්න වයස අවුරුදු අනූවේ මනුෂ්‍යයා පන්සලට වෛරකරලා, හාමුදුරුවන්ට වෛරකරලා, ඊර්ෂ්‍යා කළා. එහෙම කළාය කියල පන්සලට හාමුදුරුවන්ට අලාභයක් පාඩුවක් වුණාද? එක දශමයක අඩුවක් පාඩුවක් ඒ අයට වුණේ නැහැ. එතකොට මේ පුද්ගලයා කාටද වෛරකරලා, ඊරිසියා කරලා තිබෙන්නේ? තමාටමයි.
එහෙමනම් ඔබ සිතන්න ඔබේ සිතේ ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක් සකස් වෙනවා නම් එය ඔබේ භව ගිණුමේ ඉතිරි කිරීම සඳහාමයි. අනුන්ගේ ගිණුම්වලට මේවා බැරවෙන්නේ නැහැ. හැබැයි තමන් අදක්‍ෂ නම් අනුන් නිසා තමනුත් දුකට වැටෙන්න පුළුවන්. පන්සලට, හාමුදුරුවන්ට වෛර කළා කියන්නේ තෙරුවන්ට වෛර කළා හා සමානයි. ඒ අකුසල් ස්‌වභාවය බලවත් නිසාමයි මොහු ජීවිතය තුළදී කරගෙන තිබූ කුසල් යටපත්වී ගියේ. ඔහු තුළ සකස් වූ එක සිතක් මේ විනාශකාරී සිතුවිලි පරම්පරාවක් බවට පත්වූයේ. ඒ නිසා වෛරී සිතක්, ඊර්ෂ්‍යා සහගත, ක්‍රෝධ සිතක් ඇතිවන සැනින්ම අවබෝධයෙන් එය සිඳ දමන්න. ඒවා අකුසල විතර්කයක් වශයෙන් වැඩෙන්න දෙන්න එපා.
මේ සටහන පුරාවටම මනුෂ්‍ය ලෝකයේ ජීවත් වූ දීර්ඝායුෂ ලබපු මනුෂ්‍යයන් දෙදෙනෙක් මරණින් මතු මනුෂ්‍ය භාවයෙන් පහළට වැටුණු සැටි ඔබට පසක් වෙන්න ඇති. ශීලයෙන් පිරිහුණු මිනිස්‌සු දීර්ඝායුෂ ලබන්නේ ඔවුන්ගේ අවාසනාවට. මොකද වැඩිපුර ජීවත්වන මොහොතක් පාසා ඔවුන් අතින් සිදුවන්නේ අකුසලයන්. එහෙයින් මද ආයුෂ ඇති මිනිසුන් ක්‍රමානුකූලව බිහිවන ලොවක ඔබ දීර්ඝායුෂයෙන් උපරිම ඵලය නෙලාගන්න. එය ඔබට කරගත හැක්‌කේ වැඩිපුර ජීවත්වන සෑම නිමේෂයකම ශීලයේ ශක්‌තිය ඔබගේ ජීවිතයට එකතුකර ගැනීමෙනි. ශීලය නොමැති ජීවිතයක මරණය දුකක් නිරතුරුවම මෙනෙහි කරන්න. ශිල්පද ගරුකරන සිතට ඔබ නමස්‌කාර කරන්න. මන්ද ඔබව දුකෙන් මුදවන්නේ එම සිත වන නිසාය. ඔබ කැපවීමෙන් යුතුව දිවි පරදුවට තබා ආරක්‍ෂාකරගත යුත්තේ උපන් රටවත්, ජාතියවත්, ආගමවත් නොවේ. සසරදුකෙන් ඔබව මුදවන, ඊට මග විවරකරදෙන, ශීල්පද ආරක්‍ෂා කරගැනීමට ඔබට දිරිදෙන සිතයි. එයමයි ඔබට සැප පිණිස හේතුවෙන්නේ. ඉහත මියගිය පිංවතුන් දෙදෙනාම ජීවත්ව සිටියදී තම ගම් ප්‍රදේශවලදී උපන් රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන්, එහි ආරක්‍ෂාව වෙනුවෙන් පෙළපාලි ගිය අය. ඒත් දැන් මොන රටක්‌ද, ජාතියක්‌ද, ආගමක්‌ද එක් අයෙක් නිරිසත්ව ජාතියේ, අනෙක් කෙනා කිඹුල් ජාතියේ. මේ දෙදෙනාටම රටක් ආගමක් නැහැ. බලන්න සැපයක් කොට අල්ලාගත් මුලාවක මහත. දන් දෙන පිංවත් දායක පිංවතුන් ආරණ්‍යවලට පැමිණියහම, අපෙන් අහනවා 'හාමුදුරුවනේ මේ කැලයට වෙලා මොකද කරන්නේ' කියලා. කැලේ මොනව රකින්නද? ගමට නගරයට ගිහින් රට ජාතිය ආගම රකින්න කියලයි මේ කියන්නේ. පිංවතුන් එහෙම කියනවිට සිහින් සිනාවක් මිස වෙන දෙයක් නම් පහළ වෙන්නෙ නැහැ. ඇත්තෙන්ම පිංවතුනේ අපි කැලේට වෙලා රටත්, ජාතියත්, ආගමත් ආරක්‍ෂා කරන එක තමයි කරන්නේ. දිවිහිමියෙන්ම. රට කියන්නේ ශීලය. ජාතිය කියන්නේ සමාධිය. ආගම කියන්නේ ප්‍රඥාව. මේ තුන ආරක්‍ෂාකර ගන්න ඕනෑම කෙනෙක් නැවත නොඑන්නම ලෝකයෙන් එතෙරට යනවා. මීට වඩා ආරක්‍ෂාවක් කොහින්ද?
විවේකීව සිතන්න. කලබල වෙන්න එපා. දුකක්, දුකට හේතුවත්, දුකෙන් මිදීමත් ඔබ තුළම නේද තියෙන්නේ. සිත ගොඩාක් දුර යන්න දෙන්න එපා. දෑස් දෙක පියාගෙන නාසය අගට ඔබේ සිත යොමු කරන්න. දැන් ඔබට දැනේවි ජීවිතය කියන්නේ කුමක්‌ද කියලා. ජීවිතය අයිති කුමකටද කියලා. දැන් ඔබට වේගයෙන් හුස්‌ම ගන්න හිතේවි. ඔබ වේගවත් වෙන්න එපා. ස්‌වභාවිකවම හුස්‌ම ගන්න. හුස්‌ම පිටකරන්න. හොඳින් ඒ බව දකින්න. පිංවත් ඔබට සමාදන්වූ ශිල්පදයක් බිඳීමට කරුණු සකස්‌වුණොත්, ඔබේ සිතට ඊර්ෂ්‍යා සහගත, වෛරසහගත සිතක් සකස් වෙන බව දැනුනොත් මොහොතක් ආශ්වාස ප්‍රශ්වාස දෙසට හොඳින් සිත යොමුකරන්න. ඔබේ සිත නිශ්චල වේවි. දැන් ඔබට පුළුවන් හොඳ නරක දකින්නට. කුසලය අකුසලය දකින්නට හඳුනාගන්නට. ඔබ දුසිල්වත් වීමේ විපාකයන් දැක උපක්‍රමශිලී වන්න ශිල්පද ආරක්‍ෂා කරගැනීමට. සමහර ගිහි පිංවතුන් අපිට හමුවුණාම කියනවා 'අනේ හාමුදුරුවනේ ශිල්පද සියල්ලම රැකගන්න අපහසුයිනේ. ශිල්පද එකක් දෙකක් නම් බිඳෙනවා' කියලා. මේක හුඟ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්. පිංවත් ඔබ කොහොම උත්සහ ගත්තත් ශිල්පදයක් බිදෙන ස්‌වභාවයක් තිබෙනවා නම් එය කර්ම විපාකයක් නිසා සිදුවන්නක්. මෙතනදි ඔබ දුස්‌ශිලභාවයේ විපාක දකිමින් ශිල්පද ආරක්‍ෂාකර ගැනීමට වීර්යවන්ත වෙන්න ඕන. ඒ වගේමයි ශීලයෙන් ඔබ දුර්වලනම් ශිල්පද රැකීමට අපහසුනම් ඔබ ශීලය ගරුකරන අයට ශිල්පද හොඳින් රකින අයට ගරුකරන්න පුරුදුවෙන්න ඕන.
සමහර පිංවතුන් ඉන්නවා තමා ශිල්පද රකින්නෙ නැහැ, නමුත් ශීලවන්තව ජීවත්වෙන කෙනාට අගෞරව කරනවා, සිනාසෙනවා. අතීතයේ අපි අතින් සිදුවූ මෙවැනි පහත් පෙළේ වැරදි නිසා තමයි ශිල්පද රැකගැනීමට සමහරුනට අපහසු වෙන්නේ. තමාට ශිල්පද ආරක්‍ෂා කරගැනීමට අපහසුනම් අවම වශයෙන් ශිල්පද ආරක්‍ෂාකරන අයට ගරුකරන්න පුරුදු වෙන්න. එයම ඔබට ආශිර්වාදයක් වේවි, ශීලය තුළ පිහිටන්න. ඔබ තුළින් ශිල්පද ගිලිහෙනකොට ඔබෙන් ගිලිහෙන්නේ සුගතියයි. මේ කථාවේ සඳහන් කළ අවාසනාවන්ත මිනිසුන් දෙදෙනා දුගතියට වැටුණේ ඔවුන් අතින් ශීලය ගිලිහුණු නිසාමයි. මේ දුකෙන් පිරුණු කථාව ඔබ ඔබේ සැපය පිණිස නුවණින් ගලපාගන්න දක්‍ෂවෙන්න. ඒ මෝදුකොට ගත් දක්‍ෂභාවය සතර අපායෙන් මිදීම සඳහාම පෙරට රැගෙන යන්න. නැවත නැවතත් හොඳින් අවධානය යොමුකරන්න. ඉහත කථාවේ මනුෂ්‍යයින් දෙදෙනාම මරණින් පසු දුගතියට වැටුණේ කාමය වරදවා හැසිරිමේ ෙච්තනාවන් බලවත් වීම, එක හේතුවක් වූ නිසාමය. තප්පරයක ආශ්වාදයක් උදෙසා කල්ප ගණනාවක් දුකට අතවනන මෙවන් වැරදි ගැන ඔබ හොඳ අවධානයෙන් පසු වෙන්න. අකුසලයක් සිදුවන වැරදි කාම සිතුවිල්ලක් ඇතිවුණොත් එය නිවා දමන්න. ඔබට පුළුවන් බුදුගුණ සංඥාවක් සිතට ගන්න. මෛත්‍රි සංඥාවක්, අසුභ සංඥාවක්, සතර අපාය කෙරෙහි බියක්......... එවැනි ධර්ම මනසිකාරයකට සිත යොමු නොවනවානම් වෙනත් බාහිර ක්‍රියාකාරී කමකට සිත යොදවන්න. එවිට ඔබට දැනේවි ඒ කාම සිතුවිල්ල අනිත්‍යවී යනවා. එතැන තිබෙන්නේ විදර්ශනාව. චතුරාර්ය සත්‍ය ධර්මය. බලන්න සකස්‌වූ එක සිතක් ඔබ අදක්‍ෂ වුවහොත් ඔබව සතර අපායටත් ඔබ දක්‍ෂ වුවහොත් ධර්මාවබෝධය දෙසටත් යොමුකරනවා.
ඉන්ද්‍රජිත් සුබසිංහ
දිවයින ඉරිදා සංග්‍රහයේ පළවන ලිපි පෙළ ඇසුරින් උපුටා ගන්නා ලදී 2012-08-26
indrajith.media@gmail.com
'සතර අපායෙන් මිදෙමු' 7 කොටස
හැංගි හැංගි වෙස් බැන්දත්...
භික්‍ෂුව
මේ ලිපිය ලියන මොහොතේ වැඩසිටින්නේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ
කැලෑබද ආරණ්‍යයක. විශාල කඳුවැටි කිහිපයකින් වටව ඇති රමණිය
බිමක්. උස් ගල් කන්දේ නැගෙනහිරට මුහුණලා භික්‍ෂුව වැඩසිටින
කුටිය තිබෙන්නේ. කඳුමුදුනේ සිට බලනකොට කඳුපාමුල දර්ශනීය වැව,
අතුරු කඳුවැටි, කුඹුරුයාය, අක්‌කර දසදහස් ගණනක විහිදුන වනපෙත,
පක්‌ෂීන්, වන සතුන් සැබෑම ආරණ්‍යයක ලක්‍ෂණ සියල්ලම මෙහි
තිබෙනවා. භික්‍ෂුව මේ ආසනය මත වාඩිවෙලා මේ පරිසරය දෙස බලනකොට
මෙහෙම සිතුණා. මේ මොහොතේ චමත්කාර ජනක පරිසරයක් මේ වටපිටවේ
තිබුණත් අතීතයේ මේ ස්‌ථානය මහා කටුක කාන්තාරයක්‌ව තිබෙන්නට
ඇති. ජලයෙන් පිරී ඉතිරී ගිය මුහුදක්, ගංගාවක් ලෙස තිබෙන්නට
ඇති. සශ්‍රික නගරයක්‌ව තිබෙන්නට ඇති. භූමිකම්පාවලින්, සුළි
සුළංවලින් පෙරළී විනාශවී ගිය බිමක්‌ව තිබෙන්නට ඇති. සුසාන
භූමියක්‌ව තිබෙන්න ඇති. බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා
වැඩ සිටි තැනක්‌ව තිබෙන්ට ඇති. බලන්න අතීත රූපයන්ගේ තිබෙන
විවිධත්වය. ඒ කියන්නේ අනිත්‍යභාවය. ඒ වගේමයි අනාගතයේ හට
ගත්තාවූ රූපයත්. වර්තමානය කියලා කියද්දීම ඒ වර්තමානය අතීතයට
එකතුවී අහවරයි. ඒ තරම්ම වේගයෙන් ලෝකය ගෙවිල යනවා. ගෙවීයන
වේගයෙන්ම ලෝකය ලියලනවා. අපේ ජීවිතත් එලෙසමයි. අද මනුෂ්‍යයෙකුව
සිටින කෙනා හෙට නිරයට වැටෙනවා, දෙවියෙක් වෙනවා, බ්‍රහ්මයෙක්
වෙනවා, තිරිසනෙක් වෙනවා. එක තැනක් ගෙවීයනකොට තව තැනක්
දළුලනවා. මෙන්න මේ විදියට මනුෂ්‍ය ජීවිතය ගෙවී ගිහින් නිරයට
වැටුණ අවාසනාවන්තයෙක් ගැන කථාවක් තමයි භික්‍ෂුව දැන් මෙහි
සටහන් තබන්නේ. මේ කථාවත් ඔබට උතුම් ශීලයේ වටිනාකම කියාදෙන
කථාවක් වේවි.
අද ලෝකය සොයන්නේ සරල දේවල්, පහසු දේවල්, ක්‍ෂණික දේවල්. තරගකාරී ලෝකයේ අවිවේකයෙන් මිදී විවේකය අත්කරගැනීම සඳහායි මේ දේවල් ලෝකය සොයන්නේ. මේ ලබාගන්නා වූ විවේකය ඔවුන් යොදන්නේ ජීවිතයේ නැවත අයිතිකරගන්නා වූ අවිවේකය උදෙසාමයි.
වාර්ෂිකව දන් දෙන පිංවතුන් ආරණ්‍යවලට එනවා. දානය ඉවරවෙලා සමහරක් පිංවතුන් යන්නේ 'අම්මෝ මේ අවුරුද්දෙ දානෙ ඉවරයි' එහෙම නැතිනම් හත්දවසේ, තුන්මාසේ, අවුරුද්දේ දානෙ ඉවරයි දැන් ඉතින් දාන ඕනේ නැහැ කියලා. පසළොස්‌වක පොහොය දවසට ශිල් සමාදන් වන සමහරක් පිංවතුන් හවසට ශීලය පවාරණය කරලා පන්සලෙන් පිටවෙන්නේ 'අම්මෝ ඒ බැඳීමෙන් නිදහස් වුණා'ය කියන සැහැල්ලුවෙන්. භාවනා වැඩසටහනට සහභාගී වන සමහර පිංවතුන් වැඩසටහනින් නැගිට යන්නේ 'මේ මාසෙට, මේ සතියට මේ හොඳටම ඇති'ය කියලා. පිංවතුන්ලා දාන, ශිල, භාවනා කටයුතුවල යෙදෙන්නේ කවුරුහරි තරහ වෙයි, එයාව මොහොතක් රවටලා යාළුකරගන්න ඕනේ කියන හැඟීමෙන් වගේ. කාවද මේ රවට්‌ටන්නේ. කවුද රවට්‌ටන්නේ. රැවටෙන්නන් රැවටෙන මොහොතක් පාසා ඔබට මිතුරුවෙන්නේ කවුරුන්ද? ඔබට මිතුරු වෙන්නේ දුක. දුක උපද්දවන මාරයා.
ධර්මය සරල කරන්න, ක්‍ෂණික කරන්න ගිහිල්ලා දුක මිතුරෙක් කරගන්නවා. ධර්මය කියන්නේ සරල කරන්න පුළුවන් දෙයක් නොවේ. ධර්මය කියන්නේ අනිත්‍යයි. කුමන අනිත්‍ය භාවයද? රූපයේ අනිත්‍යයි. මොකක්‌ද රූපයේ අනිත්‍ය භාවයට පත්වීමේ ස්‌වභාවය. මස් ඇසට නොපෙනෙන ප්‍රඥාවේ ඇසෙන් පමණක් දකින ප්‍රවේශයයි. එය දකින මාර්ගය ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධ කර ඔබට දේශනාකර තිබෙනවා. එකම මාර්ගයයි ඇත්තේ. එහි කෙටි මාර්ග, සරල මාර්ග, ක්‍ෂණික මාර්ග නැහැ. ඔබ කවුරුන් හෝ වේවා රූපය අනිත්‍ය භාවයට පත්වෙන වේගය ප්‍රඥාවෙන් අවබෝධ කර ගෙන රූපයට ඇති ජන්ද රාගයෙන් මිදෙන තැනදියි රූපය ඇසුරුකොට සකස්‌වෙන පංචඋපාදානස්‌කන්ධයේම යථා ස්‌වභාවය ඔබ අවබෝධ කර ගන්නේ.
භික්‍ෂුව දැන් මෙහි සටහන් කරන කථාවට මුල පුරණ පිංවතාත් ධර්මය සරල මාර්ග ඔස්‌සේ ජීවිතයට ගලපාගත් අයෙක්. මේ ගලපා ගැනීම නිසා දුක ඔහුට මිතුරුවුණ හැටියි මේ කථාවේ අර්ථය පුරාම තිබෙන්නේ. දුකට මිතුරුවී දුක් විඳින ඔහුට මේ කථාව දැන් වැඩක්, අර්ථයක් නැහැ. ඔබ කැමති නම් ඔබ සතුටුනම් මේ කථාව ඔබේ ජීවිතයට ගලපාගන්න. දුක නමැති පරම සතුරා ඔබ ඇසුරේම ඔබ තුළම සැඟව සිටින බව ඔබ දකින්න. ඔබ සමාදන් වන ශිලය සරල කරන, ක්‍ෂණික කරන, ශිල්පද සැහැල්ලූ කරන සතුරා ඔබ තුළින් ඔබ හඳුනාගන්න. ඔබව දුකට ඇදදමන පාපමිත්‍රයෙක් සේ ඔහුව බැහැර කරන්න. රූපය අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම රූපය ඇසුරුකොට සකස්‌වෙන සිතද අනිත්‍යභාවයට පත්වෙනවා. මෙහිදී ඔබ දකින්නේ රූපයේ හට ගැනීම සහ විනාශවීමේ ස්‌වභාවයයි. එවන් ප්‍රඥාවේ ඇසින් පමණක් දැකිය හැකි අති සියුම් ධර්මතාවයක් අපි සරල කරන්න, ක්‍ෂණික කරන්න යනවා නම්, ඒ උත්සාහයේ තරමටම අප තුළ මෝහයද තිබෙන බව අප අවබෝධ කරගත යුතුයි. ලෝකයේ කෙටි කරන්න පුළුවන් දෙයක් අපට නැහැ. ඒ තරම්ම ලෝකය කෙටියි. ක්‍ෂණිකයි. ඒ නිසාමයි මේ මොහොතේ මනුෂ්‍ය ජීවිතයක් ගතකරන කෙනා මියගොස් ඊළඟ තත්පරයේ, සංස්‌කාර ධර්මයන් හේතුවෙන් නිරයේ තිරිසනෙක්‌ව උපත ලබන්නේ. මේ මොහොතේ මනුෂ්‍ය ජීවිතයක් ගතකරන කෙනා මියගොස් ඊළඟ තත්පරයේ බ්‍රහ්ම ලෝකයේ උපත ලබන්නේත්....
