Friday, September 28, 2012

පැවිදි පඬි මිණිපහන්



අප හැදුණෙ ගමත් පන්සලත්
ඉතා සමීපව සම්බන්ධ වුණු සමාජයක
බෙල්ලන ඤාණවිමල මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රවීණ බෞද්ධාචාර්ය වරයෙකු, ප්‍රශස්‌ත ගත් කතුවරයකු, ගැඹුරු ධර්මධරයකු, සාර්ථක ධර්ම දූතයකු, තැන්පත් බුද්ධිමතකු, විශේෂඥ භාෂාන්තර විෂයාන්තර නිපුණයකු, නිවහල් චින්තකයකු, ආදර්ශවත් සංඝ පීතෘවරයකු වශයෙන් අපට හඳුනාගත හැකිය. කළුතර නාගොඩ ශ්‍රී සෝභිත සංඝාරාමාධිපති රාජකීය පණ්‌ඩිත අග්ගමහා පණ්‌ඩිත ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමලාභිධාන කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රීධර්ම මහා සංඝ සභාවේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ උපතින් අනූතුන්වන වියට පා තබා වැඩ සිටිති. උන්වහන්සේගේ ජීවිතයේ සැඟව ගිය අතීත පවත ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමියෝ ලියති. මේ එම ලිපි මාලාවේ දෙවන ලිපියයි.

ඔබවහන්සේ පුංචි සන්දියෙ අදට වඩා මිනිසුන්ගේ සමගිය සමාදානය හොඳ හිත වැඩිද?

හු`ගාක්‌ වැඩියි. එක ගෙදරක වැඩක්‌ උනහම ගමේ අනික්‌ ගෙවල්වල අය හුඟක්‌ සහභාගී වෙනවා. මං පොඩිකාලේ අපේ ගෙදර බලියක්‌ කළා. නටන අය, බෙරගහන අය හුඟක්‌ ආවා. කිරිමැටිවලින් බලි රූප හැදුවා. මේ බලිරූප හදන්නෙ බිම තියාගෙන. ඊළඟට බලි කෙලින් කරනවා කියලා විශේෂ දෙයක්‌ තියෙනවා. ඒක ලොකු වැඩක්‌. ඒ වෙලාවට අවට ගෙවල්වල ඉන්න ඔක්‌කොම වගේ එකතු වෙනවා. තිස්‌පැය තුනක්‌ විතර එක දිගට බලි යාගය කරනවා. පිටින් එන අයත් කැවිලි පෙවිලි හදාගෙන තමයි එන්නෙ. එක ගෙදරක මරණයක්‌ වුණොත් ඒ ගෙදර අය උයන්නෙ නැහැ. ළඟ තියෙන ගෙවල්වලින් තමයි මළ ගෙදර අයටත් එන යන අයටත් කෑම දෙන්නෙ. මේ සිරිත නම් අදත් බොහෝ ප්‍රදේශවල දකින්නට තියෙනවා. මළ බත කියල එකකුත් තියෙනවා. ඒකත් අද බොහෝ ප්‍රදේශවල දකින්නට තියෙනවා. ඒකාලයේ සමාජයේ කා අතරත් හොඳ බැඳීමක්‌ තිබුණා.

මහානායක හාමුදුරුවනේ, ඒ කාලෙ අපරාධ වුනත් බොහොම අඩුයි නේද?