මෙයින් ඔබ තේරුම් ගන්න රූපයත්, රූපයක් ඇසුරින් සකස්‌වන සිතේ ප්‍රවේගකාරී බවත්. අවිද්‍යාවේ මහත නිසාම අපි මේ ධර්මථාවයන් සරල කරන්නට යනවා. බුද්ධ වන්දනාව කෙටි කරන්න යනවා. සිල්පදවල අර්ථය හීන කරන්න යනවා. දානය ක්‍ෂණික කරන්න යනවා. මෙසේ කිරීමෙන් ඔබ ලබන විවේකය, සැපය, ලාභය 'බඩකට පුරා' අත්විඳින තවත් අවාසනාවන්ත මනුෂ්‍යයකුගේ කථාව දැන් සටහන් තබනවා.
මේ කථාවට සම්බන්ධ මහත්මයා මියයනකොට වයස අවුරුදු 80ක් විතර ඇති. ඔහු ජීවත්වූ ගම් ප්‍රදේශයේ වැදගත් යෑයි සම්මත ජීවිතයක් ගතකරලා, විවාහක දුවා දරුවන් සිටිය පියෙක්. මොහු මියයැමට පෙර වසර 5 ක පමණ කාලයක පටන් රෝගීවයි සිටියේ. අවසාන කාලයේ ලෙඩ ඇඳේම පසුවෙලා මියයනවා. සුපුරුදු පරිදි දරුවෝ ඥාතීන් එකතුවෙලා 'බොහොම ජයට' මරණයේ කටයුතු සිදුකරනවා. සැරසිලි, බැනර, ගුණකථන, වියහියදම් බොහොමයි. දින හතේම රාත්‍රී සතුටු සාද....
මේවායින් අඩුවක් පාඩුවක් නොතිබුණ නිසයි 'මරණය ජයට ගත්තාය' කියලා සඳහන් කළේ. පාංශකූලය අවස්‌ථාවේ ප්‍රදේශයේ නායක ස්‌වාමීන්වහන්සේලා කිහිපනමක්‌ම මියගිය පිංවතා ගැන බොහොම වටිනා ගුණකථන, අනුශාසනා පැවැත් වූවා. ඇත්තෙන්ම ඒ මියගිය මහත්මයාගේ ජීවිතය දෙස බලන ඕනෑම කෙනෙකුට ඔහු වැරදි කරපු කෙනෙක්‌ය කියලා පෙනෙන්නේ නැහැ. මේ සටහන් කරන භික්‍ෂුවත් දැනගෙන සිටියේ නැහැ, මියගිය මහත්තයා වැරදි කරපු කෙනෙක්‌ය කියලා. එදා අපට තිබුණු අවම අවබෝධය තුළ අපි හැමෝම එදා අවංකවම හිතුවා මියගිය කෙනා සුගතිගාමී උපතක් ලබන්නට ඇතිය කියන හැඟීම. වර්තමානයේ ගිහි පැවිදි අපි හැමෝම මෙන්න මේ අවම අවබෝධය තුළ හිඳගෙන තමයි හැමෝගෙම ජීවිත දෙස බලන්නේ. ඒ දැක්‌මෙන් තමයි අපි යමක් විග්‍රහ කරන්නේ. මේ කථාවේ අග කොටස ඔබ කියවනකොට ඔබට දැනේවී ධර්මයේත්, අධර්මයේත් පරතරය කොපමණද කියලා. අපේ අවම දැනුමේත්, සැබෑම අවබෝධයේත් පරතරය කොපමණද කියලා.
මෙය ඔබේ හෝ මගේ වරද නොවෙයි. අවබෝධයේත් අනවබෝධයේත් ඇති වෙනසයි. අපේ තිබෙන අවම දැනුම තුළ ඉඳගෙනයි අපි එදා මේ මරණය විග්‍රහ කළේ. ඔහු සුගතිගාමී උපතක් ලබන්නට ඇතැයි අනුමාන කළේ. නමුත් මොහු මිය ගොස් වසර හයකට පමණ පස්‌සේ දවසක භික්‍ෂුව මියගිය පිංවතාව සමාධියේදී අරමුණු කර බලනවා. ඔහු කුමන ස්‌ථානයක නැවත උපත ලැබුවාද කියලා. මෙය උතුම් සමාධියේදියි දකින්නේ භික්‍ෂුවට දර්ශනය වෙනවා ජලය පිරුණු ස්‌ථානයක්. මේ ජලය කළුම කළු පාටයි. කළුය කියල කියන්නේ පැහැපත්a කළු වර්ණයක් නොවේ. ඔබ දැකලා තිබෙනවානේ කුණු කාණු කුණු පල්වෙලා ජලය පිරුණාහාම හැදෙන අප්‍රසන්න කළු පැහැය. බේරේ වැවේ ජලය පල්වුණාහම තිබෙන කළු පැහැය. මෙන්න මේ කුණු කළු පැහැති ජල තටාකය ඔබ හිතන්න යමෙක් ගින්දරෙන් රත්කරනවාය කියලා. එවිට මොකද වෙන්නේ. එම කුණු ජලය රත්වෙනවා. තව තව උෂ්ණත්වය වැඩිකරමින් ගින්දර වැඩිකර රත්කරන විට මුලින්ම ජලයෙන් දුම් දමනවා. දෙවනුව ජලය උතුරන විට කඩල ඇට තරමට බුබුළු දමනවා. තව තව එම ජලය රත්කරන විට නෙල්ලි ගෙඩි තරමට ජලයේ බුබුළු මතුවෙනවා. තවත් ගින්දර දමලා රත්කරනවිට දෙහිගෙඩි තරමට බුබුළු දමමින් ජලය නටනවා. තව තව කුණු ජලය රත්වෙනවිට බෙලිගෙඩි තරමට බුබුළු දමමින් ජලය නටනවා. දැන් ඔබ මනසින් දකින්න, කුණු කළුපාට ජලතටාකයක් තිබෙනවා. එය බෙලි ගෙඩි තරමට බුබුළු දමමින් උතුරන ලෝදිය හැලියක් වගේ පෙනෙනවා. පෙර සදහන් කළ මිය ගිය මහත්මයාව අරමුණු කරනවිට භික්‍ෂුවට දකින්න ලැබෙන දර්ශනයයි ඔය සඳහන් කළේ. ඒ කියන්නේ ඔහු නිරයේ පැහෙනවා. බලන්නකෝ අපේ අවම දැනුමයි ලෝකාවබෝධයයි අතර තිබෙන පරතරය. අපි සුගතියකට යොමු කළ මනුෂ්‍යයා නිරයේ අන්ත දුකක් අත් විඳිනවා.
මේ සිද්ධිය දැක්‌කට පස්‌සෙ භික්‍ෂුවට ප්‍රත්‍යක්‌ෂ වශයෙන් විශ්වාසයි මේ ස්‌වභාවය ඇත්තය කියලා. මන්ද මෙය උත්තරීතර සමාධිය තුළින් දකින්නා වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්‌ෂ වශයෙන් අවබෝධ කර දේශනා කළ ධර්මතාවයක්. භික්‍ෂුවට අවශ්‍ය වුණා සොයාබලන්න මියගිය පිංවතා ගිහි ජීවිතයේ ගතකරපු ස්‌වභාවය. ඔහුගේ සමාජයට ප්‍රකට වූ ජීවන චර්යාවත්, සමාජයට ප්‍රකට නොවුණ ජීවන චර්යාවත් ගැන සොයල බැලුවා. භික්‍ෂුවට දැනගන්න ලැබෙනවා ඉතාමත් සත්‍ය මාර්ගවලින් ඔහු තුළ පහත සඳහන් සමාජයට ප්‍රකට නොවූ චර්යාවන් තිබුණ කියලා. ඒවායින් මේ බලවත් අකුසල විපාකයට හේතුවුණ වැරැදි කිහිපයක්‌ම තිබුණා. කාමය වරදවා හැසිරීම. එක් අවස්‌ථාවක බොහෝම විකෘති කාම ආශාවක් මොහුට තිබිල තිබෙනවා. අප්‍රකටව මොහු තුළ ඊර්ෂාව, අනුන්ගේ දියුණුවට ඇති අකමැත්තත් තිබිල තිබෙනවා. ඒ නිසාම මොහු යන්ත්‍ර මන්ත්‍ර, හදිහූනියම් කරල තිබෙනවා. මෙන්න මේ කරුණු ටික ස්‌ථිර වශයෙන්ම මොහු තුළ තිබුණ බවට විශ්වාස කටයුතු මාර්ගවලින් දැන ගත්තාම මොහු මේ මොහොතේ නිරයේ ලෝදිය තුළ තැම්බෙමින් විඳින දුක ගැන පුදුම වුණේ නැහැ. ඔබගේ පිංවත් ජීවිතවලට ගලපාගන්න පැති කිහිපයක් මෙහි තිබෙනවා. මෙහි වඩාත්ම වැදගත් වන්නේ ප්‍රකට අප්‍රකට කියන කථාවයි. අද සමාජයේ හුඟදෙනෙක් සමාජය ඉදිරියේ හොඳ වැඩ ප්‍රකටව කරනවා. නරක වැඩ අප්‍රසිද්ධියේ කරනවා. බිරිඳත් සමග ප්‍රසිද්ධියේ ආශ්‍රය කරනවා. බිරිඳ නොවන කාන්තාවන් සමග අප්‍රසිද්ධියේ ආශ්‍රය කරනවා. මඟුල් ගෙදර කෑම මේසය ප්‍රධාන ශාලාවේ තිබෙනවා. අරක්‌කු මේසය අප්‍රකට ශාලාවක තිබෙනවා. බණ ගෙදර, පිරිත් ගෙදර, දානෙ ගෙදර පිංකම ප්‍රධාන ශාලාවේ තිබෙනවා. අරක්‌කු බොන ඒවා කාමරයේ, පිsළිකන්නේ අප්‍රකටව තිබෙනවා. රැකියාවෙන් වැටුප් ගන්න එක විවෘතව කරනවා. අල්ලස් ගන්න එක අප්‍රකටව කරනවා. සිනා වෙන එක ප්‍රකටව කරනවා. වෛර කරන එක අප්‍රකටව කරනවා. අපිට හරි සතුටුයි ලෝකයාගෙන් වහංවෙලා වැරැද්දක් කලාය කියළා. කවුරුවත් දැක්‌කෙ නැහැ බියවෙන්න දෙයක් නැහැය කියලා. මේ මියගිය මහත්මයාත් එහෙම හිතපු කෙනෙක්. ගිහි පිංවතා ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. අපේ පිංවත් සහෝදර සමහරක් ස්‌වාමීන්වහන්සේලා පවා දහවල් දානය ප්‍රකටව ගන්නවා. රාත්‍රියට සුළුවෙන් යමක් අප්‍රකටව ගන්නවා, දකියි කියලා. කවුරු දකියි කියලද? ලෝකයා දකියි කියලා. අපි ලෝකයාට බිය විය යුතු නැහැ. අපි බිය විය යුත්තේ ජූරියට.........
කව්ද මේ ජූරිය?
(මේ ජූරිය පිළිබඳ විග්‍රහය ලබන සතියේ)
ඉන්ද්‍රජිත් සුබසිංහ
දිවයින ඉරිදා සංග්‍රහයේ පළවන ලිපි පෙළ ඇසුරින් උපුටා ගන්නා ලදී 2012-08-19
indrajith.media@gmail.com
'සතර අපායෙන් මිදෙමු' 6 කොටස
පිං පව් එනවා අපි පසු පස්‌සේ II
මේ ලිපිය ලියන අවස්‌ථාවේ භික්‍ෂුව වැඩසිටින්නේ රජරට ප්‍රදේශයේ ආරණ්‍යයකය. භික්‍ෂුව වැඩසිටින ගල් කන්දේ ඉහළ කුටියට ගල් කන්ද පාමුල පිහිටි වැව හොඳට පෙනෙනවා. ඉඩෝර කාලය නිසා වැව හුඟක් හිඳිලා. ඊයේ රාත්‍රී 8.00 පමණ මුළු කඳුවැටියම දෝංකාර දෙමින් වෙඩි හඬක් ඇසුනා. මෙය මේ ප්‍රදේශයට සාමාන්‍ය සිද්ධියක්. පිපාසයට ජලය සොයාගෙන එන වන සතුනට දඩයක්‌කරුවන් වෙඩි තියනවා. මුළු රාත්‍රිය පුරාම වැවේ මාළු දැල් එලලා වැව බොර කරනවා, මාළු කලබල කරලා දැලේ පැටලෙන්න. මීට සති තුනකට පමණ පෙරතුව දවසක ආරණ්‍යයේ ඈත කුටියක වැඩසිටින ස්‌වාමීන් වහන්සේ නමක් පිණ්‌ඩපාතය සදහා උදේ 8.00 දාන ශාලාවට වඩිනකොට උන්වහන්සේ වඩින කැලෑව මැද අඩි පාරේ වෙඩි වැදුණු වල් ඌරෙකු දෙදෙනෙකු විසින් හම ගහනවා, මස් කරනවාලු. ස්‌වාමීන් වහන්සේ මේ ස්‌ථානය පසුකරන කොටත් මේ දෙදෙනා නොදැක්‌කා වාගේ සතාව මස් කරනවාලු. හාමුදුරුවෝ නිහඬවම වැඩම කලා දාන ශාලාවට. මේ වල් ඌරා මස් කරලා සතියක් මස් කාවි. එහෙම නැතිනම් එම මස් විකුණලා වැඩිම උනොත් රුපියල් දෙතුන් දාහක් ලබාගනීවි. සතියක් කටට රහට කෑම උදෙසා. ඔබ රුපියල් දෙතුන්දාහක් හම්බ කරගැනීම උදෙසා ඔය එක කුරිරු සත්ව ඝාතනය නිසා රැස්‌කරගන්නා අකුසලය ඔවුනට ඊළඟ උපත සලසල දෙන්නේ නිරයේ අප්‍රමාණ දුක් දෙන තැනක. සතියක දෙකක කාලයකට නොවේ කල්ප ගනනාවකට. තිරිසන් යෝනියක උපත ලැබුවත් මනුෂ්‍යයෙක් අතින් මැරුම් කන්නම වෙනවා. මීට වසර දෙකකට විතර පෙරාතුව මේ ආරණ්‍යයේම වැඩසිටිය අවස්‌ථාවේ මේ අසල වෙල්යායක ඇතින්නක් වෙඩිතබා මරා දමලා තිබුණා. හේතුව කෙසෙල් වගාවක් පාළු කරන්න ආපු නිසා. ඇය බඩදරු ඇතින්නක්. වෙඩි වැදීම නිසා ඇතිවූ වේදනාවේදී ඇය කුසේ සිටි නොමේරූ අලිපැටවාද බිහි කරලා. අලි අම්මයි දරුවයි දෙන්නම මැරිලා. බලන්න සංසාරේ කරපු මොන කර්ම විපාකයක්‌ද? මේ සත්තු දෙන්න අත්විඳින්නේ. අපි මෙවැනි තැනකදි දකින්නේ වෙඩිතිබ්බ මනුෂ්‍යයා කරගත්ත අකුසල් විපාක පමණයි. එහෙම දකිනවානම් එතනදි අපි අසම්පූර්ණයි. මෙතන පෙර අකුසලයක් විපාකදීමත් අලුත් අකුසලයන් සිදුකරගැනීමත් කියන ස්‌වභාවයන් දෙකම තිබෙනවා. මේ දෙපාර්ශවයේම දුකට හේතුවෙන්නේ ශීලයෙන් ප්‍රමාදභාවයට පත්වීමයි. ඇතින්න වෙඩිතිබ්බ අසරණ මනුෂ්‍යයා ශීලයෙන් ප්‍රමාද භාවයට පත්වූ කෙනෙක්. ඒ නිසාම ඔහු තුළ කළයුත්ත නොකළයුත්ත කුමක්‌ද කියලා අවබෝධයක් තිබිල නැහැ. රුපියල් පන්දාහකවත් වටිනාකමක් නැති කෙසෙල් වගාවක් උදෙසා කල්ප ගණනාවක් නිරයේ දුක්‌විඳීමට සිදුවන කුරිරු සත්වඝාතන දෙකක් සිදුකරගත්තා. මේ සත්ව ඝාතන දෙක සිද්ධකරපු අසරණ මනුෂ්‍යයා මැරෙන මොහොතේ තමන්ගේ ලෙයින් උපන් දරුවා අමතක වෙන්න පුළුවන්. ඒත් මේ කුරිරු සත්ව ඝාතනය නම් මාරයා විසින්ම ඔහුට මතක් කරදෙනවා. ඒ තරමට අකුසල් ෙච්තනාව බලවත්.
යම් අවස්‌ථාවක් තිබෙනවා සත්වඝාතන අකුසලය බලවත් නොවන. පසුගිය සතියේ දවසක භික්‍ෂුව ආරණ්‍යයේ පහළ තිබෙන කුටි පේළියේ ආලින්දයේ තිබුණ කොස්‌ස අතට ගත්තා ආලින්දය අතුගාන්න. කොස්‌ස තිබුණ තැනින් ගන්නකොට භික්‍ෂුව දැක්‌කා කොස්‌ස යට දරණ ගසාගෙන සිටින සර්පයෙක්. එම සත්වයා පොළවේ ශ්Sතලත් කොහුගොඩේ රස්‌නයටත් මැදිව දරණ ගසාගෙන සිටියා. භික්‍ෂුව අසල සිටි කැපකරු මහත්මයෙකුට කථාකරලා කීවා 'මහත්තයෝ මෙතන සර්පයෙක් සිටිනවා එයාව කැලයට විසිකරන්න' කියළා. එම කැපකරු සර්පයාව දැකලා කියනවා 'හාමුදුරුවනේ මේ සර්පය මේ ප්‍රදේශයේ ජීවත්වන විෂකුරු සර්ප විශේෂ වලින් එක සර්ප වර්ගයක්' කියලා. කැපකරු භික්‍ෂුවට කීවා මේ සර්පයා ඉදිරියට පැනලා දෂ්ට කරනවා ඒ නිසා මෑත්ව සිටින්න කියලා. දිග ලී කෝටුවක් අරගෙන සර්පයාව කැලයට විසිකළා. කෝටුවෙන් විසි කරන හැම වතාවකම ඒ සර්පයා ඉදිරියට පනිනවා. ඒ එම සර්පයා සංසාරෙදි පුහුණු කරපු වෛරය, ක්‍රෝධය, ව්‍යාපාදය. එම ගතිය එම සතාට අම්මා තාත්තාගෙන් ආව නොවේ. එයාම සසර වඩපු දෙය. මේ සර්පයා විසි කරන ගමන් ආරක්‍ෂක අංශයට සම්බන්ධ මේ කැපකරු භික්‍ෂුවට කියනවා හාමුදුරුවනේ මීට පෙර මේ ස්‌ථානයට නුදුරින් මේ වර්ගයේම විෂකුරු සර්පයන් හතර දෙනෙක් සිටියා. ඒ අය මම මරාදැම්මා කියලා.
භික්‍ෂුව දන්න තරමින් මොහු සත්ව ඝාතන කරන කෙනෙක් නොවේ. ඒ නිසා භික්‍ෂුව ඔහුගෙන් ඇසුවා ඇයි ඔබ එම සර්පයන් මැරුවේ කියලා. එවිට ඔහු කියනවා මෙහි වැඩසිටින ස්‌වාමීන් වහන්සේලාට, ගිහි පිංවතුන්ට දෂ්ට කරයි කියලා. ඒ අයට නරකක් නපුරක් කරයි කියලයි මම ඒ සර්පයින්ව මැරුවේ කියලා. මේ සර්පයින්ව මැරුව කෙනා මේ ආරණ්‍යයේ ජීවත්වන අයෙක් නොවේ. මොහු අතින් සත්වඝාතනයක් සිද්ධවෙනවා, සිල්පද බිඳෙනවා ක්‍රෝධය, වෛරය, ව්‍යාපාද සිතක් සකස් වෙනවා. ඒ සිත සකස්‌වී අනිත්‍යභාවයට පත්වෙනකොටම හෝ ඊට පෙරාතුව මෛත්‍රී සහගත සිතකුත් සකස්‌වෙනවා. 'අනේ ස්‌වාමීන් වහන්සේලාට දෂ්ටකරයි, උන්වහන්සේලා අපවත්වෙයි, රෝගීවෙයි, ගිහිපිංවතුන්ලාට දෂ්ටකරයි'.....
බලන්න අර අකුසල් සත්වඝාතන සිතත් සමඟම මොහු තුළ බලවත් මෛත්‍රී සහගත සිතකුත් සකස්‌වුණා. මෙන්න මෙවැනි අවස්‌ථාවක අර සත්වඝාතන අකුසලයේ විපාකය හීනවෙන්න පුළුවන්. දැන් අපි නැවතත් ඉකුත් සතියේ පළවූ කථාවේ මුලට යමු. එහි මෙම පහළොස් හැවිරිදි දරුවා පෙර ජීවිතයේදී ප්‍රභූ පවුලේ අතවැසියෙක් ලෙස කැත්ත, පිහිය, උදැල්ලේ වැඩකරමින් සිටින විට කැත්තෙන් ගසා මරාදමන්නේ අහිංසක ස්‌වභාවයේ සතෙක්. ඔහුට ඕනතරම් අවස්‌ථාව තිබෙන්න ඇති එම සතාව මඟහැර යන්න. එහෙම නැතිනම් කෝටුවකින් අරගෙන විසිකරන්න. එහෙත ඔහු තුළ සකස්‌වූ සත්වඝාතන ෙච්තනාවේ බලවත්භාවය නිසා ඔහු මහා අකුසලයක් සිදුකරගත්තා. මරණයට පත්වෙන සතා ලොකු සතෙක් වුවද කුඩා සතෙක් වුවද මරණීය ෙච්තනාව බලවත් නම් අකුසලය විපාකදීමේ ශක්‌තිය වැඩිවෙනවා. ඒ නිසාමයි පෙරභවයේ අහිංසක සර්පයා කැත්තෙන් කෑලි කපා මරාදැමීමේ අකුසල් විපාකය හැටියට මේ ජීවිතයේදී එම දරුවා බස්‌රථයක ගමන් කරමින් සිටියදී අනතුරට ලක්‌වී, ශරීරය බිඳී, අකාලයේ මිය යන්නට සිදුවන්නේ. පෙර භවයේදී සර්පයෙක් මරාදැමීමේ අකුසලය මේ තරම් භයානක ලෙස විපාක දේනම් ඔබ මේ ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන්න ඕනේ. මොකද සමාජයේ සමහර පිංවතුන්ගේ මතයක් තිබෙනවා කුහුඹුවෙක්, මදුරුවෙක් වගේ සතෙක් මැරුණහම, එම සතුනට වේදනා දුන්නම එම ක්‍රියාවන් තමන්ට විපාකදීම පිණිස සකස් වෙන්නෙ නැහැය කියලා.
වියළි කලාපයේ ප්‍රදේශවල විශාල රංචු වශයෙන් ගවයන් සිටිනවා. මේ ගවයන්ගේ අයිතිය තහවුරු කිරීම සඳහා හරක් හිමිකරුගේ නම හංවඩුගසා තිබෙනවා. ගවයාගේ බෙල්ල ළඟින් පටන්ගෙන වලිගය ළඟට යනකම්ම පුච්චලා, ලොකු අකුරු කොටලා. මේවා කරන මනුෂ්‍යයන්ට දැනෙන්නේවත් නැහැ, තමාගේ මෙම ක්‍රියාවෙන් එම සතා අත්විඳින වේදනාව. මෙවැනි අකුසල් සිදුකරන අය අහම්බෙන් හෝ මනුෂ්‍ය ජීවිතයක් නැවත ලැබුවොත් වතුර කේතලය පෙරළිලා, ගෑස් ටැංකිය පුපුරලා, බෝම්බයකට පිළිස්‌සිලා මුළු ශරීරයම පිච්චිච්ච ස්‌වභාවයට පත්වෙනවා. ඒ දුකෙන්ම මැරිලා නිරයන්ට වැටෙනවා. සමහරු තමා විසින්ම තමාගේ ශරීරයට ගිනි තබාගෙන මියයන්නේ මෙවැනි සත්ව හිංසාවන් නිසා.
පිංවත් ඔබට, ඔබ නිසා, ඔබ අතින් සත්ව ඝාතනයක්, සත්ව හිංසාවක් සිදුවේ යෑයි අනුමාන කරනවා නම් ඒ ස්‌ථානය, අවස්‌ථාව මගහැර යන්න. සතා මදුරුවෙක් වුවත් කමක් නැහැ. ඔබ සවස අඳුර වැටීගෙන එනකොට එහි පහළියේ වාඩිවෙලා සිටිනවා. එවැනි තැනකදී ඔබට මදුරුවෝ දෂ්ටකරන නිසා මදුරුවෝ මරන්න සිද්ධවෙනවා නම් ඔබ මදුරු දඟරයක් පත්තුකර ගන්න. මදුරු දැලක් භාවිතයට ගන්න. එවැනි දෙයක් කරන්න බැරිනම් එම ස්‌ථානය මඟහැර යන්න. මදුරුවාට පහරදීමෙන් ඔබ ලබන තාවකාලික ආශ්වාදයේ, දීර්ඝ කාලීන කටුක ආදීනවයක් තිබෙන බව දකින්න. ඔබට පීඩා කරන ලොකු කුඩා කුමන වර්ගයේ සතෙක් හමුවුවද එම සතා මාරයා බව දැනගන්න. රූපය යම් තැනකද එතැන මාරයා ඇත කියලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ එම සතා නිසා ඔබට කල්ප ගණනක දුකක් සතර අපායේ විඳින්න සිදුවෙන්න පුළුවන්. මාරයාගෙන් මිදෙන්න, බේරෙන්න නේද ඔබ මේ හැම පිංකමක්‌ම කරන්නේ. එම නිසා තිරිසන් සත්ත්ව වේශයෙන් ඔබ ඉදිරියට එන මාර උගුලෙන් ඔබ බේරෙන්න. එම මාර උගුල ඔබ මගහැර යන්න. එවිට ඔබ මගහැර යන්නේ දුකයි. දුක මගහැර යැමට දක්‍ෂ කෙනාමයි කවදාහරි දුක අවබෝධ කරගන්නේ. මේ සඳහා ඔබට ජවය ශක්‌තිය ලබාදෙන්නේ ශීලයයි. එහෙයින් ජීවිතය පරදුවට තබා සිල්පද ආරක්‍ෂා කරගන්න. ශීලය උදෙසා පරදුවට තබන ඔබේ ජීවිතයත් අනිත්‍යයට අයිති දෙයක්, දුකට අයිති දෙයක්. අනිත්‍යයට, දුකට අයිති ඔබේ ජීවිතය පරදුවට තබා ඔබ ආරක්‍ෂා කරගන්නා ශීලය අයිති දුකින් මිදීමේ මාර්ගයට. ඒ කියන්නේ සතර අපායෙන් මිදීමේ ඒකායන මාර්ගයට.
අතිසුන්දර වුවද අතිකටුක වුවද විවිධත්වයෙන් ගහන තිරිසන් ලෝකය දෙස බලන්න. දිය ගොඩ දෙකෙහිම ජීවත්වෙන එම තිරිසන් ලෝකය යනු පෙර ජීවිතයේදී ශිල්පද බිඳගත්තවුන්ගේ ලෝකයයි. සිල්පද ගරු නොකළ අයගේ ලෝකය වන තිරිසන් ලෝකයේ සුන්දරත්වය, විසිතුරුභාවය යනු පෙර බවයන්හිදී දන්දීමේ කුසල විපාකයයි. එහි කටුකභාවය යනු බිඳගත් සිල්පද වල අධිභාවයයි. විවිධත්වය යනු අකුසල් ෙච්තනාවන්ගේ සංකීර්ණ භාවයයි.
බලන්න. ජීවිතය කියන්නේ, තිරිසන් සත්ත්ව ජීවිතයක් කියන්නේ මොනතරම් මංමුලාවක්‌ද, ඇස් බැන්දුමක්‌ද කියලා. තියුණු අකුසල් විපාකයක් විසිතුරු දවටනයක ඔතලා තිබෙනවා වගේ එයත් හරියට ඔබේ ප්‍රාණඝාතයට අනුබල දෙන, සිල්පද බිඳගැනීමට අනුබල දෙන සිත වගේමයි. සිල්පද බිඳගැනීම තුළ සැපයක් ලබනවා. ඒ සැපය නමැති විසිතුරු දවටනය ඔතා ඇති අකුසල් විපාකය ඔබ දකින්නේ නැහැ. ඒ තරමටම දවටනය විසිතුරුයි.
පිංවත් ඔබ ශීලයට ගරුනොකරන සිතක්, ප්‍රාණ ඝාතයට, සත්ව හිංසාවට අනුබල දෙන සිතක් සකස් වෙනකොටම දකින්න සිතක් කියන්නේ දුකක්‌ය කියලා, දුකක් කියන්නේ සිතක්‌ය කියලා. එවිට එම සිත අනිත්‍යවෙලා යාවී. එසේ නොවුණහොත් එම කමටහනම නිවීසැනසිල්ලේ නැවත නැවත මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරනකොට ඔබේ සිතේ සමාධිමත් බවක් හටගනීවී. ඒ ශීලයේ ආනිසංශයයි. ලෝකය දුක බව දකින ඇසයි. මේ සමාධිමත් සිත ඔබට සකස්‌වුණේ පැය ගණනාවක් එරමිනියා ගොතාගෙන භාවනා කරලා නොවෙයි. සිත දෙස බලාගෙන හිඳීමෙනුයි. සකස්‌වන ප්‍රාණඝාතයට අනුබල දෙන සිත, දුක පිණිස හේතුවෙන බව දැකලයි. ඒ දුකට උරුම සිත ඔබ වෙතින් අතහැරෙනකොට, ඒ සිත නැවත නැවත දුක බව මෙනෙහි කරන විට ශක්‌තිමත් වන ශීලය නිසාම සමාධිය සකස් වුණා. පිංවත් ඔබ සමාධිය සොයාගෙන යන්න අවශ්‍ය නැහැ. උතුම් ශීලයෙන් ඔබ පරිපූර්ණ වෙන්න. අවංක බවට පත්වෙන්න. ඒ පරිපූර්ණ බව තුළම සමාධිය පිහිටනවා.
භික්‍ෂුව මෙහි සටහන් කරන තරම් එය ඉක්‌මන් නොවන්න පුළුවන්. නමුත් ඔබ තුළ සංසාරික දුකින් අත්මිදෙන්න අවංකවම උවමානව, වීර්යය තිබෙනවා නම් ඔබට එය පහසු දෙයක් වේවි.
දැන් අපි නැවතත් කථාවේ මුලට යමු. ඉකුත් කොටසේ කථාකළ රිය අනතුරින් මියගිය 15 හැවිරිදි දරුවා මියයැමෙන් අනතුරුව ලැබූ ජීවිතය තමයි ළමා ස්‌වභාවයේ දිව්‍ය ජීවිතය. එම ළමා දිව්‍ය ජීවිතයෙන් රුව, ස්‌වභාවය එම ලිපියේ මුලදී සටහන් කළා. මෙම දිව්‍ය ස්‌වභාවය මනුෂ්‍ය ලෝකයේම යම් යම් දේවල් උපාදානය කර ලබන දිව්‍ය ස්‌වභාවයක්. 15 හැවිරිදි දරුවෙක් මෙවැනි අකාරුණික ආකාරයට මියයනකොට ඔහුට බලවත් අකුසල් ෙච්තනාවක් සකස්‌වෙන්නේ නැහැ. පහත උදාහරණයෙන් ඔබට එය වටහාගන්න පහසුවේවි.
වැඩිහිටි අයෙකුට තවත් වැඩිහිටි අයෙක් පහර දෙනවා. පහරදීමත් සමඟම පහරකෑමට ලක්‌වෙන්නා තුළ ක්‍රෝධය, වෛරය, ද්වේශය, පළිගැනීම.... මෙවැනි අකුසල් සිත් රාශියක් සකස්‌වෙනවා. එහෙත් පොඩි ළමයෙකුට පහරක් ගැසුවහොත් එම දරුවා රිදෙනවා කියලා බයේ කෑගසාවි, හඬන්න පටන්ගනීවී. එතැනදී දරුවාට බොහොම අසරණ අහිංසක ෙච්තනාවක් සකස්‌වෙන්නේ. මේ රිය අනතුරින් මියයන දරුවාට අවසන් චුතිසිත ලෙස සකස්‌වෙන්න ඇත්තේ බොහොම අහිංසක මධ්‍යස්‌ථ සිතක්. ඒ නිසාම ඔහුට එම ළමා දිව්‍ය ස්‌වභාවය ලැබෙන්නට ඇති. ඔහු එම දිව්‍ය ස්‌වභාවය තුළ සිටිමින්ම තමා පෙර ජීවිතයේදී කැමති කළ දෙමාපියන්, නිවස, අධ්‍යාපනය ලද පාසල, ඥාති මිත්‍රයින් තම දිව්‍ය සිතින් ස්‌පර්ශකරමින් සතුටුවෙනවා ඇති. ආශ්වාදය ලබනවා ඇති. දෙමාපියන් කරන පිංකම් දෙස බලා සතුටුවෙනවා ඇති. ඔහු ස්‌වභාවයන් සමඟ ගැටෙනවාත් ඇති. කෙසේ වුවද, මේ හදිසි රිය අනතුරින් මියගිය දරුවා වාසනාවන්ත දරුවෙක්. මොකද මේ මොහොතේ සතර අපායට වැටෙන්නේ නැතිව මෙවැනි දිව්‍ය ස්‌වභාවයක් ලබාගැනීම භාග්‍යයක්. හැබැයි, වර්ණනා කළයුතු භාග්‍යයක් නම් නොවෙයි.
මේ සටහන මෙතැනින් නවත්වනවා. ජීවිත තුනක කථාවක් මෙතැන තිබෙනවා. මේ ජීවිත තුනක කථාව ඔබ ඔබේ ජීවිතයේ යහපත් උදෙසා ගලපාගන්න.
මල්, ගස්‌වල තිබලා වැඩක් නැහැ. ඒ මල් නෙලලා බුදු සමිඳුට පූජා කරන්න. මල් පූජා කළාය කියලා එහි සැබෑ අර්ථය සිද්ධවෙන්නේ නැහැ. ඒ මල් පරවෙන බව සිතලා, දැකලා එය අනිත්‍ය බව ඔබේ ජීවිතයටත් ගලපාගන්න. ඉහත සටහනද ඔබ කියවලා එය ඔබේ ජීවිතයට ගලපාගෙන එම කුසලය 'බබා දෙවියන්ටත්' අනුමෝදන් කරන්න.
ඉන්ද්‍රජිත් සුබසිංහ
දිවයින ඉරිදා සංග්‍රහයේ පළවන ලිපි පෙළ ඇසුරින් උපුටා ගන්නා ලදී 2012-08-12
indrajith.media@gmail.com
පිං පව් එනවා අපි පසු පස්‌සේ...
(සෑම රියෑදුරෙක්‌ම කියවන්නේ නම් මැනවි)
භික්‍ෂුව මෙම ලිපිය සටහන් කරන්නට වසර දෙකකට පමණ පෙර හඳුනාගත් පවුලක් හිටියා. මේ පවුලේ සාමාජිකයන් සංඝයා කෙරෙහි බොහොම ගෞරවය ඇති පිනට දහමට ලැදි අයයි. මේ පවුලේ එකම පිරිමි දරුවාට වයස අවුරදු 15 ක් පමණ වන පාසල් වියේදී රිය අනතුරකින් මරණයට පත්වෙනවා. ගාලුපාරේ ගමන් කළ නගරාන්තර සුඛෝපභෝගී බස් රථයක නැගී තම ඥාති නිවසකට යමින් සිටියදීයි මෙම අනතුර සිදුවන්නේ. අධික තුවාල සහිතව දරුවා බස්‌රථය තුළදීම මියයනවා. මේ අනතුර සිදුවී හරියටම අවුරුද්දයි මාස අටකට පසු දිනක භික්‍ෂුව සමාධියෙන් පසුවන විටක මේ දරුවාව අරමුණු කර බලනවා. එවිට භික්‍ෂුවට අරමුණු වූ දර්ශනය මෙහි සටහන් කරනවා.
මුලින්ම භික්‍ෂුවට අරමුණු වන්නේ මේ දරුවා පෙර ජීවිතයේදී උපත ලබා සිටි ස්‌වභාවය. මේ දරුවාගේ පෙර භවය දර්ශනය වන්නේ වයස අවුරුදු 70 ක් පමණ පිරිමි අයෙක්. ඔහු හැඳගෙන සිටින්නේ සරමක් සහ කර නැති කමිසයක් වැනි ඇඳුමක්. මේ කමිසය බොත්තම් කාස මහපු එකක් නොවෙයි. ඔබ දැකලා ඇති පැරණි මනුෂ්‍යයෝ උඩුකයට අඳින ඇඳුමක් තිබෙනවා පැත්තෙන් ගැට දෙකක් දාලා තමයි එය අඳින්නේ. මෙවැනි ඇඳුම් ප්‍රභූ පිරිස් එහෙම නැතිනම් වැදගත් පිරිස් අඳින්නේ නැහැ. ඒ අයගේ සේවක පිරිස්, අතවැසි පිරිස් තමයි එවැනි ඒවා අඳින්නේ. ඒ කියන්නේ ප්‍රභූ පිරිස් වලට සේවය කරන අය. රිය අනතුරින් මිය ගිය දරුවාද පෙර ජීවිතයේ මෙවැනි ප්‍රභූ පවුලකට සේවය කළ කෙනෙක්. ඔහු වයස අවුරුදු 70 ක වයස් සීමාව ඉක්‌මවා ගිහිල්ලා මියගියාට පසුව ලැබූ ප්‍රතිසන්ධිය තමයි මේ දරුවා.
දැන් ඔබට වැටහෙනවා ඇති මේ හදිසි අනතුරින් මිය ගිය දරුවා පෙර ජීවිතයේදී කවුරුන්ද කියලා. මීළඟට භික්‍ෂුව අරමුණු කර බැලුවේ හදිසි අනතුරින් මිය ගිය පසු මේ දරුවා කොතැනක උපත ලැබුවේද යන්නයි. මොහු උපත ලබන්නේ, මේ මනුෂ්‍යයන් ඇසුරේම ජීවත්වෙන ප්‍රාථමික දෙවියෙක් හැටියටයි. ප්‍රාථමික දෙවියෙක් යෑයි කීවේ මේ අය දිව්‍යතලවල ජීවත් වෙන මහේෂාඛ්‍ය දෙවිවරු නොවන නිසයි. මනුෂ්‍ය ලෝකය තුළ යම් යම් උපාදානයන් කෙරෙහි තෘෂ්ණාව සකස් කරගෙන මනුෂ්‍යයන් ඇසුරේම ජීවත්වෙන දිව්‍ය ස්‌වභාවයක්. මේ දෙවියාගේ ඇඳුමේ ස්‌වභාවය දැක්‌කම භික්‍ෂුවට හිතුනා මොහුව බබා දෙවියන් යෑයි හඳුන්වන්න.
වයස අවුරුදු 15 ක් පමණ පෙනුමැති සාමාන්‍ය මහත දරුවෙකුගේ රූපයක් සහිත දණහිස ප්‍රමාණයට දිගැති සුදු කලිසමක් සහ කොලරය නොමැති කර පළල් සුදු කමිසයක් හැඳගෙන සිටියා. සුදු හිස් වැස්‌මක් පැළඳගෙන සිටියා.
මේ ඇඳුම් කට්‌ටලයේ ඉහත ස්‌වභාවය දකිනකොට භික්‍ෂුවට මතක් වුණේ උපාධි ප්‍රදානොත්සවයකදී උපාධි ලබන්නකුගේ ස්‌වභාවය. වෙනසකට තිබුණේ කලිසමේ කෙටි බව විතරයි. මේ අනතුරින් මියගිය දරුවාගේ අම්මාත් කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියක්. මේ දරුවාත් කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය හදාළ ශිෂ්‍යයෙක්. මේ සියල්ල සමග සසඳනකොට මේ දරුවා මියයන මොහොතේ, තමන් අනාගතයේදී හොඳින් ඉගෙනගෙන උපාධිධාරියෙක් වෙනවාය යන ලෙසින් ඇතිකරගෙන තිබූ උපාදානය මතුවී, ඒ උපාදානයට අදාළව එම දිව්‍ය ස්‌වභාවයේ රුව ගුණ සකස් වූවාද විය හැකිය. මේ දරුවාගේ පෙර ජීවිතයත්, මතු ජීවිතයත් ගැන අරමුණු කර බලද්දී භික්‍ෂුවට මේ දරුවා මෙවැනි කුරිරු ආකාරයට වයස අවුරදු 15 කදී පමණ හදිසි අනතුරකින් මියයැමට හේතුවුණ කර්ම විපාකය කුමක්‌ද යන්න දර්ශනය වුණා. භික්‍ෂුවට දර්ශනය වුණේ බොහොම තියුණු මුවහත තිබෙන කැත්තක්. ඒ ගම්වල මිනිසුන් කැළෑ එළිකරන්න ගන්න බොහොම තියුණු මුවහත සහිත කැත්තක්. ඒ මුවහත සහිත කැත්තෙන් තැඹිලි පැහැයට හුරු සර්පයෙක් කෑලි කෑලි වලට කපනවා. මෙන්න මේ සර්පයා කෑලි කෑලි වලට කපා දමා මැරූ කර්ම විපාකය තමයි දරුවා මේ ජීවිතයේදී රිය අනතුරකින් මරණයට පත්කර දමන්නේ.
ඔබ දැන් මේ භික්‍ෂුව සටහන් කළ උතුම් සමාධිය තුළදී අත්දුටු සන්දිට්‌ටික ධර්මය ඔබේ නුවණින් හොඳින් ගලපාගන්නා ඕනේ. මොකද මේ හුදු කථාවක් විතරක් නෙවෙයි. ඔබට අවංකවම මේ සසර දුක නිමාකර ගැනීමට අවශ්‍යනම් ඊට අවශ්‍ය කමටහනක් මේ කථාව තුළ අන්තර්ගතව තිබෙනවා. ඒ විතරක් නොවෙයි. ඔබට මේ දුකින් පිරි සංසාරයෙන් එතෙර වීමට අවශ්‍ය නම් ඔබ තුළ ඇති කරගත යුත්තේ, මුලින්ම සංසාරය පිළිබඳව බියයි. සංසාරයේ බිය නොදකින්නා සංසාරය, මගේ කරගන්නවා. සංසාරය බිරිඳ, දුව, පුතා කරගන්නවා. ආශ්වාදයන්මයි දකින්නේ. ඒ නිසා ඉහත කථා ප්‍රවෘත්තිය ඔබට සසර බිය ඇති කර ගැනීමට හුඟාක් උපකාරී වෙනවා.