අහන්නවත් නෑ. මිනීමැරුමක්‌ කියන එකක්‌ අහන්නවත් ලැබෙන්නෙ නැහැ. සමාජයේ හැම කොටසකට ම ඒ අයට වෙන් වෙච්ච වැඩ කොටසක්‌ තිබුණා. ඒ අය ඒ ටික හරියට කළා. බුදුදහමින් ලැබුණු පෝෂණයත් සමාජ ක්‍රමයත් අනුවයි මේවගේ ලස්‌සන සමාජයක්‌ ගොඩ නැගී තිබුණෙ. ගෙවල්වල ඉන්න හැදෙන වැඩෙන තරුණ තරුණියන් අදට වඩා හුගක්‌ වෙනස්‌ කියලයි මට හිතෙන්නෙ. ගෙදරක ඉන්න නිසි වයසට ඇවිත් තියෙන ගැහැණු ළමයෙකුට හොඳ පිරිමි ළමයෙක්‌ සොයා දීම ගැන හැම දෙනාම උනන්දු වෙනවා. ඒ වගේම හොඳට හැදුණු වැඩුණු තරුණයෙක්‌ ඉන්න ගෙදරක ඒ තරුණයාට ගැලපෙන ගැහැනු ළමයෙක්‌ සොයා දීම ගැනත් දන්න කියන හැම දෙනාම වගේ උනන්දු වෙනවා. ඉතාම හොඳ සමාජයක්‌ තමයි තිබුණෙ. ඒ සමාජය තුළ ගුණ ධර්ම හොඳින් ආරක්‍ෂා කරගෙන හිටියා. ඒ කාලෙ මඟුල් කපුවොත් අද වගේ අය නොවෙයි. ඒ පිළිබඳ තොරතුරු නියම විදිහට ම පැහැදිලි කරනවා. සත්‍යයම කියනවා. එකල දකින්නට ලැබුණෙ ඔවුනොවුන්ට උදව් කරන සමාජයක්‌. හැම දෙනෙක්‌ ම හැම දෙයක්‌ ම කරන්නෙ උදව්කිරීමේ අරමුණ ඇතිවයි. සුදුසු ගැහැනු ළමයෙකුට සුදුසු පිරිමි ළමයෙක්‌ සොයා දීමත් උදව්වක්‌ වශයෙන් තමයි කල්පනා කළේ. යහපත් සමාජයක්‌ කියන්නේ එවැනි සමාජයකට. හොඳ ලස්‌සන යහපත් සමාජයක්‌ හැම තැන ම දකින්නට ලැබුණා. ඒවගේ ම කරන ලද ඒ උදව් ගැන හිතල දිගට ම ඒ අයත් එක්‌ක සම්බන්ධකම් පවත්වනවා.

පිරිමි ළමයි වුණත් ඉගෙනීම සඳහා තිබුණ උනන්දුව අඩුයි. ගම්බද ඉස්‌කෝලෙක ඉගෙන ගෙන අන්තිම වශයෙන් කරන්න පුළුවන් දේ තමයි ගුරුකම. ඒ නිසා ඉතින් පිරිමි ළමයි උනත් ලොකු උනන්දුවක්‌ දැක්‌වූයේ නෑ ඉගෙන ගන්න. කලාතුරකින් නොතාරිස්‌ විභාගෙ පාස්‌ කරල නොතාරිස්‌ කෙනෙක්‌ වශයෙන් රාජකාරි කරන අයත් හිටියා. ඒ කාලේ ඉස්‌කෝල ගුරුවරයෙකුට ලැබුණ පඩිය මාසයකට 07.50 යි. ඒ නුපුහුණු ගුරුවරයෙකුට. පුහුණු ගුරුවරයෙකුට රු 18 ක්‌ ලැබුණා. මා ගිහින් තියෙනවා පරණ ගුරුවරු විශ්‍රාම ලබන උත්සවවලට. ඒ වගේ උත්සවවලදී ඒ ගුරුවරු කථා පවත්වන විට කියනවා අපට පඩි වශයෙන් ලැබුණෙ මෙච්චරයි කියලා. සමාජය පුරුදු වෙලා හිටියේ, ගුරුවරයා පූජනීය වස්‌තුවක්‌ වශයෙන් සැලකීමට යි. සමාජය තුළ ඒ වගේ හැගීම් පැල පදියම් වෙලා තිබුණා. ඒ වගේ අදහස්‌ සමාජය තුළ පැලපදියම් වෙලා තිබුණෙ ඔය ගණදෙවි හෑල්ල, සකස්‌කඩය වගේ පොත් මුල ඉදල ම කියවීම නිසයි කියල මට හිතෙනවා.