දැන් බලන්න මේ හදිස්‌සි අනතුරින් මිය ගිය 15 හැවිරිදි ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලද මේ දරුවා පෙර ජීවිතයේ උපත ලබලා සිටියේ ප්‍රභූ+ පවුලක මෙහෙකරුවෙක් හැටියට. මේ මෙහෙකරුවා වයස අවු 70 පමණ ජීවත්වෙලා මියගියාට පසුව තවත් අම්මා කෙනෙකුගේ මව්කුසේ පුතෙක් හැටියට උපත ලබනවා. දැන් බලන්නකෝ මේ අම්මා, තාත්තා මගේ පුතේ කියලා අප්‍රමාණ සෙනෙහසක් දැක්‌වුවේ කාටද? ඔහු පෙර ජීව්තයේ කවුරුවෙලාද සිටියේ. අවුරුදු 70 පමණ වයසක මනුෂ්‍යයෙක් තමයි මැරිල මේ නැවත ප්‍රතිසංධිය ලැබුවේ. ඔබ එහෙම නම් දෙවියනේ මේ නළවලා තිබෙන්නේ පෝෂණය කරලා තිබෙන්නේ කාවද? ඔබට සිතෙන්නේ නැද්ද අනේ මම නළවලා තිබෙන්නේ පෝෂණය කරලා තිබෙන්නේ අර වයසක මනුෂ්‍යයාව කියලා. ඒ ප්‍රභු පවුලේ සේවය කරපු මෙහෙකාර මනුෂ්‍යයාව කියලා. මේ විදියට පිංවතුනේa ඔබේ ඔඩොක්‌කුවේ සුරතල් වන ඔය දරුවා පෙර ජීවිතයේ කවුරුන් වෙන්න ඇතිද? වෙන කොහේ හරි ජීවත්ව සිටිය වයසක සීයා කෙනෙක්, වයසක ආච්චී කෙනෙක් සමහරවිට දෙවියෙක්, තිරිසන් සතෙක්, ප්‍රේතයෙක් වෙන්න පුළුවන්. එහෙමනම් ඔබ ඔය මගේ දරුවා...මගේ දරුවා කියලා නළවන්නේ සුරතල් කරන්නේ කාවද? ඔබ ඔය සුරතල් කරන්නේ මෝහය, මුලාව, අනවබෝධය. මෙහෙම කීවාම පිංවත් ඔබ ගිය ජීවිතයේ සිටි කෙනාව මේ ජීවිතයේ ඉපදුනාය කියන ආත්ම සංඥාව ගන්න යන්න එපා. අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්‌කාර හේතුවෙන් හටගන්නා වූ ධර්මතාවයක්‌ය යන්න හේතුඵල ධර්මතාවයන් අනුව දකින්න උත්සහ ගන්න.
මේ රටේ ජීවත්වෙච්ච බොහෝම ප්‍රභූපෙළේ මහත්මයෙක් සිටියා. ඔහු මියගිහිල්ලා උපත ලබන්නනේ ඌරෙක් වෙලා. එතකොට ඒ ඌරු අම්මගේ තන්පුඩුවල එල්ලිලා කිරි උරා බොන්නේ කවරෙක්‌ද? ඌරුපැටියෙක් බව ඇත්ත. ඒ ඌරු පැටියා ගිය ජීවිතේ අර ප්‍රභු මනුෂ්‍යයා. පිංවතුනේ මනුෂ්‍යයා ශීලයෙන් ඈත් වෙන්න ඈත්වෙන්න ඒ අය ඊළග උපතේදී තිරිසන් අම්මලාගේ පැටවුන් ලෙස ඉපදීමේ ප්‍රතිශතය ඉතාමත් වැඩියි. මනුෂ්‍යයා අතින් මනුෂ්‍ය ඝාතන, සත්ව ඝාතන, ඒවාට අනුබලදීම් සිදුවීම වැඩිවන්න වැඩිවන්න, එවැනි අකුසල් කරන අය ඊට සුදුසු විපාකයන් විඳීම සඳහා උපදින්නේ බෙලි කැපුම් කා මසට මියයන හරක්, ඌරු, එළු, කුකුල් කුලවලමයි. දැන් අපි නැවතත් අද දරුවාගේ කථාවට යමු....
මෙහි ඉහත සඳහන් කළා මේ දරුවා හදිසි අනතුරකින් ළමා වියේදීම කුරිරු ආකාරයෙන් මියයැමට බලපාන ලද පෙර ජීවිතයේ කරන ලද කර්මය, මෙන්න මේ හේතුව ඔබට ගොඩක් වැදගත් වෙනවා.
පසුගිය ජීවිතයේදී අර ප්‍රභූ පවුලට සේවය කළ මනුෂ්‍යයා තියුණු කැත්තකින් තැඹිලි පාටට හුරු සර්පයෙක්‌ව කෑලි කපා මරා දමනවා. ගිය ජීවිතයේදී මොහු එම සර්පයා කෑලි කපා මරා දමන්නේ යම්සේද, ඒ ආකාරයෙන්ම මේ ජීවිතයේදී මේ දරුවා සුඛෝපභෝගී බස් රියේ ගැටුමේදී, ශරීරය බිඳී මියයනවා. බලන්න එතකොට සර්පයෙක් මරා දැමීමේ අකුසලය මොන තරම් බලවත් වුණාද කියලා.
මෙතැනදී බලවත් වෙන්නෙ ෙච්තනාව. මොකද මේ සර්පයාගේ වර්ණය දෙස බලන විට මේ සර්පයා දරුණු විෂකුරු සර්පයෙක් නෙමෙයි. අහිංසක ගැරඬියෙක්, පිඹුරෙක් වගේ සර්පයෙක්. මොහුට තිබුණා අවශ්‍ය නම් ඒ සර්පයාව නොමරා කෝටුවකින් අරගෙන ඈතට විසිකර දමන්න. නමුත් මේ මනුෂ්‍යා තුළ ඇතිවූ ක්‍රෝධ, වෛරී ෙච්තනාව නිසා අර අහිංසක සර්පයා කෑලි කපලා මරා දමනවා. ඒ සර්පයා තියුණු කැත්තෙන් කෑලි කැපී යනවිට දඟලනවා දැකලා, ඒ මනුෂ්‍යයා අප්‍රමාන තෘප්තියක් ලබන්න ඇති. අද සමාජයේ මොනතරම් නම් මනුෂ්‍යයෝ, දරුවෝ ඉන්නවද සතුනට හිංසා කරලා සතුටුවෙන. හූනෙක්‌ගේ වලිගය කඩල දමලා, ඒ කැඩුණු වලිගය දඟලන හැටි බලලා සතුටුවෙන.....
මෙතැනදි අපි කාලකන්නි සතුටක් ලබන බව ඇත්ත. නමුත් ඒවායේ විපාක පසු කලකදී ඒවයේ විපාක, අපේ ශරීරය කෑලි කැඩී යන විපාකයන් ලෙසින් ගෙවන්න අපට සිද්ධවෙනවා. මේ විදිහට කර්මය කර්මඵල ගලපා බලනකොට, වර්තමාන සමාජයේ සිදුවෙන්නා වූ අධික වාහන අනතුරු නිසා, ආයුධවලින් කපා කොටා ගැනීම් නිසා මියයන, තුවාල ලබන, අතපය අහිමිවන මිනිසුන් දරුවන් කොපමණද? රෝහල් වල හදිසි අනතුරු වාට්‌ටුවල ප්‍රතිකාර ලබන දහස් ගණනක් රෝගීන් මේ කුමක්‌ද අත්විඳින්නේ? පෙර සංසාරයේ තමා විසින්ම කළාවූ සත්ව ඝාතනයක්, සත්ව හිංසාවක අකුසල් විපාකයක්.
අපි රියදුරන්ගේ වේගය වැඩිය කියලා දොස් කියනවා. බීමත්ව රිය පදවනවා කියල දොස් කියනවා. මාර්ග නීති පිළිපදින්නේ නැතිය කියලා දොස් කියනවා. මේවාත් හේතු තමයි. මෙවැනි හේතු, ෙච්තනා මනුෂ්‍යයා තුළ සකස් වෙන්නේ තවත් අයකුට අදාල අකුසල් විපාකදීමට අවශ්‍ය පරිසරය සකස්‌කර දීම සඳහාමයි. එක් අයෙක් මුදල් හම්බකිරීමට ඇති ආශාව නිසා වේගයෙන් රිය පදවනකොට, තවත් අයෙක් බීමත්ව රිය පදවනකොට, ඒ තුළින් අලුත් කර්මයන් සකස් කරගනිද්දී, තමාගේ ශීලය බිඳගනිද්දී, ශීලයෙන් ප්‍රමාදභාවයට පත්වෙද්දී, තවත් පුද්ගලයෙක් ඒ ශීලයෙන් ප්‍රමාදභාවයට පත්වූ මනුෂ්‍යයාගේ ක්‍රියාවක් හේතුවෙන්, තමා සංසාරයේ කරන ලද එවැනිම කර්මයක අකුසල් විපාකය අත්විඳිනවා. තමන් කරනා අකුසල් විපාකදීම සඳහා, අකුසල් කරන අය නොදැන නමුත්, එකිනෙකාට උපකාර කරගන්නවා. මේ එකිනෙකාට උපකාර කරගැනීම තමයි වර්තමානයේ සමාජය තුළදී අපි දකින්නේ. එක් පුද්ගලයෙකුට අතීත අකුසල කර්මයන් විපාක දෙනකොට තවත් පුද්ගලයෙක් අලුතින් අකුසල් කර්ම සකස්‌කර ගන්නවා. ඇයි මේ? සම්මා දිට්‌ඨියට නොපැමිණි මනුෂ්‍යයාට නැවත නැවත දුක සකස් කර දීමට.
මේ පහළොස් හැවිරිදි දරුවාට තමා පෙර ජීවිතයේදී කරන ලද ප්‍රාණඝාත අකුසල් කර්මය විපාක දීම සඳහා කවුද උපකාර කළේ? තමන් ගමන්ගත් සුඛෝපභෝගී බස් රථයේ රියදුරා. ඔහු ශීලයෙන් ප්‍රමාදභාවයට පත්වූ නිසා, සතිය සිහිය ගිලිහී ගිහින් අනතුරුදායක වේගයකින් බස් රථය පැදවීම තමයි දරුවාගේ මරණයට හේතුවුණේ. එම රියදුරා ශීලයක පිහිටි අයෙක් නම් ඔහු තුළ සතිය සිහිය තිබිය යුතුයි. හිරි ඔතප් දෙක තිබිය යුතුයි. එහෙමනම් ඔහු දන්නවා වේගය කුමක්‌ද, සීමාව කුමක්‌ද කියලා. එසේනම් මුදල් හම්බකිරීමට ඇති තෘෂ්ණාව නිසා අනතුරුදායක වේගයකින් ඔහු තම බස්‌රථය පදවන්නේ නැහැ. ඔබ සතියෙන් සිහියෙන් තොරවීම නිසා, ඔබ පදවන වාහනයට ගැටී, යටවී කෙනෙක් මියගියහොත් එසේත් නැතිනම් ජීවිත කාලය පුරාවට අබ්බගාතයෙකු බවට පත්වුවහොත්, දරුපවුලක් අනාථ වුවහොත් ඔබට පුළුවන්ද තමා හේතුවෙන් සිදුවූ එම විපත අමතක කර දමන්න. කොච්චර අමතක කරදමන්න හැදුවත් ඒවා මතකයට එනවා. ඒ නිසාම තමන් බීමත් භාවයට වැටෙන්න ඉඩ තිබෙනවා. තව තව අකුසල් වැඩිකරගන්නවා. තමන් කවදාහරි මියයන මොහොතේදී මේ සිදුවීම් මතකයට එනවා. අවිද්‍යාවෙන් ඔද්දල්වුණු සිත හරි දක්‍ෂයි, මැරෙන මොහොතේදී මෙවැනි බලවත් අකුසල් කර්මයන් ඔබට මතක්‌කර දෙන්න. එවිට ඔබ ගැටෙන සිතිනුයි මියයන්නේ. ගැටෙන සිතින් මියයන කෙනා දුගතිවලයි උප්පත්තිය ලබන්නේ කියලා ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. බලන්නකෝ ඔබ අධික වේගයෙන් රිය පදවලා වැඩිපුර මගීන් දසදෙනෙක් පටවාගතහොත් ඔබ රුපියල් දාහක් වැඩිපුර හම්බකර ගනීවී. ඒත් ඒ රුපියල් දහසට තෘෂ්ණාවෙන් ඔබ රැස්‌කරගන්නා අකුසලය විසින් ඔබව කල්ප ගණනක් දිගු දුකක් උරුමකර දෙනවා. ඔබ වේගයෙන් රිය පදවලා පැයක් කලින් ඔබේ ගමනාන්තයට පැමිණියොත්, ඔබ ඒ පැය විවේක ගනීවී. ඒත් ඒ වේගය නිසා ඔබ අතින් අනතුරක් සිදුවුවහොත්, එහි අකුසල් විපාකය හේතුවෙන් ඔබට කල්ප ගණනාවක් සතර අපායවල අවිවේකීව ප්‍රමදවීමට සිදුරවෙනවා. මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් එය අල්පායුෂ සහිත, රෝගී ජීවිතයක්‌ම තමයි ලබන්නේ. ඔබ යෝනිසෝ මනිසකාරයෙන් යුතුව ඇස් දෙක ඇරලා බැලුවහොත්, කන් යොමලා බැලුවහොත් ඔබට මේ අත්දැකීම් සමාජය පුරාවටම දකින්න අහන්න පුළුවන්. මොනතරම් මිනිසුන්, දරුවන්, අඩු ආයුෂයෙන් මිය යනවද? මොනතරම් මිනිස්‌සු රෝගාබාධයන්ගෙන් පෙළෙනවද? ඊට සමගාමීව අනිත් පැත්තත් අපි දකිමු. මොනතරම් මිනිස්‌සු සත්ව ඝාතන කරනවාද? මොන තරම් මිනිස්‌සු සත්ව හිංසා කරනවාද? බලන්න දෙපැත්ත සැසඳිලා යන විදිහ. මේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාල හේතුඵළ ධර්මයන්මයි.
ඉන්ද්‍රජිත් සුබසිංහ
දිවයින ඉරිදා සංග්‍රහයේ පළවන ලිපි පෙළ ඇසුරින් උපුටා ගන්නා ලදී 2012-08-05
'සතර අපායෙන් මිදෙමු' 2 කොටස (VII)
පෙර ආත්මයේ නතර කළ තැනින් අරඹන්න
ධර්මය මේ සා සරළව පිංවත් ඔබට දේශනා කළ බුදුරජාණන් වහන්සේ, ඇට්‌ටේරියා වනයක වැඩසිටිමින්, තම අතට බිම වැටී තිබූ ඇට්‌ටේරියා කොළ අහුරක් ගෙන දේශනා කරනවා 'මහණෙනි මම අවබෝධ කරගත් ධර්මය මේ ඇට්‌ටේරියා වනයේම ඇති කොළවලට සමාන බවත්, මා විසින් දේශනා කළ ධර්මය මගේ මේ අතේ ඇති කොළ ප්‍රමාණය තරම් බවත්. එසේ නම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ධර්මයෙන් මොන තරම් සුළු ප්‍රමාණයක්‌ද ලෝකයාට දේශනාකර ඇත්තේ. පිංවත් ඔබට නිවීමේ මාර්ගයට පමණක් අදාළ පුංචි ධර්මයක් මේ තරම් සරළව දේශනා කරලත්, එම ධර්මය නාසා අපේ ඇත්තෝ මේ සා දෘෂ්ඨි මතවාද ශීලවෘතවල පැටලෙනවා නම් බුදුරජාණන් වහන්සේ අවබෝධකොට වදාළ ධර්මයෙන් අඩක් හෝ අපට දේශනා කළා නම් අපි සියල්ලන් මොන විනාශයක් සිදුකරගනීද? බුදුරජාණන් වහන්සේලා සතු මහාකරුණා ඥානය නිසාමයි ලෝකයාට භවනිරෝධයට අවශ්‍ය කරුණු කාරණා පමණක් දේශනා කරන්නේ. ඉකුත් (සතියේ) සටහනේ පෙර සඳහන් කළ "පව් නොකරනවා නම් පිංකරන්න අවශ්‍ය නැහැ" දෘෂ්ඨිය ගැනීම නිසා ඔහු මේ මොහොතේ සිටින්නේ මිත්‍යාදෘෂ්ඨික මනුෂ්‍ය ජීවිතයක. මොහුට මේ ජීවිතයේදී දැනීමක්‌වත් නැහැ මොහු පෙර ජීවිතයේදී බෞද්ධයෙක් කියලා. තමා විසින් තමාටම කරගන්නා වූ මීට වඩා විනාශයක් තිබෙනවාද? මේ සා විනාශයක් තමා තමාටම කරගන්නේ "මම" කියලා ගොඩනගාගන්නා සක්‌කාය දිට්‌ඨිය නිසා. අප්‍රමාණ දුකෙන් පිරි අප්‍රමාණ ගහනයකින් පිරි සතර අපාය අභිබවා මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලැබීමට පෙර ජීවිතයේ අප්‍රමාණ පිංකම් කළ පිංවතුනේ... මොහොතක් විවේකීව සිතන්න. පිංවත් ඔබ ගිය ජීවිතයේදී නතර කළ තැනක් තිබෙනවා. ඒ නතර කළ තැන බොහෝම පාරිශුද්ධ තැනක්. පාරිශුද්ධයි කීවේ දානයෙන්, ශීලයෙන්, සද්ධාවෙන් පාරිශූද්ධ නිසා. දැන් ඔබ මෙනෙහි කරන්න හේතුඵල ධර්මයන්ට අනුව, පිංවත් ඔබ අනුමාන කරන්න ඔබ ගිය ජීවිතයේදී මනුෂ්‍යයෙක්‌ය කියලා. සිංහල බෞද්ධයෙක්‌මය කියලා. පිංවත් ඔබ මනසින් සිහිපත් කරන්න සුදු වත් දරාගෙන වයස අවුරුදු අසුපහක්, අනුවක් වෙනතුරු ශිල් සමාදන්ව සමාදන් වූ ශීලය ආරක්‍ෂාකරගත් හැටි.
පිංවත් ඔබ මෙනෙහි කරන්න මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා ලබපු හැටි. දන් පුජාකළ හැටි. මේ කුසල් සංස්‌කාරයන් සිදුකරමින් ඔබ කුමක්‌ද ප්‍රර්ථනා කරන්න ඇත්තේ. මේ ධර්මද්වීපයේම උපත ලබන්න කියලයි. මේ ධර්මද්වීපයේම උපාසක උපාසිකාවක් වේවා කියන පැතුමයි. පිංවත් ඔබ දක්‍ෂවෙන්න, තරුණ මහලු සැවොම ඒ යටගියා වූ මතකය නැවත මතුකොටගන්න. එවිට පිංවත් ඔබට නතර කළ තැනින් නැවත පටන් ගන්න පුළුවන්. එසේ නොවුනහොත් පිංවත් ඔබලා උත්සාහගන්නේ මුල ඉඳන් නැවත අලුතින් පටන් ගන්න. තරුණයෙක් තරුණියෙක් නම් ඔහු හෝ ඇය සිතනවා වයසට යන්න ඕනේ සිල් සමාදන් වෙන්න, දන්දෙන්න, ධර්ම මාර්ගයේ ගමන් කරන්න කියලා. එම වැරදි අදහසට ඉඩදෙන්න එපා. තරුණ කාලයේදීම සුදු වත් දරාගත් උපාසක උපාසිකාවක් වෙන්න. එහෙම වුණොත් පමණයි ඔබ මේ ජීවිතයේදී ප්‍රමාදී නොවුණා වෙන්නේ. පිංවත් ඔබ තරයේම විශ්වාස කරන්න අතීත ජීවිතයේදී ඔබ දෘෂ්ඨි මතවාදයන්ගේ ග්‍රහණයට නතු වූ බෞද්ධයෙක් නොවන බව. එසේ වුවානම් හේතුඵල ධර්මයන්ට අනුව ඔබ මිත්‍යාදෘෂ්ඨික භාවයෙන් තමයි උපත ලබන්නේ. එම නිසා පිංවත් ඔබ තුළින්ම ඔබ සහතිකයක් ලබන්න. ගිය ජීවිතයේදී ඔබ තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක්‌මය කියලා. ඔබේ පිහිට රැකගෙන පැමිණි සද්ධර්මයේ උරුමය, අසත්පුරුෂ ආශ්‍රය අකීකරුභාවය නිසා දෘෂ්ඨිමතවාදවල, අන්‍යශීලවෘතවල සිරකොට දමන්න එපා. එය ඔබ විසින්ම ගොඩනගා ගත් දෙය ඔබ විසින්ම විනාශ කර දැමුවා වෙනවා.
ඉහත සටහන අර්ථවත් වෙන්න පහත සටහන ඔබට උපකාරවේවි.
මේ රටේ ජීවත්වන ප්‍රභු කාන්තාවක් සිටිනවා. ඇය ධනයෙන් බලයෙන් අනූනයි. ඇය මහේශාඛ්‍ය කාන්තාවක්. භික්‍ෂුවක් උතුම් සමාධියෙන් අරමුණුකර බලනවා ඇයගේ පෙර ජීවිතය ගැන. එවිට භික්‍ෂුවට දර්ශනය වෙන්නේ ඇය ගිය ජීවිතයේදී මනුෂ්‍ය ලෝකයේම කාන්තාවක් බවයි. භික්‍ෂුවට ඇයව දර්ශනය වී ඇත්තේ ඇය ගිය ජීවිතයේදී මහලු වයසේදී ද, තරුණ වයසේදී ද සුදු වත් දරාගත් කාන්තාවක් බවයි. ඒ කියන්නේ ඇය තරුණියක්‌ව සිටි අවධියේ පටන් මියයන තුරාවට ශීලයම ජීවිතය කරගත් කාන්තාවක් බවයි. දැන් පිංවත් ඔබ හේතුඵල ධර්මයන්ට අනුව ඇයගේ මේ ජීවිතය දකින්න. මේ ජීවිතයේදී ඇයට මහේශාඛ්‍ය භාවය ලැබුණේ අන් කවුරුත් දුන් නිසා නොව පෙර ජීවිතයේ ශීලයේ ආනිසංස ධර්මයන් නිසාමයි. දෙවියෙක්, බ්‍රහ්මයෙක් එසේත් නැතිනම් ඇයගේ ස්‌වාමිපුරුෂයා ඇයට දුන් මහේශාඛ්‍ය භාවයක් නොවේ. ඇයම කර්මය කර්මඵල විශ්වාසයෙන් ආරක්‍ෂා කළා වූ ශිලයේ බලයයි. ගිය ජීවිතයේදී ඇය විසින්ම රැස්‌කළ කුසල් සංස්‌කාර සුවසේ මේ ජීවිතයේ අත්විඳින මහේශාඛ්‍ය ඇය මේ ජීවිතයේ හරි අඩක් පමණ මේ දක්‌වා පැමිණියද ගිය ජීවිතයේ නතර කළ තැනින් මේ දක්‌වා තම ජීවිතය පටන්ගත් බවක් දකින්නට නැත. ඇයගේ මහේශාඛ්‍ය භාවය නිසාම ගිය ජීවිතයේදී ශීලයේ ආනුභාවයෙන් ලැබූ කුසල් සංස්‌කාර විඳිනවා පමණක්‌මය. ගිය ජීවිතයේදී දිවි පරදුවට තබා රැකි ශීලය නෙක්‌කම්මය උදෙසා නොව භවයේ සැප උදෙසා ෙච්තනා සකස්‌කර ගෙන එහි ඵලයක් මේ ජීවිතයේදී ලැබ ප්‍රමාදීභාවයට පත්ව භවයේ අනතුරුදායක බව ඇය දැන් අත්විඳින්නීය. කුසල් සංස්‌කාරයන්ගේ අනතුරුදායක බව ඇය දැන් අත්විඳින්නීය. නැවතත් සටහන් කරමි සංස්‌කාරයෝ අනතුරුදායකයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. මඟ නොමඟ නිවැරදිව හඳුනාගන්න. හේතුඵල ධර්මයන් නොදකිමින් පිංවත් ඔබ කුසල් සංස්‌කාරයන් පරිහරණය කළොත් එම කුසල් සංස්‌කාරයන්ම ඔබව සතර අපායට වැටීමටත් පාර පෙන්නාවි. ඉහත කාරණය නුවණින් මෙනෙහි කර පිංවත් ඔබ ඔබේ පිංවත් ජීවිතයේ ධනය, බලය, රූපය හේතුඵල ධර්මයන්ට අනුව ගලපා බලන්න. ඒවා සකස්‌වීමට බලපෑ හේතූන් ධර්මානුකූලව හඳුනාගන්න. ගිය ජීවිතයේ පිංවත් ඔබ නතර කළ තැනින් මේ ජීවිතය පටන් ගන්න. ගිය ජීවිතයේ පිංවත් ඔබ නතර කළේ සුදුවත් දරාගෙනමයි. එසේ නම් මේ ජීවිතයේදී තරුණ වියේදීවත් පිංවත් ඔබ සුදුවත් දරාගත් උපාසක උපාසිකාවක් වෙන්න. ඔබට මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබාදීමට උපකාරී වු ධර්මයට ගරුකරන්න. පිංවත් ඔබ හිතන්නේ ඔබේ පරම්පරාවෙන්, දෙමාපියන්ගෙන්, දේපල නිසා, අධ්‍යාපනය නිසා, ලබාගත් නිලතල නිසයි මේ සශ්‍රික භාවය ලැබුණේ කියලා. ඔය සමහරු කියන්නේ කවුරුත් නිසා නොවෙයි මමයි දහදුක් විඳගෙන අධ්‍යාපනය හදාරල මේ තැනට පැමිණියේ කියලා. පිංවත් ඔබ දුක්‌විඳල තමයි ඔය තැනට ආවේ. එය සම්පූර්ණ සත්‍යයක්. නමුත් මේ සියල්ලටම ඔබට, මට නොපෙනෙන ධර්මතාවයක් තිබෙනවා. හේතුඵල ධර්මයක්. ඒ පෙර ජීවිතයේදී ඔබ විසින් සකස්‌කොටගත් කුසල් සංස්‌කාරයන්ගේ ශක්‌තියයි. එම නිසා පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි කෘතගුණ දක්‌වන්න. ශීලය, දානය කෙරෙහි කෘතගුණ දක්‌වන්න. කෘතවේදී මනුෂ්‍යයෙක් වෙන්න. මිථ්‍යදෘෂ්ඨියට, දුෂ්ශීලභාවයට, මසුරු බවට ඔබේ ජීවිතය තුළින් ඉඩකඩ සලසා ඔබේ ජීවිතයට ඔබ ෙද්‍රd හිවෙන්න එපා. ගුණමකු වෙන්න එපා. ධර්ම මාර්ගය අර්ථවත්ව වඩමින් අතීතයේ ඔබ රැස්‌කළාවු කුසල් සංස්‌කාරයන්ගේ උපරිම ඵලය නෙලාගත් ඥානවන්ත උත්තමයෙක් වෙන්න. මේ භව ගමනේ සතර අපායන්හි කවදාකවත් අතරමං නොවන්න. මෙන්න මේ උතුම් අරමුණ උදෙසාමයි මේ ජීවිතය පිංවතුන්ලාට ලැබුණේ. එම නිසා අතීත මතකය මතක් කරගෙන ප්‍රමාදී නොවී අප්‍රමාදී වෙන්න. කුසල් අකුසල් සියලුම සංස්‌කාරයෝ අනිත්‍ය බවම සිතන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතයේදීම නිවන් අවබෝධයෙන් සැනසීම සඳහා, සතර අපායෙන් මිදීම සඳහා පිංවත් ඔබ කාරණා හතරකින් සම්පූර්ණ විය යුතුය කියලා. එම කාරණා හතර තමයි සද්ධාව, වීර්යය, හිරි ඔතප් කියන්නේ. හිරි ඔතප් කියන්නේ ශීලය. පිංවත් ඔබ ලැඡ්ජා බය දෙක සකස්‌කොට ගන්න ඕනේ. නැවත තිරිසන්, ප්‍රේත, අසුර, නිරයට නොවැටෙන්න. මෙතනදී තමයි ඔබ තුළ අයෝමය වීර්යය සකස්‌කරගත යුත්තේ. එසේ නොමැතිව පිංවත් ඔබ කාමච්ඡන්දයට යටවී 'මට පාරමී මදි', එසේත් නොමැතිනම් 'ලෝභ, ද්වේශ, මෝහ අඩු වූ ත්‍රිහේතුක ප්‍රතිසංධියක් ලබා ගන්න තව ගොඩාක් සසර යන්න තිබෙනවා' මෙවැනි කථා සද්ධාව වීර්යය මඳබවේ ප්‍රතිඵලයක් මිස ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අර්ථ දැක්‌වීම නම් නොවේ. නමුත් බුද්ධකාලීන සමහර සිදුවීම් තිබෙනවා පෙර අදහස් සනාථ කර දක්‌වන්න. මෙහිදී අප නිහතමානීව දකින්න ඕනේ අප තුළ සද්ධාව, වීර්යය, හිරි ඔතප් හීන නිසාමයි ඉහත නිදහසට කාරණා සොයන්නේ කියලා. අප විසින් නිදහස උදෙසා පෙළගස්‌වන ඉහත කාරණා අපේ කෙලෙස්‌වල දිග පළල මිස ධර්මයේ සන්දිඨික ගුණයේ වරදක් නම් නොවේ. හිස ගිනිගත්තෙක් එම ගින්න නිවන්න වෙහෙස ගන්නේ යම්සේද මේ භවගින්නෙන් මිදීමට එපමණටම වෙහෙස ගන්න යෑයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, භවයේ තව දුරටත් සැරිසැරීම අනතුරුදායක බව කියාදීමටය. එම සිතුවිල්ල තුළ ඇති දුක් ගින්දර කෙරෙහි බිය ඇති කරගන්න. ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකොට ගන්න. ඔබ තුළ නැති වීර්යය එවිට ඇති වේවි සිත නැමති මාරධර්මය විනිවිද දැකීමට.
ඉන්ද්‍රජිත් සුබසිංහ
දිවයින ඉරිදා සංග්‍රහයේ පළවන ලිපි පෙළ ඇසුරින් උපුටා ගන්නා ලදී 2012-07-29
"සතර අපායෙන් මිදෙමු" 2 කොටස (VI)
සංස්‌කාරයන්ට අනුව ජීවිතය නොදැක්‌කොත්....?
පිංවත් ඔබ සැවොම පිංකම් කිරීම සදහා බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. නමුත් සමාජයේ ජීවත්වන තවත් පිරිසක් සිටිනවා ඒ අය පිංකම් කිරීම කෙරෙහි එතරම් වෙහෙසක් ගන්නේ නැහැ. එම පිංවතුන් කල්පනා කරනවා අපි කාටවත් වැරදි කරන්නේ නැහැ. අපි පව් වැඩ කරන්නෙ නැහැ. එම නිසා අපට පිං කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. එහෙම කියන ගමන් ඒ අය ප්‍රකාශ කරනවා පව් කරන අයයි පිංකළ යුත්තේ කියලා. මතුපිටින් මේ අදහස් බැලුවහම එකිනෙකට බොහෝම හොඳින් ගැලපෙනවා. නමුත් මෙවැනි දෘෂ්ඨි තුළ සැගවී ඇති සතුරා තමයි මිත්‍යාදෘෂ්ඨිය. පිංවත් ඔබේ ජීවිතය දෙස හොඳින් හැරී බලන්න. යහපත් අම්මා, තාත්තලාට දාව බෞද්ධ පරිසරයක ඉපදිලා ඔබට හතරුකම් කරන දෘෂ්ඨීන් වලට යටවීම තුළින් මේ මනුෂ්‍ය ජීවිතයට ඔබ මොනතරම් සතුරු කමක්‌ද සිදුකර ගන්නේ.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි කියලා. සංස්‌කාරයෝ කියන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන්නාවූ කාය, වචී, මනෝ සංස්‌කාර. කයින්, වචනයෙන්, මනසින් සිදුවෙන්නාවු කුසල් සහ අකුසල්. ඒ කියන්නේ පිංවතුන් සිදුකළා වුද සිදුකරගන්නාවූද සියළුම කුසල් සහ අකුසල් සංස්‌කාර විපාකදී අවසන් වන බවයි. අති බහුතරයක් මිත්‍යදෘෂ්ඨික මිනිසුන් ජීවත්වන ලොවක පිංවත් ඔබට මේ අර්ථවත් බෞද්ධයෙක් ලෙස ජීවිතයක් ලැබුණේ කුසල් සංස්‌කාරයන් නිසා. ඇස් අන්ධ, කන් බිහිරි, දිව ගොළු, අංග විකල මිනිසුන්ගෙන් ගහන ලොවක අංග සම්පූර්ණ මනුෂ්‍ය ශරීරයක් ලැබුණේ කුසල් සංස්‌කාරයන් නිසා. විරූපී මිනිසුන් ජීවත් වන ලොවක පිංවත් ඔබට අනුන්ගේ සිත් වසඟ කරන රූපයක් ලැබුණේ, රෝගී මිනිසුන් බහුල ලෝකයක පිංවත් ඔබට නිරෝගී ජීවිතයක් ලැබුණේ අතීත කුසල් සංස්‌කාර නිසා. පිංවත් ඔබට යහපත් සමාජ තත්වයක්, යහපත් දෙමාපියන්, ඥාතීන්, බිරිදක්, සැමියෙක්, දරුවෙක් ලැබුණේ අතීත කුසල් සංස්‌කාර නිසා. පිංවත් ඔබ මගේ කොටගෙන සතුටු වෙන සියල්ල ඔබට අතීතයේ රැස්‌කළාවූ සංස්‌කාරයන්ගේ ප්‍රතිඵලයි. මේ ඇස ඔබට ලැබුණේa කුසල් සංස්‌කාරයක් නිසා. දැන් ක්‍රමක්‍රමයෙන් ඔය ඇස ගෙවී යනවා. මේ මුළු ශරීරයේම ස්‌වභාවය එයයි. මේ අංගසම්පූර්ණ ශරීරය ඔබට ලැබුනේ කුසල් සංස්‌කාරයන් නිසා. සංස්‌කාරයන්ගේ ස්‌වභාවය අනිත්‍යයයි. එම නිසා ගිහි පිංවත් ඔබ නැවත නැවත රැස්‌කළ යුතුයි. පිංවත් ඔබට යහපත් බිරිඳක් ලැබිලා තිබෙනවා. ඇය ඔබට බොහෝම කීකරුයි. දුක සැප බෙදා ගනිමින් ජීවත් වෙනවා. මේ බිරිඳ ඔබට ලැබුණේ කුසල් සංස්‌කාරයක් නිසා. හොඳයි ඔබට නිරතුරුවම පීඩාදෙන වධක භාර්යාවක් ලැබුණේනම් බිරිඳගෙන් ලැබෙන සතුට තිබෙනවාද? නැහැ. එහෙනම් ඔබට රණ්‌ඩුවෙන්න, පොලීසි යන්න, දික්‌කසාද වෙන්න..... ප්‍රශ්ණ ගොඩක් මුණගැසෙනවා. එය අකුසල් සංස්‌කාර නිසා සිදුවන්නක්. මේ දුක සහ සැප දෙකටම හේතුව අතීත කුසල් සහ අකුසල් සංස්‌කාරයන්මයි. එසේ නැතිව හඳහනේ වරදවත්, කපු මහතාගේ වරදවත් නොවේ. ඔබම අතීතයේ රැස්‌කළාවූ කුසල් අකුසල් වල ප්‍රතිඵලයි.
ඔබට සැප ලබාදෙන කුසල් සංස්‌කාරයන් මෙන්ම දුක ලබාදෙන අකුසල් සංස්‌කාරයන්ද විපාක දී අවසන් වෙනවා. ඔබ මේ ජීවිතයේදී සැප ලබනවාය කියන්නේ ඔබම රැස්‌කරපු දෙය ගෙවෙනවාය කියන කාරණයයි. එම සැප ලබන්න ලබන්න ඒවා (කුසල් සංස්‌කාරයන්) ක්‍ෂයවී යනවා. ක්‍ෂය වන දෙය ඔබ නැවත නැවත රැස්‌කළ යුතුයි. එසේ නැතිවුවහොත් නැවත ලබන ජීවිතයේදී ඔබ හීන, දීන භාවයට පත්වෙනවා. එබැවින් "අපි පව් කරන්නේ නැති නිසා පිං කරන්න අවශ්‍ය නැහැ" ය කියන මුසාවාදය, මිත්‍යාදෘෂ්ඨිය ගැන පිංවත් ඔබ පරෙස්‌සම් වන්න. නැවත නැවත පිංකම් සිදුකරමින් ගෙවී යන කුසල් සංස්‌කාරයන් තව තව වඩවා ගන්න. පිංවත් ඔබ අත්විඳින්නා වූ අකුසල් සංස්‌කාරයන්ගේ විපාකයන්ද, දුකද නැවත නැවත පිංකම් සිදුකරමින් රැස්‌කරන්නාවූ කුසල් සංස්‌කාරයන්ගේ ශක්‌තියෙන් යටපත් කර නැගී සිටින්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ මොහොතේ පිංවත් ඔබගේ දෑසින් කඳුලක් ගලනවා නම්, ඒ ඔබ පෙර ජීවිතයේදී අනුන්ගේ ජීවිතයකට කඳුලක් දුන් නිසාමයි කියලා. ඔබ මේ මොහොතේදී සතුටින් සිනාසෙන්නේ නම් ඒ පෙර ජීවිතයේදී ඔබ අනුන්ට සතුටක් දුන් නිසාමයි කියලා. එසේ නම් පිංවත් ඔබගේ සිනහවටත් කඳුලටත් හේතුව ඔබගේ අතීත සංස්‌කාරයෙන්ගේ ඵලයයි. මෙසේ විවේකීව, හේතුඵල ධර්මයන්ට අනුව ජීවිතය දකින්න. මේ දැකීම ඔබට අත්‍යවශ්‍යයි, ධර්මය කෙරෙහි අචල සද්ධාව සකස්‌කර ගන්න. මේ ධර්මතාවයන් ගැන විශ්වාසයක් නැති මනුෂ්‍යයා නැවත මනුෂ්‍ය ජීවිතයක් ලැබූවත් මිත්‍යදෘෂ්ඨික භාවයට පත්වෙනවා. ඊට අමතරව කර්මය කර්මඵල ගැන විශ්වාසයක් නැති නිසා, දානය කෙරෙහි ඇති උදාසීනභාවය නිසා දුප්පත්වෙලයි උපත ලබන්නේ. මෙහෙම උපතක් සකස්‌කරගත් මනුෂ්‍යයෙක් ගැනයි පහත සටහන.
මොහු මධ්‍යම පංතික ජීවිතයක් ගතකළ මහත්මයෙක්. විවාහවෙලා දරු මුණුබුරන් සිටියා. මොහු කවදාවත් සිල් සමාදන්වුණේ නැහැ. දන් දෙන්න ගියේ නැහැ. මොහුගේ දර්ශණය වුනේ "මම වැරදි කරන්නේ නැහැ. එම නිසා මට පිං කිරීමට අවශ්‍යතාවයක් නැහැ" කියන එකයි. මේ කෙනා මනුෂ්‍යයන්ට උපකාර කළා. ඒත් කර්මය කර්මඵල ගැන විශ්වාසයෙන් නොවෙයි. එම නිසා ඔහු කළ යහපත් දේවල් හුදු ඒ මොහොතේ සතුට ලැබූ ක්‍රියාවන් පමණක් වුණා. මේ මනුෂ්‍යයා අවුරුදු 65 ක් පමණ ජීවත්වී මියයනවා. මොහුගේ මරණින් පසුව භික්‍ෂුවක් උතුම් සමාධියෙන් අරමුණුකර බලනවා මොහු කිනම් තැනක නැවත උපත සකස්‌කරගත්තාද කියලා. එවිට භික්‍ෂුවට දර්ශනය වන්නේ දුප්පත් පැල්පතක උපත ලබා සිටින කළු පැහැති දරුවෙක්. පෙනුමෙන් භික්‍ෂුව අනුමාන කළේ ඒ ද්‍රවිඩ දරුවෙක් බවයි. ඒ කියන්නේ මේ මනුෂ්‍යයා තමන් අකීකරුභාවයෙන් ගත් දෘෂ්ඨිය නිසා සම්මා සම්බුද්ධ ශාසනය අහිමිකරගත් බවයි. දැන් මොහු මිත්‍යාදෘෂ්ඨිකභාවයට පත්වී අවසන්. මේ විනාශයෙන් මොහු කවදා ගොඩ එන්නද? එය දැන් සිහිනයක් පමණයි. මේ සා අර්ථවත් වටිනා දහමක හිමිකරුවෙක්‌ව ඉපදිලා, තම තමන්ට ඕනෑ ආකාරයට ධර්මය ගලපාගැනීමට යාම නිසා මොහු සම්මා සම්බුද්ධ ශාසනය අහිමිකර ගත්තා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනාකර වදාළ ධර්මය පිංවත් ඔබ විසින් ඔබේ දෘෂ්ඨීන්ට අනුව අර්ථ දක්‌වන්න යන්න එපා. එහෙම වුණොත් එහි විපාකය ඔබට ශාසනය අහිමිවී මිත්‍යාදෘෂ්ඨිකභාවයට පත්වීමයි.