ඔබවහන්සේ පුංචි සන්දියේ පන්සල හා ගම අතර තිබුණ සම්බන්ධය මොනවගේ එකක්‌ද කියලා ඔබ වහන්සේට මතක්‌ කරන්න පුළුවන්ද?.

ඔය කාලේ බෙල්ලන පන්සල හොඳට තිබුණා. විහාරාධිපති හාමුදුරුවන් කියන විදිහට අනික්‌ ඇත්තන් කටයුතු කරගෙන ගියා. ගුරුවරයාට පිටින් ගෝලයෝ වැඩ කළේ නැහැ. ගුරු-ගෝල සම්බන්ධයක්‌ හොඳට තිබුණා. ඒකාලෙ පන්සල්වල මහණවෙලා හිටියේ ඒ ඒ ගම්වලම ඇත්තො. අල්ලපු ගමේ ඊළඟ ගමේ ඇත්තන් තමයි හිටියෙ. පිටින් ආව ඇත්තන් හිටියේ ම නැති තරම්. ඒ නිසා විශාල බැඳීමකුත් තිබුණා. අපේ හාමුදුරුවෝ කියන හැ`ගීම තදින් තිබුණ. බොහෝ විට කොහෙන් හරි නෑදැ සම්බන්ධකමක්‌ තිබුණ. මේ ගමේ ළමයෙක්‌ තමයි එහා ගමේ මහණ වෙලා හිටියෙ. එහා ගමේ නැනිනම් ඊට එහා ගමේ ළමයෙක්‌ තමයි මේ ගමේ පන්සලේ මහණ වෙලා හිටියෙ. ඒනිසා දායක දායිකාවන්ගේ සම්බන්ධතාවත් ඉතා හොඳින් තිබුණා. හාමුදුරුවන්ගෙ සම්බන්ධතාවත් ඉතා හොඳින් තිබුණා. කලාතුරකින් නුවරින් හෝ දකුණින් ඇවිදින් මේ පන්සල්වල මහණවෙලා හිටියෙ. නැතිනම් ඒ පළාත්වල හාමුදුරුනමක්‌ ඇවිදින් පන්සලක්‌ හදාගෙන පදිංචි වෙලා හිටියා. එහෙම වුණහම දායකයන්ගෙ බැඳීම හු`ගක්‌ අඩු වුණා.

බොහෝ විට ඒ කාලයේ හාමුදුරුවරු හැඳින්වූයේ ගමේ නමින් මයි. බෙල්ලන හාමුදුරුවෝ, මාලේවන හාමුදුරුවෝ, අගලවත්තෙ හාමුදුරුවො වශයෙන්. පිටපළාත්වලින් ඇවිත් පදිංචී වූ අවස්‌ථාත් තිබුණා. බෙන්තර ඉදළ හාමුදුරුවරු පස්‌ නමක්‌ පස්‌දුන් කෝරළයට වැඩියා. ඒ ඇත්තො සහෝදර හාමුදුරුවරු. පස්‌දුන් කෝරළයට වැඩමවල වෙන වෙනම පන්සල් හදාගත්තා. ඒ ඇත්තො හදාගත්ත පන්සල් පහ තමයි පරණම පන්සල් පහ. ඒ ඇත්තන් අතර හොඳට සහෝදර කමත් තිබුණා. ඒ ඇත්තන් පස්‌දුන් කෝරළයට ආවේ දෙද්දුව පන්සලේ ඉඳලයි. වියන්දූවේ හාමුදුරුවෝ තමයි බෙල්ලන පන්සලේ හිටියේ. අපි ඉතිං තුන් වෙනි හතරවෙනි පරම්පරාවට අයිතියි කියල කියන්න පුළුවන්. මේ අතර ගලපාත විහාරය යි බෙන්තර වනවාස විහාරය යි කියන දෙක දෙකක්‌ වශයෙන් සම්බන්ධකම් අඩුකර ගත්තා. කාරණය මොකක්‌ ද කියන්න බැහැ. සම්බන්ධතාවය අඩුවෙලා ගියා. ඒ නිසා පරම්පරා දෙකක්‌ වශයෙන් සලකන්න පුරුදු වුණා. වනවාසෙ ඇත්තන් සමඟ සම්බන්ධකම් ඈත් වුණා. නමුත් දැන්නම් එහෙම නැහැ. දැන් කවුරුත් එකට සම්බන්ධයි. ඔක්‌කොම භේද අමතක වෙලා තමයි තියෙන්නෙ.