පිංවත් ඔබට පෙනෙනවා ශාසනයේ අර්ථයන් බෙහොම වේගයෙන් අතුරුදන් වෙමින් යන ස්‌වභාවය. ධර්මයේ සන්දිට්‌ඨික ගුණය ගැන වර්තමානයේ බොහොම අඩුවෙනුයි කථා කරන්නේ. ධර්මයේ අර්ථය වන චතුරාර්ය සත්‍යය ධර්මයේ මුල්ම ආර්ය සත්‍යය වන "දුක" වෙනුවට "සැප" කියන කාරණය දකින්න කැමැති ප්‍රවණතාවක් සමාජය තුළ තිබෙනවා. මේ ප්‍රවණතාවය වැඩිවෙන්න වැඩිවෙන්න අපි මොකක්‌ද ලෝකය තුළ දකින්නේ? ඒ මිත්‍යාදෘෂ්ඨිකභාවය වැඩිවීම. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තොරව දෘෂ්ඨීන්, මතවාද කරපින්නාගත් බෞද්ධයන්ගේ වැඩිවීම. මේවා කම්පාවිය යුතු දේවල් නොවේ. හේතුඵල ධර්මයන්මය. ධර්මයේ සැබෑ අර්ථයට පිටුපාන සම්බුද්ධ දේශනාවන් වැරදි ආකාරයට අර්ථ දක්‌වන කිසිම ගිහි පැවිදි පිංවතකුට මේ ජීවිතයෙන් පසු ශාසනයේ රැකවරණය උරුමවෙන්නේ නැහැ. මිත්‍යදෘෂ්ඨිකභාවයේ අඳුර රැඳි භව ගින්දරයි උරුම වෙන්නේ. පිංවත් ඔබ ධර්මයේ අර්ථයෙන් ඈත්වෙන්න ඈත්වෙන්න ලෝකයේ මිත්‍යාදෘෂ්ඨිකභාවය වැඩිවෙනවා. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් යුත් බෞද්ධයන් අඩුවෙනවා. සමහර පිංවතුන් බොහෝම වේදනාවෙන් කථා කරනවා සිංහල බෞද්ධ අම්මලා දරුවන් උපරිම දරුවන් දෙදෙනයි හදන්නේ. මුස්‌ලිම් ද්‍රවිඩ අම්මලා දරුවන් ගොඩක් හදනවා කියලා. මේ හේතුවෙන් බෞද්ධයන් අඩුවීගෙන යනවා කියලා. පිංවත් ඔබ කලබල වෙන්න එපා. මේවා හේතුඵල ධර්මයන්. ඔය සෑම ද්‍රවිඩ, මුස්‌ලිම් අම්මා කෙනෙකුගේම කුසේ උපදින්නේ, මේ උතුම් සද්ධර්මයේ අර්ථයන්ට පිටුපෑ දෘෂ්ඨි, මතවදා නිසා ශාසනය අහිමිකරගත් බෞද්ධයන්මයි. ඉහත කරුණු කාරණා පිංවත් ඔබ ධර්මානුකූලව නොසිතා, දෘෂ්ඨිගතව සිතන්නට ගියොත්, ඒ හේතුවෙන් ද්වේෂය සකස්‌කර ගතහොත් පිංවත් ඔබටද මීළඟ උරුමය එවැනි මව්කුසක් වීමට පුළුවන්.
ලෝකය ලෝකයේ ස්‌වභාවයෙන් පවතීවී. පිංවත් ඔබ ධර්මයේ ස්‌වභාවයට එන්න. ඔබ තෙරුවන් සරණ ගිය උපාසක, උපාසිකාවක් වෙන්න. කර්මය කර්මඵල විශ්වාසයෙන් ජීවිතය දකින්න. එවිට ඔබට පුළුවන් සිංහල, දෙමළ, මුස්‌ලිම්, බෞද්ධ, ක්‍රිස්‌තියානි සෑම මව්කුසක්‌ම දුක බව දකින්න. ලෝකය අනතුරුදායකයි. බොහෝම පරෙස්‌සමෙන් පරිහරණය කරන්න. ලෝකය යනු පංචඋපාදානස්‌කන්ධයම බව දකින්න. මේ මොහොතේ ජාතිය සිංහල, ආගම බුද්ධාගම සහිත උප්පැන්න සහතික හිමි ඔබ එහි අර්ථයන් නොගැලපෙන ආකාරයට දෘෂ්ඨිගත වුවහොත් ඔබ මියගොස් හරියටම මාස 9 කට පසු ජාතිය ආගම හින්දු, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි යෑයි සඳහන් උප්පැන්න සහතිකයක හිමිකරුවෙක් වීමට ඔබට හැකිය. මේ සියල්ල සංස්‌කාරයන්ගේ හේතුඵල ධර්මයන්ය. කොතැනකවත් වරදක් නොමැත. ඔබට වැරදුණිද ධර්මයට වරදින්නේ නැත. ධර්මයට බෞද්ධ, ක්‍රිස්‌තියානි, හින්දු, මුස්‌ලිම් භේදයක් නොමැත. සංස්‌කාරයන්ගේ ස්‌වභාවය මත තීන්දුව ලබාදීම ධර්මයේ අර්ථයයි. එහෙත් මේ උතුම් මොහොතේ පිංවත් බෞද්ධ ඔබට අන් සියල්ලන්ටම වඩා ආශ්චර්යමත් භාග්‍යයක් ඇත. ඒ සම්මා සම්බුද්ධ ඥාණයෙන් තුන් ලෝකය අවබෝධකොට වදාල උතුම් ශාස්‌තෘන්වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මයේ උරුමය ලැබීමයි.
මුළු ලෝකයම එක ගොඩකට දමා ඔබ බුදුරජාණන් වහන්සේගේ ගොඩට විත් ලෝකය දකින්න.
ලෝකය විසින් දකින ලෝකය හුඟාක් සංකීර්ණයි. එම ලෝකය තුළ බෞද්ධ, හින්දු, ක්‍රිස්‌තියානි, මුස්‌ලිම්.... පිං, පව්, හොඳ, නරක, සාමය, යුද්ධය..... මේ සියල්ලම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකය මීට වඩා හුඟාක් සරළයි. චතුරාර්ය සත්‍ය ධර්මය ගත්තත්, පටිච්ජසමුප්පාද ධර්මය ගත්තත් අවිද්‍යාව විසින් සංකීර්ණභාවයට පත්කර ඇති ලෝකය බොහෝම සරළ තැනකට ගෙනෙනවා. තෘෂ්ණාව කියන එකම කාරණය නිසා ලෝකය අල්ලාගන්නා ස්‌වභාවයත්, තෘෂ්ණාව කියන එකම කාරණය ප්‍රහානය කිරීමෙන් ලෝකයෙන් මිදෙන ස්‌වභාවයත් බොහෝම අර්ථවත්ව දේශනා කර තිබෙනවා. පිංවත් ඔබ තෘෂ්ණාව කියන කාරණයෙන් මුළු ලෝකයටම බැඳී සිටියත්, එම ලෝකය කියන සංකීර්ණ කාරණය බුදුරජාණන් වහන්සේ ඔබ තුළින්ම සකස්‌වෙන රූප, වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ කියනා කරුණු පහ තුළට ගේනවා. මුළු ලෝකයේම ක්‍රියාකාරීත්වය පංචඋපාදානස්‌කන්ධය තුළට ගේනවා.
ඉන්ද්‍රජිත් සුබසිංහ
දිවයින ඉරිදා සංග්‍රහයේ පළවන ලිපි පෙළ ඇසුරින් උපුටා ගන්නා ලදී 2012-07-22
'සතර අපායෙන් මිදෙමු' 2 කොටස (v)
දුක මරන්න නැතිනම් ඔබ මැරුණත් දුක නොමැරෙයි
භික්‍ෂුවට ඇසෙනවා සර සර ගාන හඬක්. ඒ හඬ නිතරම ඇසෙන්නේ කුටිය අසල ගැවසෙන තලගොයාගෙන්. එම සතා නිතරම වියළි කොළ වැටුණු පොළවට ඉව කරමින් කෑම සොයනවා. පොළව හාරන සෑම තැනකින්ම අනිවාර්යෙන්ම ගැඩවිල් පණුවෙක්, පත්තෑයෙක්, ගෝනුස්‌සෙක් ඩැහැගන්නවා. තලගොයා මේ සෑම සතෙක්‌ම මරාගෙන කන්නේ මරණීය ෙච්තනාවක් ඇතිකරගෙනමයි. මේ තලගොයා තුළත් මනුස්‌සයාට වගේම පංචඋපාදන්ස්‌කන්ධයක් සකස්‌වෙනවා. නමුත් මේ සතා මේ ධර්මතාවයන් ගැන දන්නේ නැහැ. ඔහු ප්‍රමාදයට පත්වෙලා. කුමක් නිසාද මේ ප්‍රමාදභාවය සකස්‌වුණේ. පෙර ජීවිතයේ ශීලයේ දුර්වලතාවය නිසාමයි. මේ සතාට කර්මය කරමඵල විශ්වාසය නැහැ. නමුත් මරණීය ෙච්තනාව සකස් වෙනවා. තලගොයා ගිල දමන සෑම සතෙක් පාසාම තලගොයාට ප්‍රාණඝාත අකුසලය සිද්ධවෙනවා. ඒ වගේමයි තලගොයාට ගොදුරුවී මියයන සෑම සතෙක්‌ටම එම සතා කළාවූ අකුසලයක් විපාක දෙනවා. කෙනෙක් අකුසල් සංස්‌කාරයන් උපද්දවා ගන්නකොට තව කෙනෙක් අකුසල් සංස්‌කාර ගෙවනවා. මේකට තමයි ලෝකය කියන්නේ. කෙනෙක් උපද්දවනවා තව කෙනෙක් ගෙවනවා. කඳුළ සිනහව දෝලනය වන ලොවක අපි සැපම සොයනවා.
මේ තලගොයාම පෙර ජීවිතයේ මනුෂ්‍යයෙක් වශයෙන් ඉපදිලා සිටියදී තේරුම් නොගත් දෙය තලගොයෙක් වෙලා කෙසේනම් තේරුම් ගන්නද? මේ තලගොයා තව කල්ප ගණනාවක්‌ම අකුසල් කරමින්ද කළාවූ අකුසල්වලට විපාක විඳිමින්ද භවයේ ගමන් කරනු ඇත. මේ තලගොයාගේ ජීවිතය තුළ සැඟවී ඇති භවගමනේ අන්තරාකාරී බව ඔබ නුවණින් මෙනෙහි කිරීමට දක්‌ෂ වුවහොත් එය ඔබට මේ ජීවිතයේදීම සතර අපායෙන් මිදීමට අවබෝධය සකස් කරනු ඇත.
පිංවතුන්ලා මුලින්ම කරන්නට යන්නේ භාවනා කිරීම. ඔතනදී තමයි අපි වරද්දගන්නේ. මුල්ම කාරණය ලෙසින් තෙරුවන් කෙරෙහි සද්ධාව ඇතිකරගන්න. දෙවැනිව ශීලයක් ආරක්‌ෂා කරගන්න. මේ කාරණා දෙක පරිපූර්ණ නැතිව විදර්ශණා භාවනාවක්, සමථ භාවනාවක් වැඩෙන්නේ නැහැ. නිසියාකාරව තෙරුවන් කෙරෙහි සද්ධාව තූළින්, ශීලය තුළින් පිංවත් ඔබ පිරිසිදුභාවයට පත්වෙලා ඕනේ භාවනාවකට යොමුවෙන්න. ඔබ තුළ ඒ පිරිසිදුභාවය සකස්‌වෙලා නැතිනම් භාවනාවක් වැඩෙන්නේ නැහැ. භාවනාව නාමයෙන් සක්‌කායදිට්‌ඨියමයි, මාන්නයමයි වැඩෙන්නේ.
මෙතැන ප්‍රශ්නය වෙලා තිබෙන්නේ පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවේ පිහිටීම කියන කාරණය නිවැරුදි අර්ථය තේරුම් අරගෙන නැහැ. භික්‍ෂුව දන්න භාවනා උපදේශක මහත්මයෙක් සිsටියා. ඔහු විශාල පිරිසකට භාවනා පංති පවත්වන භාවනා ගුරුවරයෙක්. මේ භාවනා ගුරුවරයා බාහිරට නොපෙනෙන්න උදරය හරහා සුදු නූලක් (ආරක්‌ෂාවක්) දමාගෙනයි සිටින්නේ. භික්‍ෂුව ඔහුගෙන් ඇසුවා ඇයි ඔබ ඔය ශරීරයට සුදු නූලක් දමාගෙන ඉන්නේ කියලා. මේ භාවනා ගුරුවරයා කියනවා 'මට හරියට සතුරු කරදර තිබෙනවා. ඒකට ආරක්‍ෂාවක් කරලයි මේ නූල දැම්මේ' කියලා. බලන්න මේ භාවනා ගුරුවරයා අඩුම වශයෙන් තෙරුවන් කෙරෙහි සද්ධාවවත් ඇතිකෙනෙක් නොවේ. මොහු රැවටීම තුළයි ජීවත්වෙන්නේ. අවංකවම මොහු දන්නේ නැහැ මොහු තුළ සද්ධාව පිහිටල නැහැ කියන එකවත්. එය හරිම අවාසනාවක්. ඔහුත් රැවටිලා තම ගෝලයනුත් රවට්‌ටලා. සසර මෙතුවක් කලක් අපට වැරදුන ලොකුම තැන තමයි තෙරුවන් කෙරෙහි සද්ධාවේ සැබෑම අර්ථය හඳුනා නොගත් කාරණය. යමෙක් අන්‍යශීලවෘත වලට ගරුකරනවා නම්, මිථ්‍යාදෘෂ්ටික මාර්ගය ඔස්‌සේ ආරක්‌ෂාව බලාපොරොත්තු වෙනවානම්, තෙරුවන්ගේ ගුණයන් කෙරෙහි විචිකිච්චාව ඇතිකරගෙන තිබෙනවා නම්,ඔවුන් ගිහිපැවිදි කවුරුන් වුවද තවමත් තෙරුවන් කෙරෙහි සද්ධාවට පැමිණ නැති බව, තමා කෙරෙහි අනුකම්පාවෙන් තමාම පිළිගත යුතුය. ඔබ තුළ ඇත්තේ අමූලිකාසද්ධාවකි. මෝහය මුසු, නිරතුරුවම අභියෝග හමුවේ වෙනස්‌වන සද්ධාවකි. සමාජය පුරා යන්ත්‍ර මන්ත්‍ර, හදිහූනියම්, කේන්ද්‍ර, ගුරුකම් ව්‍යාපාරයක් කරගනිමින් ජීවත්වෙන, ඒවායේ ප්‍රතිලාභයක් ලබන ලක්‍ෂ කීයක් ඉන්නවාද? ඒ සෑම දෙනෙක්‌ම ඉහත අභියෝගය තුළ ජීවත්වන බව සද්ධර්මයේ නාමයෙන් සටහන් කළ යුතුව ඇත.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සුත්‍රදේශනා කියවීමෙන් ඉහත කාරණය ගැන නිවරැදි වැටහීමක් ලබාගත හැකිය. නමුත් මේ නිවරැදි භාවයට පත්වීම ලෝකයේ ඇති දුර්ලභම දෙයක් වනු ඇත. මේ උතුම් ශාසනයක් මුණගැසුණ මොහොතේ එවන් දුර්ලභ මනුෂ්‍යයෙක් වීමට පිංවත් ඔබත් උත්සහ ගන්න. තෙරුවන් කෙරෙහි සද්ධාවට පැමිණීමට පිංවත් ඔබ අන්‍ය ශීලවෘතයන් කෙරෙහි, මිථ්‍යාදෘෂ්ටික ක්‍රමවේදය කෙරෙහි ඇති බැඳීම් වලින් වහා වහා මිදෙන්න. තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන්, ශිල්වත් භාවයෙන්, මෛත්‍රීයෙන්, දානය තුළින්ම, සතුරු කරදර මඟහරවා ගන්න. ජීවිතය ඉදිරියට පැමිණෙන ප්‍රශ්aන කම්කටොළු සංස්‌කාරයන්ගේම ස්‌වභාවයක් හැටියට දැකීමටත්, ඒවාම කමටහන් කොටගෙන ලෝකය කෙරෙහි අවබෝධයෙන් කලකිරීමටත් උත්සහගන්න. මෙය සටහන් තබන භික්‍ෂුවට ගිහි ජීවිතයේදී විඳීමට සිදුවුණ ප්‍රශ්න, බලාපොරොත්තු කඩවීම්, දුක් කම්කටොළුවල ජයග්‍රාහී ඵලය මේ භික්‍ෂූත්වය බව ඔබට සිහිපත් කරමි. ප්‍රශ්න අපේ ජීවිතය ඉදිරියට එන්නේ එම ප්‍රශ්aන අපේ ජීවිතයට ආශිර්වාදයක් කරගන්නමයි. එම නිසා ප්‍රශ්ණ තුළින් ධර්මයේ යථාර්ථය දකින්න. ජීවිතය කියන්නේ පිළිතුරු සොයා නොගත් ප්‍රශ්නයක්. එහෙමනම් ප්‍රශ්නවලින් මිදෙන්න ඔබට බැහැ. ජාතිය කෙටිකරගන්න දිශාවටයි ඔබ ගමන් කරන්නේ. ජීවිතය ඉදිරියට පැමිsණි ප්‍රශ්න නිසා මේ භික්‍ෂුව ගිහි ජීවිතයේදී කොච්චරනම් ලෝකයට හොරෙන් තනිවම හඬලා ඇතිද? පැය ගණන්, දවස් ගණන් හිස කකියන තුරාවට කල්පනා කරලා ඇතිද? දේවාල කෝවිල් වලට කොච්චර යන්න ඇතිද? මේවා සටහන් තබන්න භික්‍ෂූවට ලැඡ්ජාවක් නැහැ. නමුත් මේ කිසිවකින් ප්‍රශ්නයට පිළිතුරක් නොලැබෙනකොට මම අවසානයේ ගියේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හමුවට. උන්වහන්සේ දේශනා කර වදාළ ධර්මරත්නය හමුවට. එතැනදියි මම අවබෝධකර ගත්තේ දුක කියන්නේත්, සැප කියන්නෙත් මට අයිති දෙයක් නොවන බව. මගේ වසඟයේ තබාගත හැකි දෙයක් නොවන බව. හේතුවක් නිසා සකස් වෙන දෙයක් බව. තෘෂ්ණාවමයි හේතුවුණේ දුකට. රූපයට ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න. දුක එතකොට මැරිල යාවි. තෘෂ්ණාව නොමැරුණොත් ඔබ මැරුණත් දුක ඔබේ පසුපසින් ඒවි. දුක ඇති තැන තෘෂ්ණාවයි ඔබ අවබෝධ කරගත යුත්තේ. දුක කියන්නේ අවබෝධ කිරීමෙන් පමණක් නැති කළ හැකි දෙයක්‌මයි.
ඉන්ද්‍රජිත් සුබසිංහ
දිවයින ඉරිදා සංග්‍රහයේ පළවන ලිපි පෙළ ඇසුරින් උපුටා ගන්නා ලදී 2012-07-15
'සතර අපායෙන් මිදෙමු' 2 කොටස (IV)
ග්‍රහයන්ගේ ග්‍රහණයට හසු වූ අසරණයන්ට..
මේ දවස්‌වල භික්‍ෂුව වැඩ සිටින කුටිය අවට තිබෙන පළු ගස් කැලයේ පළු ගෙඩි හට අරගෙන මුළු පළුයායම කහ පාටින් පෙනෙන්නේ. වෙසක් මාසයේ සෞම්‍ය දේශගුණයත් එක්‌ක සෑම සතා සිව්පාවෙක්‌ටම හොඳහැටි ආහාර තිබෙනවා. භික්‍ෂුවගේ කුටිය වටේ තිබෙන වැලිමළුව නිතරම අපවිත්‍ර වෙලා තිබෙන්නේ. වැලි පොළවට වැටෙන පළුගෙඩි කන්න හරක් නිතරම වැලි මළුවට එනවා. හරක් කුර සටහන්වලින් වැලිපොළව අපවිත්‍ර වෙලා. දැන් වෙලාව උදෑසන හයට විතර ඇති. භික්‍ෂුව කුටියේ බිම අතුගාන කොට හරක් කීපදෙනෙක්‌ම වැලිමළුවේ පළුගෙඩි කනවා. වැලි මළුව හොඳටම අපවිත්‍ර වෙලා. හරක් ටික දැක්‌ක ගමන් භික්‍ෂුවට එක පාරටම කියවුණේ 'පුතේ කරදර නොකර ඉක්‌මනට කාලා යන්න' කියලා. කාටද මේ 'පුතේ' කියලා කියවුණේ? මිදුලේ සිටි හරකුන්ට. මේ හරක් සංසාරයේ කොච්චර නම් මා සමඟ එකම අම්මාගේ, තාත්තාගේ දරුවෝ වෙලා ඉන්න ඇතිද? සංසාරයේ හේතුඵල ධර්මයක් නිසාම ඉපදිලා එක පිඟානේ බත් කන්නට ඇතිද? එකට ගුලිවෙලා කොච්චර නම් දුකට හඬන්නට ඇතිද? සතුටට සිනාවෙන්න ඇතිද? ඔබත් මමත් අතර තිබෙන වෙනස පුතේ, සංස්‌කාරයන්ගේ වෙනස පමණයි. මේ දැක්‌ම තුළ ඉඳගෙන තමයි මහා සංඝරත්නයේ කරුණාව, මෛත්‍රිය ලෝකයට පැතිරෙන්නේ. සෑම සත්වයෙක් කෙරෙහිම 'මම ලෝකය හඳුනාගත්තාය, ඔබ ලෝකය හඳුනා නොගත්තාය' කියන අනුකම්පාව මත සිටිමිනුයි මහා සංඝරත්නය ලෝකය දකින්නේ. මේ අනුකම්පාව සකස්‌වෙන්නේ සසර දිග, සසර ගැඹුර, සසර දුක ගැන අවබෝධය තුළිනුයි.
මේ සටහන් තබන වේලාවේ භික්‍ෂුවට මතකයට එනවා එක්‌තරා ආරණ්‍යයකදී තරුණ සාමණේර හිමිනමකට 'පුතේ' කියන වචනයෙන් ඇමතුවාය කියලා එක් ගුණවන්ත වැඩිහිටි ස්‌වාමීන්වහන්සේ නමක් අවවාද කළ කාරණය. මේ සියල්ලම තුළ අපි දකින්නේ ලෝකයයි. ලෝකය වසාගෙන පැතිරෙන විවිධත්වයයි. සංඝ සමාජයේ පැවැත්ම උදෙසාම තමාට වඩා පැවිද්දෙන් අඩු ස්‌වාමීන්වහන්සේ නමකට 'ආයුෂ්මතුන්' නමින් හැඳින්වීම නිවැරදි බව භික්‍ෂුවත් පිළිගන්නවා. පසුව එම වරද භික්‍ෂුව නිවැරදි කරගත්තා. එහෙත් මොකක්‌දෝ හේතුවක් නිසාම ඉන් ඔබ්බට ගිය කරුණාවක්, මෛත්‍රියක් මහා සංඝරත්නයේ ජීවිතය තුළ තිබෙනවා. තමන්ගේ කුටියේ වැලිමළුව අපවිත්‍ර කරන එළදෙනත් දරුවෙක් හැටියට දකින්න වෙන දවසක් අපට ඉදිරියට එනවා. අන්න එතැනට යන්නයි පිංවත් ඔබ මේ ධර්ම මාර්ගයේ පෙරට යන්නේ. නමුත් පිංවත් ඔබම සිතන්න, අවංකවම ඔබට පුළුවන්ද යාබද නිවසේ සිටින අසල්වැසියාව මිතුරෙක් හැටියට දකින්න? ඔබට එය එහෙම දකින්න බැරිනම් මුලින්ම ඔබ එතැනින් පටන්ගන්න. අසල්වැසියාව මිතුරෙක් බවට පත්කරගන්න. අසල්වැසියා මොනතරම් අකීකරු වුවද ඒ අකීකරු බවේ තරමටම ඔබ උපේක්‍ෂාව තුළට එන්න. පිංවත් ඔබ මේ වෙහෙසෙන්නේ ඔබ උදෙසා මිස අනුන් උදෙසා නොවේ. අනුන්ගේ අකීකරුභාවය ඔබ, ඔබේ ජයග්‍රහණය සඳහා උපයෝගී කරගන්න.
අද නැකත් දවසක්. ඒ කියන්නේ සුබ දවසක්. භික්‍ෂුව උදෑසන පිණ්‌ඩපාතය වඩිනකොට, මෝටර් රථයක් වේගය බාලකොට භික්‍ෂුව අසලින් ගමන් කළා. භික්‍ෂුව එදෙස බලනකොට එය මංගල රථයක්. මලින් සරසලා. එහි මනමාල මහත්තයෙක් සිටියා. නැකත් බලලා, ඒ කියන්නේ සුබ දවසක් බලලා 'දුකක්' කැන්දාගෙන ගෙදරට එන්නයි මේ යන්නේ. භික්‍ෂුව එය දුකක් හැටියට දැක්‌කත් එම මනමාල මහත්තයා අද දවස දකින්නේ ජීවිතයේ ලස්‌සනම, වැදගත්ම දිනය හැටියටයි.
සම්බුදු දහමේදී නැකත් කියන කාරණය ප්‍රතික්‍ෂේප වෙනවා. යමෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් නම් ජීවත්වෙන්නේ, ශිලයට ජීවිතය තුළින් වටිනාකමක් ලබාදෙමින් නම් ජීවත්වෙන්නේ එම පිංවතාට සෑම දවසක්‌ම සුබ දවසක්, සෑම මොහොතක්‌ම සුබ මොහොතක් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එමනිසා පිංවත් ඔබ සුබ නැකත් සොයන්න හඳහන අරගෙන නැකත් බලන්න, සල්ලි වියදම් කරන්න අවශ්‍ය නැහැ. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ශීලයෙන් පිරිසිඳු නම් ඔබේ ජීවිතයම නැකතක්. හැම දවසක්‌ම ඔබට සුබ දවසක් බවට පත්වෙනවා. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටියදී ඔය රාහු කියන අසුරිඳු තමන්ගේ බලපුළුවන්කාරකමින් හිරු, ඒ කියන්නේ සූර්යාව ගිලගත්තා. මුළු ලෝකයම කළුවර වුණා. ඒ වෙලාවේ හිරුට අධිපති දෙවියෙක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේට දිව්‍ය ශ්‍රොත ඥානය ඔස්‌සේ ඇසුනා හිරුදෙවියන් තමන්ගෙන් පිහිට ආරක්‍ෂාව යදින බව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රාහු අසුරිඳුට ප්‍රකාශ කරනවා, 'මා සරණ ගිය, මා දහම් පුත් හිරු මුදව¾ කියලා. ඒ මොහොතේම වෙව්ලමින් රාහු අසුරිඳු හිරු දෙවියන්ව තම ග්‍රහණයෙන් මුදවා වේපචිතති අසුරිඳු වෙත පළායනවා. වේපචිතති අසුරිඳු රාහුගෙන් අහනවා 'ඇයි ඔබ හිරුව ග්‍රහණයෙන් මුදවා පළා පැමිණියේ' කියලා. ඒ වෙලාවේ රාහු කියනවා 'එසේ හිරු දෙවියන් මුදවා පළානොගියා නම් සම්බුද්ධ ආඥාව ඉටු නොකිරීම නිසා මගේ හිස සත්කඩකට පුපුරාවි' කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ සරණ හමුවේ රාහු පළාගිය ආකාරය. නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවේ ඇති හීනභාවය නිසාම අපි රාහුට බයේ, සෙනසුරුට බයේ, කේතුට බයේ මොනතරම් පුද පූජා, බලි තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර කරනවාද?
මේ සටහන් තබන භික්‍ෂුවගේ ජීවිතයේ සෑම මොහොතක්‌ම සුබ මොහොතක්, සෑම දවසක්‌ම සුබ දවසක්. කේන්දර නැකත් බලලා හෙම නොවෙයි. ඒවා අතහැරලා සැබෑම තෙරුවන් සරණේ සිත පිහිටවපු නිසා.
ජීවිතය ඉදිරියට කුමන කාරණයක් පැමිණියද එය භික්‍ෂුව දකින්නේ සංස්‌කාරයන්ගේ ඵලයක් වශයෙන්මයි. ඒ කියන්නේ මා විසින්ම, හේතුඵල ධර්මයන්ට අනුව සිදුකොටගත් කුසල් සහ අකුසල්වල ඵලයන් හැටියටයි. මෙතැන රාහු හෝ සෙනසුරු නැහැ. අපේ අකුසල්වල බලවත්භාවය නිසාම, තෙරුවන් සරණින් බැහැරට ගිය නිසාම, රාහු සෙනසුරු කේතු බලෙන්ම අපි අපේ හිස මතට දාගන්නවා. දැන් ඉතින් ජීවිතයම අපළයක්, හූනියමක්, එහෙම නැතිනම් කොඩිවිනයක්. තෙරුවන් සරණ අහිමිකරගත් තැනදී ජීවිතයම ප්‍රශ්න ගොඩක් තමයි.
තමන්ට තිබෙන ප්‍රශ්න ගොඩ මදිවට, තව ප්‍රශ්න ගොඩක් කරගහගන්න ගිය මනමාල මහත්තයාව භික්‍ෂුවට මතකයට නැගෙනකොට අතීතයේ සිදුවූ සිද්ධියක් මතකයට පැමිණියා. එදා භික්‍ෂුව ගිහියෙක්. වයස අවුරුදු 30ක් පමණ ඇති. එදා මම සතිඅන්ත පුවත්පතක මංගල දැන්වීමක් පළකළා. විවාහයක් සඳහා. එම දැන්වීමේ එකතැනක මෙහෙම සඳහන් කළා. 'නිහඬ විවාහයකට, ආගම දහමට කැමැති යුවතියක් සොයයි' කියලා. සති දෙකක් පමණ යනකොට විශාල පිළිතුරු ලිපි ගණනක් ලැබුණා. ඉන් තෝරාගත් ලිsපි කිහිපයකින් එකකට පිළිතුරු යෑව්වා. මා එහි සඳහන් කළේ, කිසිම විවාහ උත්සවයක් ගන්නේ නැහැ. විවාහය ලියාපදිංචි කරලා අපි අනුරාධපුරයට හෝ කතරගමට ගිහිල්ලා ආගමික කටයුතු කරලා ජීවිතය පටන්ගමු කියලා. ලිපිය අදාළ තැනැත්තියට යවලා සතියකට විතර පස්‌සේ මට පිළිතුරු ලිපියක් ලැබුණා ඇයගෙන්. එය දීර්ඝ ලිපියක්. එහි මුලින්ම මෙහෙම සඳහන් කර තිබුණා. 'ඔබ මහා චපල පිරිමියෙක්. ඔබ තරුණියකගේ බලාපොරොත්තු හඳුනන්නේ නැහැ. ගැහැණු දරුවෙක් වැඩිවියට පත්වුණ දවසේ ඇය බලාපොරොත්තුවක් ඇතිකරගන්නවා. ඒ තමයි ඇයගේ උතුම්ම බලාපොරොත්තුව. ජීවිතයේ එකම සිහිනය. ඒ සිහිනය තමයි, කවදාහරි දවසක නෑදෑයෝ වටකරගෙන මඟුල් සාරි ඇඳලා, පෝරුවට නැගලා, මුදු මාරුකරලා..... මේ සුන්දර සිහිනය හැමදාකම දරාගෙනයි තරුණියක් ජීවත්වෙන්නේ. තරුණියකගේ එම සිහිනය නොහඳුනන මනුෂ්‍යයෙක් ඔබ. ඔබ උත්සහගත්තේ තරුණියකගේ එම සිහිනය මරාදමන්නයි. ඔබගෙන් මෙයට පිළිතුරු ලිපියක්‌වත් බලාපොරොත්තු නොවන්නේ යෑයි ඇය සඳහන් කර තිබුණා. මේ ලිපිය කියවලා අහවරවෙන විට මාව තුෂ්ණිම්භූත වුණා. ඇත්තටම මම තේරුම්ගත්තා තරුණියකගේ විවාහ උත්සවයක් නමැති ඒ සුන්දර සිහිනය බිඳදමන්නයි මම උත්සහ ගත්තේ කියලා. ඇයත් මමත් අතර අහසයි පොළොවයි වගේ පරතරයක් ඇති බවයි මම දැක්‌කේ. අහසයි පොළොවයි කවදාකවත් එකතුවෙන්නේ නැහැ. ඒ නිසාමයි ඇය පිළිතුරු ලිපියක්‌වත් එවන්න එපාය කියලා සටහන් කර තිබුණේ. මේ ලිපිය කියවලා කරුණු නුවණින් මෙනෙහි කරනකොට අවංකවම මට සතුටක් ඇතිවුණා. ලෝකය සිතනවාට වඩා මම මොනතරම් දුරස්‌වද සිතන්නේ කියලා. ලෝකයාට වඩා දුරස් ආකාරයට හිතන්න මා තුළ තිබුණා වූ දක්‍ෂභාවය නිසාමයි මේ මොහොතේ මා ලෝකයාගෙන් ගොඩාක් දුරස් තැනක ජීවත්වන්නේ. නමුත් මට හොඳටම විශ්වාසයි මේ මොහොතේ ඇය ජීවත්ව සිටිනවා නම් දරුවන් කිහිපදෙනෙකුගේ මවක් හැටියට මහා දුක් කන්දරාවක් දරාගෙන ජීවත්වෙනවා ඇතිය කියලා. එදා ඒ මුල් ලිපියෙන් සිදුවූ හමුවීම, වෙන්වීමක් බවට පත්වූයේ රාහු නිසා හෝ සෙනසුරු කේතු නිසා නොව, සංස්‌කාර ධර්මයන් නිසාමයි. මගේ තිබුණු කුසල් විසින් ඒ අකුසල් වළක්‌වා දැම්මා. මට මේ මොහොතේ ඉන්න තැනට එන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි මා තුළ තිබූ ශ්‍රද්ධාවමයි එදා මාව මේ අනතුරුවලින් බේරුවේ. මගේ අතීත ජීවිතයේ මෙවැනි අනතුරු කිහිපයකින්ම බුදුරජාණන් වහන්සේගේ සරණ විසින් මාව බේරාගෙන තිබෙනවා. මේ ඉන්න තැනට එන්න.... ඒ කියන්නේ මේ සියල්ල අහම්බයක් නොවේ. සංස්‌කාරයන්ගේ ප්‍රතිඵලයන්මයි.
මේ වෙලාවේ මට නැවතත් මතකයට එනවා අද හිමිදිරියේ පිණ්‌ඩපාතය වඩිනකොට මංගල රථයේ ගමන් කළ මනමාල මහත්තයාව. 'අනේ මනමාල මහත්තයෝ, ඔබට ලැබුණ මනමාලියත් ඉහත ආකාරයෙන්ම උපාදානය බලවත් මනමාලියක් වුණෝතින් ඔබටත් දෙවියන්ගේම පිහිටයි'
මෙතැනදී 'දෙවියන්ගේම පිහිටය' කියලා කීවේ පුතේ කවදානම් ඔබට ගැලවෙන්න පුළුවන්ද කියන කාරණයයි. ගිහි පිංවතුන්ලා මිත්‍යදෘශ්ඨික සම්මුතීන්ගෙන් බැහැරවෙලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ජීවිතය පටන්ගතහොත් එම ජීවිත මොනතරම් නම් ශක්‌තිමත් සැනසිලිදායක තැනකට රැගෙන යන්න පුළුවන්ද. බලාපොරොත්තු කන්දක් ගොඩගසාගෙන එම බලාපොරොත්තු කන්දටම යටවී මෙලෝ සිහියක් නැතිව ජීවත්වෙන මිනිස්‌සුන්ට මඟ නොමඟ කියාදෙන උතුම් ධර්මයක හිමිකාරීත්වයට පිංවත් ඔබ සුදුසුයි. කළ්‍යාණ මිත්‍ර ඇසුරම සොයන්න. සද්ධර්ම ශ්‍රවණය සිදුකරන්න. ඇසෙන්නා වූ ධර්මය නුවණින් මෙනෙහි කරන්න. එය ඔබේ ගමනක ආරම්භය වනු ඇත.
ඉන්ද්‍රජිත් සුබසිංහ
දිවයින ඉරිදා සංග්‍රහයේ පළවන ලිපි පෙළ ඇසුරින් උපුටා ගන්නා ලදී 2012-07-08
"සතර අපායෙන් මිදෙමු" 2 කොටස (III)
සම්බුදු සරණ විකුණනවද මාරයට?
දායක මහත්මයෙක් භික්‍ෂුවගෙන් විමසුවා "හාමුදුරුවනේ මම නිතරම දන් දෙන අයෙක්. මමත් අවිද්‍යාව තුළද සිටින්නේ" කියලා. පිංවත් ඔබ දන් දුන් පමණින් අවිද්‍යාවෙන් මිදෙන්නේ නැහැ. අවිද්‍යාව කියන්නෙ චතුරාර්යසත්‍යය නොදැනීම. ඒ කියන්නෙ දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන කාරණා හතර නොදැනීමයි අවිද්‍යාව. ඔබ ලෝකය දුකයි කියන කාරණය නොදන්නා නිසයි ඇසත්, ඇසට පෙනෙන රූපත් තුළින් සැප සොයන්නේ. කනත් කනට ඇසෙන ශබ්දත් තුළින් සැප සොයන්නේ.....අනෙක් ආයතනත් එසේමයි. ඔබ මේවා දුකක් හැටියට නොවේ දකින්නේ. සැපයක් හැටියටයි. එහෙම නම් පිංවත් ඔබ පුජා කරන දානයන් දුක් බවට පත්වෙන සැප අයිති කරගන්න දෙන දානයන් බවටයි පත්වෙන්නේ. සැප බලාපොරොත්තුවෙන් දෙන දානයන් අවිද්‍යාව තුළටමයි අයිති වෙන්නේ. ලෝකය දුකයි කියල දැකලා, දුකට ඔබව බැඳ තබන තෘෂ්ණාව අඩු කර ගැනීම සඳහා දෙන දානයමයි අවිද්‍යාවෙන් බැහැරට ඔබව තල්ලු කරන්නේ. මිල මුදල්, ආහාරපාන පමණක් නොවේ ඔබ දන් දිය යුතුව ඇත්තේ. ඒවා තුළින් දුක උපද්දවන තෘෂ්ණාවයි ඔබ තුළින් දන්දිය යුත්තේ.
තෘෂ්ණාව දන් දෙන කෙනාමයි දානයේ සැබෑම අර්ථය ජීවිතයට එකතු කර ගන්නේ. එම නිසා දන් දීමේදී ගිහි පිංවතුන්ලා ශක්‌තිමත් චිත්තයක් ඇති කරගන්න තෘෂ්ණාවෙන් මිදීම උදෙසාමයි දන් දෙන්නේ කියලා.
භික්‍ෂුව වැඩ සිටින කුටියට පැමිණි මහත්මයෙක් භික්‍ෂුවගෙන් ඇහුවා "හාමුදුරුවනේ කුටියට වෙලා තනිවම මොකද කරන්නේ" කියලා. භික්‍ෂුව ප්‍රකාශ කළා කුටියට වෙලා විවේකයෙන් වැඩ සිටිනවා කියලා. ඒ වෙලාවේ ඔහු කියනවා "ඔහොම සිටියම ජීවිතේ කිසිම තේරුමක් නැහැනේ හාමුදුරුවනේ" කියලා. භික්‍ෂුව ප්‍රකාශ කළා ජීවිතේ කොහෙත්ම තේරුමක් නැති හින්දයි මහත්තයෝ මෙහෙට වෙලා විවේකයෙන් වැඩ ඉන්නේ කියලා. මේ මහත්මයාට විවේකය කියන එක ප්‍රශ්ණයක්. මොහු භික්‍ෂුව තුළින් දකින්ට කැමති අවිවේකී, කාර්ය බහුල, ක්‍රියාශීලී චරිතයක්. අනුනගේ විවේකය දැකලා තමන්ගේ සිතේ විවේකය නැති කරගන්නවා. අනවශ්‍ය ගොඩාක් සිතුවිලි සිතලා අකුසලුත් රුස්‌කර ගන්නවා. ඇසත් මට අයිති නැත්නම්, ඇසට බැඳෙන රූපත් මට අයිති නැත්නම් දිව, කන, නාසය, මනස, කය මට අයිති නැත්නම්, ඒවාට බැඳෙන භාහිර රූපත් මට අයිති නැතිනම් කුමක් සඳහා අවිවේකී වෙන්නද? වෙහෙස වෙලා කුමක් අයිතිකොට ගන්නද? මම කියා සටහන් කළ නාමරූප ධර්මයන්ගේ හේතුවෙන් හටගත් ඵලය සලායතන නම් එතැන ද හේතුඵල ධර්මතාවක් මිස සත්වයෙක් පුද්ගලයෙක් නැතිනම්, මේ අවිවේකය කවුරුන් උදෙසා කුමක් සොයන්නද? යමෙක් එසේ සොයන්නේ නම් ඒ ඔහු සොයන්නේ රැවටීමමය. ඇසෙත් තේරුමක් නැත්නම්, කනෙත් තේරුමක් නැතිනම් ජීවිතයෙත් තේරුමක් තියෙන්න බැහැනේ. තේරුමක් නැති ජීවිතය ඔබට තේරුම් කොට දෙන්නේ සද්ධර්මයයි. විවේකීව නාම රූප ධර්මයන් දෙස බලන්න. එවිට ඔබට වැටහේවි අවිවේකයෙන් අයිති කරගන්න දෙයක් මෙතැන නැහැයි කියලා. එම නිසා පිංවත් ඔබ ස්‌වාමීන් වහන්සේ නමක් මුණගැසුනහම සැමවිටම ධර්ම කාරණයක්‌මයි කථාබහ කරන්නෙ කියල චිත්තයක් ඇති කරගන්න.
සිත විවේකීභාවයට පත්වෙනකොට අවිවේකීභාවය සකස් කරන හේතු ඔබට වැටහෙන්න පටන් ගන්නවා. සිත අවිවේකී වෙන්නේ රූපය, වේදනාව, සංඥාව, සංස්‌කාර, විඤ්ඤාණ නිත්‍යභාවයෙන් ගැනීම නිසාමයි. අනිත්‍ය දෙය නිත්‍යභාවයෙන් ගත්තාහම ඔබව පටලවනවා. ඔබ නැති දෙයක් තිබෙනවාය කියල ගන්නවා. දැන් ඔබ අවිවේකියි. ඔබට කරන්න, සොයන්න, බලන්න, කියන්න ගොඩාක් දේවල් තිබෙනවා. ලෝකය නැවතිලා තිබෙන්නේ. ඒත් පිංවත් ඔබ දුවනවා. වේගයට හොඳ වටිනාකමක් තිබෙනවා අවිද්‍යාවේදී. "අවිද්‍යා පච්ජයා සංඛාරා" අවිද්‍යාවයි සංස්‌කාර සකස්‌කොට දෙන්නේ. ඔබ වේගවත්ය කියන්නේ වේගයෙන් සංස්‌කාර රැස්‌කරනවාය කියන කාරණයයි. නමුත් ඔබ විවේකීව සිතන්න ගත්තොත් රූපයේ, වේදනාවේ...........අනිත්‍යභාවය සංස්‌කාර නිරෝධය දෙසටයි ඔබ ගමන් කරන්නේ. බලන්න අවිවේකයත් විවේකයත් අතර තිබෙන පරතරය. රූපය නිත්‍යභාවයෙන් ගැනීම නිසා නැති දෙයක් සෙවීම නිසා අවිවේකයත්, රූපය වේදනාව........අනිත්‍යභාවයෙන් ගැනීම නිසා සෙවීමට දෙයක් නැති නිසා විවේකයත් ලැබිය හැකිය. විවේකීභාවය ඔබෙන් දුරස්‌වෙන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් දුරස්‌වීම නිසයි. තෙරුවන් කෙරෙහි සද්ධාවට පැමිණි කෙනා ජීවිතය අවිවේකී වීමට ඇති හේතු සොයනවා. කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්මශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය තුළින්මයි සද්ධාව සකස්‌වෙන්නේ. මේ උතුම් සද්ධාව ගැන සටහන් තබන කොට භික්‍ෂුවට අතීතයේ සිදුවීම් පෙළක් මතකයට එනවා. භික්‍ෂුවගේ තාත්තා දෙවියන් කෙරෙහි බොහෝම ලැදි කෙනෙක්. භික්‍ෂුවට මතකයි ළමා කාලයේ තාත්තා සෑම වසරකම දෙවොල් මඩුවක් කරලා දේව දානයක් දෙනවා. ඒ වගේම සෑම මසකම කඩවර පුජාවක් තියනවා නිවසේ පිටුපස්‌සේ. ඒ කාලයේ ළමයෙකු හැටියට සද්ධාව කියන්නේ කුමක්‌ද කියලා මම හඳුනාගෙන තිබුණේ නැහැ. මගේ තාත්තා හඳුනාගෙන තිබුණෙත් නැහැ. ඒ නිසාම මට මතකයි මේ දෑත්වලින් මම අනන්තවත් හාල්මැස්‌සෝ පුච්චලා, හරක් සම් පුච්චලා තිබෙනවා පුජාවන්ට. නමුත් මේ මොහොතේ භික්‍ෂුවට ඒ අතීතය මතකයට එනකොට භික්‍ෂුව පැහැදිලිව දන්නවා එදා ගිහියෙක් හැටියට මම තුළ සහ තාත්තා තුළ තිබුණේ අමූලිකා සද්ධාවයි කියලා. අමූලිකා සද්ධාව තිබුණ නිසයි තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් බැහැරව දේව විශ්වාසයන්ට බැහැගත්තේ. අමුලිකා සද්ධාව නිසාමයි හාල්මැස්‌සො පිච්චුවේ, හරක් සම් කැබලි පිච්චුවේ, පුජාවන්ට බුලත් තටු හදලා, ගණන් කරලා මල් තැබුවේ. ඉහත සටහන තැබුවේ පිංවත් ඔබට සද්ධාවේ සහ අමූලිකා සද්ධාවේ වෙනස හඳුනාගන්නයි.
පිංවත් ඔබ තෙරුවන් වඳින, දන් දෙන, සිල් රකින කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ ජීවිතය ඉදිරියට රැකියාවේ, ව්‍යාපාරයේ, රෝගීභාවයන් වැනි අභියෝගයන් එනකොට තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් බැහැරව හාල්මැස්‌සෝ පුච්චන්න, හරක් සම් පුච්චන්න, පලතුරු වට්‌ටි තබන්න දේව අමනුෂ්‍ය ඇදහිලි ඔස්‌සේ ඒවාට විසඳුම් බලාපොරොත්තු වෙනවා නම් පිංවත් ඔබ නියත වශයෙන්ම දැනගත යුතුයි ඔබ තුළ තවම තිබෙන්නේ අමූලිකා සද්ධාව කියලා (මෝහය මුසු සද්ධාව) නමුත් භික්‍ෂුවට තරුණ කාලයේදීම යම් හේතුවක් නිසාම මේ අමූලිකා සද්ධාව තමා තුළින් හඳුනාගන්න හැකිවුණා. කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්මශ්‍රවණය නිසාම, ඇසුවා වූ ධර්මය නුවණින් මෙනෙහි කිරීම නිසාම....
පිංවත් ඔබ ධර්මය ඇසීමෙන් පමණක් ඵලක් නැහැ. එම ධර්මය නුවණින් මෙනෙහි කරන්න. අපගේ ආයුෂය බොහෝම වේගයෙන් ගෙවී යනවා. මරණය බොහෝම ඉක්‌මනට ළඟාවෙන්න පුළුවන්. එම නිසා රැකියාව, ව්‍යාපාරය, විවාහය නොවේ වන්දනීය මරණයකට හිමිකරුවෙක් වෙන්න. මුළාවට එක වචනයකින්වත්, හැඟීමකින්වත්, සිතුවිල්ලකින්වත් බැඳෙන්න එපා. ආදරය කරන්න එපා. බිය ඇතිකරගන්න. අමූලිකා සද්ධාවමයි සංසාරයේ ඔබට මිථ්‍යාදෘෂ්ඨිකභාවය ඇතිකොට දෙන්නේ. මෙය බියකරු ලෝකයක්. චපල ලෝකයක්. මිනීමරු ලෝකයක්. මනුෂ්‍යයා තුළ සකස්‌වෙන පංචඋපාදානස්‌කන්ධය ඒ තරමටම බියකරුයි, විෂමයි. භික්‍ෂුවට මුණගැසුණ එක් කට්‌ටඩි මහත්මයෙක් භික්‍ෂූවට ප්‍රකාශ කළා තමා දන්නා මන්ත්‍ර ගුරුකම් ශාස්‌ත්‍රය තුළින් තමාට මිනිසෙක් මරන්න, විනාශ කරන්න පුළුවන් කියලා. ඔහු සපථ කළා තමා එවැනි ගුරුකම් කරලා තිබෙනවා කියලා. ඔහු උදම් ඇනුවා. ධර්මයේ අර්ථය නොදත් මුළාවූ ලෝකයාට මනුෂ්‍යයෙක් මැරීම මදුරුවෙක් මැරීම වගේ සරල දෙයක්. ධර්මයෙන් බැහැර වුණ සිතකට ජීවිතයක වටිනාකම තබා තමාගේ ජීවිතයේ වටිනාකමවත් තේරෙන්නෙ නැහැ. තමාගේ ජීවිතයට ලබාදී ඇති නොවටිනා ලංසුවමයි අනුන්ගේ ජීවිතවලටත් ලබා දෙන්නේ. පිංවත් ඔබලා සද්ධර්මය ශ්‍රවණය කරන පිංවතුන්ලා වශයෙන් සෑම මොහොතකම සමාජය තුළ තිබෙන අන්තරායකාරී ධර්මයන් හඳුනාගන්න. සද්ධර්මය කෙරෙහි සද්ධාවට පැමිණි කෙනා දක්‍ෂවෙනවා තමාගේ රැකියාව අහිමිවුණත්, තමාගේ ව්‍යාපාරය පාඩු වුණත්, තමාට රෝගයක් හැදුනත් මගේම හොඳටයි කියලා හඳුනාගන්න. මේ බිඳවැටීම් තුළින් මම අත්දැක්‌කේ ලෝක ස්‌වභාවයයි. අනිත්‍යධර්මයේ අර්ථයයි කියලා. අනිත්‍ය වෙන දේවල් කෙරෙහි, බිඳෙන වැටෙන දේවල් කෙරෙහි බැඳීමෙන් මිදිලා තව තවත් ධර්මාවබෝධය දෙසට එනවා. එහෙම කෙනා තව තවත් උත්සාහයෙන්, වීර්යෙන් යුතුව වැටුණ දෙය ගොඩනගා ගැනීමට උත්සාහ ගන්නවා වගේම ධර්මය තුළින්මයි සැනසීම සොයන්නේ.
වර්තමාන සමාජයේ වේගයෙන්ම ජනප්‍රිය වෙන අංශයක් තමයි යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් ක්‌ෂේත්‍රය. මේ අංශයේ දියුණුව, භාවිතය වැඩිවෙන්න වැඩිවෙන්න ධර්මයේ භාවිතය හීනවෙනවා. එය ධර්මතාවයක්. සද්ධර්මයේ සැබෑ ආයුකාලය බොහෝම කෙටියි කියලා හඟවන අනතුරු හැඟවීමක්. කර්මය කර්මඵල විශ්වාසයෙන් බැහැරව ලෝකය ගමන් කරනවිට මිථ්‍යාදෘෂ්ඨිකභාවයේ ගොදුරක් බවටයි ඔබව පත්වෙන්නේ. නමුත් අවාසනාවේ මහත කියන්නේ මෝහය නිසාම මේ මනුෂ්‍යයා මුදල් වියදම් කරලයි මිථ්‍යාදෘෂ්ඨිකභාවයට පත්වෙන්නේ. උතුම් සද්ධර්මය ප්‍රතික්‌ෂේප කරලා, සල්ලිවලට මිථ්‍යාදෘෂ්ඨීකභාවය ගන්නවා. බලන්න මාර ධර්ම මොනතරම් සියුම්ද කියලා. ඔබේ ඇස් වහලා ඔබේ මුදල්වලින් ඔබටම මිථ්‍යාදෘෂ්ඨීකභාවය විකුණනවා. ප්‍රේතයන්ගේ ලෝකය, යක්‍ෂයන්ගේ ලෝකය, නීච අමනුqෂ්‍යයන්ගේ ලෝකය හරිම බියකරුයි, හරිම පුළුල්. බොහෝම සංකීර්ණයි. ඔවුන්ගේ ධර්මය අධර්මයයි, විනාශයයි, ද්වේෂයයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැනි උතුම් ශාස්‌තෘන්වහන්සේ නමකගේ සරණ අහිමිකොට ගෙන තාවකාලික දියුණුවක් උදෙසා සිහින දකිමින් අමනුෂ්‍යයන් සරණ යාම පිංවත් මිනිසුනේ ඔබේ ජීවිතය ඔබම මාරයාට විකිණීමකි.
මේ ලෝකයේ ඇති මෝහය, ලෝකය තුළ සැඟව ඇති ඇත්ත මෙන්ම මේ මස් ඇසට නොපෙනෙනා ලෝකය ආදියද ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ ධර්මයේ සත්‍යතාවය අත්දැකීමෙන්ම උතුම් සමාධිය තුළින්මයි දැකිය හැක්‌කේ. මස් ඇසෙන් දකින ලෝකයේ චිත්‍රය නොව, පිනෙන් සහ පවෙන් පිරුණු සත්වයන්ගේ ලෝකයේ අපූරු චමත්කාරජනක මෙන්ම දුක්‌මුසු භව ගමනේ නවාතැන්පළවල් සමාධිය තුළින් යම් භික්‍ෂුවක් අත්දකිනකොට මිනිසුන් වශයෙන් අපි මොනතරම් බොළඳ වැරදි ඔස්‌සේ ලෝකය ග්‍රහණයකොට තිබෙනවාද කියලා පැහැදිලිවෙනවා. දෙවියන්ගේ පුද පුජා තියෙනකොට කපු මහත්වරු කන්නලව් කරනවා ඔබ අසා ඇති. ඒ අය මෙහෙම කන්නලව් කරනවා. "හරක් රැලට, මොනර රැලට, මැණික්‌ඟගට දිවැස් හෙළන දෙවියන්" කියලා. අපි එතකොට සිතන්නේ මේ දෙවියන් හරක් රැලට දිවැස් හෙළනවා කිsයලා. පිංවත් ඔබම සිතන්නකෝ ගොම ගොඩේ, මුත්‍රා ගොඩේ, මඩ නාගෙන ගාල්කරල තිබෙන හරක්‌ගාලට, එම සතුන්ට පින් කරල ඉපදුන දෙවියෙක් දිවැස් හෙලයිද? ගොපලු දරුවෙක් වගේ. මේ ගොම ගොඩේ, හරක් මුත්‍රාගොඩේ දෙවියන් වැඩ සිටියිද? නමුත් මේ කථාවේ සැඟවුණ ඇත්තක් තිබෙනවා. ඒ ඇත්ත පිංවත් ඔබට දකින්න පුළුවන් සමාධිය තුළින් පමණයි. දිනක් භික්‍ෂුවක් සමාධියෙන් වැඩසිටිනකොට භික්‍ෂුවට දිව්‍ය මීගවයන් 12 ක් පමණ සමන්විත දිව්‍ය හරක් රංචුවක් දර්ශනය වුණා. මෙතන ලොකු දෙනුන් 6 ක් සහ පැටවුන් වශයෙන් තමයි ඉතිරි අය සිටියේ. මේ දිව්‍ය මී දෙනුන් රංචුව මනුෂ්‍යලෝකය ඇසුරුකොට ජීවත්වෙන දිව්‍ය හරක් රංචුවක්. මේ මී දෙනුන් ආයුෂ, වර්ණ, සැපයෙන් හුඟක් පිරිලා. මේ සතුන් බොහෝම පිරිසිදු, ශරීරය පුෂ්ඨීමත්, තෙල් පැහැයෙන් දිලිසෙන, රෝම ගහන ශරීරයක් තිබෙන්නේ. කිරිබුරුල්ල බොහෝම ලොකුයි, තන පුඩු ලොකුම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක් වගේ, කිරිවලින් තන බුරුල පිරිලා. එම දිව්‍ය මීහරක් රංචුව දකිනකොට එය සෞභාග්‍යයේ සංකේතයක් වගේ. මේ දිව්‍ය හරක් රංචුව පාරක් දිගේ ගමන් කරන ස්‌වභාවයෙනුයි භික්‍ෂුවට දර්ශනය වෙලා තිබෙන්නේ. ඔබගේ මස් ඇසට නොපෙනෙන ඇත්තක් මෙතන තිබෙනවා. හරක් රංචුවට දිවෙස් හෙළන දෙවියෙක් සිටිනවා. ඒ ගමේ සිටින ගොම, මුත්‍රා ගොඩේ දඟලන හරක් නොවේ. ඉහත සඳහන් කළ පිනෙන් වැඩි එහෙත් දිව්‍ය හරක් බවට භවයේ උපත සකස්‌කොට ගත් ඉහත හරක් රැල්වලටය. බලන්න අන්ධ විශ්වාසයත් සත්‍යයත් අතර තිබෙන වෙනස කොපමණද කියලා. ඉහත දිව්‍ය මීගව රංචුව භවයේ තවත් එක් නවාතැන් පලක්. මෙවැනි අනතුරුදායක භව ගමනක් ඉදිරියේ පිංවත් ඔබ දෙවියන්ගේ මුහුණ දෙස නොවේ බැලිය යුත්තේ තෙරුවන්ගේ ගුණ දෙසයි.
පිංවත් ඔබ ඔබේ ජීවිතය සෑම විටම පර්යේෂණාගාරයක් කරගන්න. මොන පර්යේෂණාගාරයක්‌ද? ධර්ම පර්යේෂණාගාරයක්. පිංවත් ඔබ ඇසෙන, දකින, සිතෙන සෑම දෙයක්‌ම නුවණින් පර්යේෂණය කරන්න. ධර්මය අධර්මය තෝරාබේරා ගන්න. සසර අවධානමට එරෙහිව සැමවිටම විමසිලිමත් වන්න. සැපයට එරෙහිව අන්තරාකාරී ධර්මයන්ගෙන් මිදීමට පෙරාතුව එම අන්තරාකාරී ධර්මයන් තමා තුළ තිබෙනවාය කියන කාරණය ඔබ පිළිගන්න අවශ්‍යයි. බොහෝ වේලාවට අපිට වරදින තැන ඔතැනමයි. සියලුම අකුසල් මූලයන් අප තුළ වැඩෙනවා. නමුත් අපි දක්‍ෂ නැහැ ඒ බව හඳුනාගන්න. හඳුනාගන්න අයත් ඒවා වසන් කරගෙනයි ධර්ම මාර්ගයේ පෙරට යන්න උත්සාහගන්නේ. මෙසේ වන්නේ ඔබ තුළින් ඔබ ධර්ම පර්යේෂණයක් නොකරන නිසා. භික්‍ෂුව ගිහි කාලයේ හොඳින්ම හඳුනාගත්තා තමා තුළ ඇති රාග, ද්වේෂ, මෝහ අකුසලයන්. ඒ ගැන කියන්න භික්‍ෂුවට
ලැඡ්ජාවක් නැහැ. මොකද එම හඳුනාගැනීමමයි භික්‍ෂුවට මේ තැනට එන්න පාර එළිපෙහෙළි කර දුන්නේ. ගිහි කාලයේ තමා තුළ තිබූ රාගය තුළින්මයි, රාගයේ තුච්ජ බව හඳුනාගත්තේ. තමා තුළ තිබූ ද්වේෂයේ තුච්ජ බව තුළින් තමයි ද්වේෂය හඳුනාගත්තේ. තමා තුළ තිබූ මෝහය තුළින්මයි මෝහයේ අඳුර හඳුනාගත්තේ. ලෝකයා දෙස බලලා ඉගෙනගන්න දෙයක් තමාට තිබුණේ නැහැ. සියලුම අන්තරාකාරී ධර්මයන් තමා තුළම අඩු වැඩි වශයෙන් තිබුණා. තමා තුළින් තමාට එදා ඒ අකුසල මූලයන් හඳුනාගත හැකි වූයේ තමාගේ ජීවිතය පර්යේෂණාගාරයක් කරගත්තා නිසා. අනුන් උදෙසා පර්යේෂණ කරන්න නොවේ. අවංකවම තමාගේ නිවැරදිභාව උදෙසා තමා මෙවැනි පර්යේෂණයක් කිරීමට යොමුවූයේ මුළින්ම තමා තුළ ඉහත අකුසල මූලයන් ඇති බව හඳුනාගත් නිසයි. භික්‍ෂුව එදා ලෝකයාට අවංකවෙන්න නොවේ ගියේ. තමා තමාට අවංකවීමටයි. ඒ අවංකභාවය තුළ සිට තමා දෙස නුවනින් බලනවිටයි ජීවිතය තුළ තිබූ අකුසල මූලයන් හඳුනාගත්තේ. මේ හඳුනාගැනීම භික්‍ෂුවට එදා ලොකු වටිනාකමක් වුණා. ඒ නිසාමයි තමා තුළ අකුසල මූළයන් තිබෙන බව දැනගත්තේ. දෙවැනිව, ඒවායේ අන්තරාකාරී බව දැක්‌කේ. තෙවැනිව, ඒවා උපක්‍රමශීලීව නැතිකරගැනීමේ මාර්ගයට අවතීර්ණ වූයේ. භික්‍ෂුව ගිහි ජීවිතයේදී තමා තුළ රාගය, ද්වේෂය, මෝහය තිබෙන බව ලෝකයාට පෙන්වන්න ලැඡ්ජා වුණේ නැහැ. තමා ලෝකයාට විවෘත වුණා. ඒ විවෘතභාවය තුළින්ම තමා තමාව ලැඡ්ජාවට පත්කරගත්තා. පිංවත් ඔබත් ඔබගේ ජීවිතය හැකිතාක් ලෝකයාට විවෘත කරන්න. ලෝකයාට සැඟවීම තුළ වැඩෙන්නේ සක්‌කාය දිට්‌ඨීයම බව හඳුනාගන්න. මේ සක්‌කාය දිට්‌ඨීයමයි ඔබ තුළ ඇති රාග, ද්වේෂ මෝහ අකුසල ධර්මයන් ලෝකයාගෙන් වසන්කොට තබාගන්න උපකාරීවන්නේ. මගේ ආරක්‍ෂාව උදෙසා, මගේ පැවැත්ම උදෙසා, මම කව්ද කියලා ලෝකයාට පෙන්වීම උදෙසා......
කාවද මේ පුම්බාතබන්න හදන්නේ?
ඉන්ද්‍රජිත් සුබසිංහ
දිවයින ඉරිදා සංග්‍රහයේ පළවන ලිපි පෙළ ඇසුරින් උපුටා ගන්නා ලදී 2012-07-01
No comments:
Post a Comment