මහානායක හාමුදුරුවනේ මහණ වුණ අවස්‌ථාවේ ඉඳල ඉදිරි කාරණා ගැන කරුණු ටිකක්‌ සඳහන් කළොත් හොඳයි.

මං මහණ වුණේ 1923 මැයි 23 වෙනිදා. එතකොට මගේ වයස අවුරුදු නවය යි. එතකන් මම ඉස්‌කෝලෙ ගියා. ඒ කාලයේ ළමයි ඉස්‌කෝලෙ යන එක හරිම අඩුයි. මගේ පන්තියෙ හිටියෙ පස්‌දෙනයි. ඊට කලින් අවුරුද්දේ හිටියෙ තුන් දෙනයි. ඒ කාලයේ ගෙවල්වලින් ඉස්‌කෝලෙ නොයන ළමයි අල්ලලා නඩු දාන්න මහත්තයෙකුත් පත්කරල හිටියා. එයාට කිව්වෙ නඩුදාන මහත්තයා කියලා. ඒ මහත්තයා ගමේ ඇවිදලා ඉස්‌කෝලෙ නොයන ළමයින් ඉන්නවා නම් ඒ ගෙවල්වල මව්පියන්ට නඩු දානවා. බොහොම අමාරුවෙන් තමයි ඉස්‌කෝලෙට ළමයි ගෙන්න ගත්තෙ. ඉගෙනීමෙන් ඒ තරම් ලොකු වැඩක්‌ නැහැ කියන අදහසක්‌ තිබුණා. අකුරු ඉගෙන ගන්න එක තමයි ලොකුම දේ වශයෙන් කල්පනා කළේ. ඒ කාලෙ උපාධි තිබුණෙත් නෑ. විශ්වවිද්‍යාල තිබුණෙත් නෑ. රෝයල් කොලේඡ් එක තිබුණා. ඒ වගේ ම සුද්දන්ට රාජකාරි කටයුතු ඉගෙන ගන්න යුනිවර්සිටි කොලීජිය කියල එකක්‌ තිබුණ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය හදනකම් තිබුණෙ කොළඹ යුනිවර්සිටි කොලීජිය යි. ඒකෙ ඉගෙන ගත්තේ සුදු අයත් ලොකු පවුල්වල ටික දෙනෙකුත් විතරයි.

මට ඉගෙන ගැනීමේ ආශාව තදින් තිබුණා. මං දෙවෙනි පන්තියට පාස්‌ උනහම ලකුණු අරන් තිබුණ වැඩියෙන්. ඒ අනුව මට ඩබල් ප්‍රමෝෂන් එකක්‌ දුන්න. එක වරටම දෙකේ ඉඳල තුනට යායුතු මට කෙළින් ම හතරට යන්න පුළුවන් වුණා. ශිෂ්‍යයන්ගේ දැනීම දෙයාකරයක්‌ වුණාම ගුරුවරයාට වැඩ කරන්න අමාරුයි. ඒ නිසයි මාව ඉහළට දැම්මේ. ඒ කාලෙ මුලු ඉස්‌කෝලෙට ම හිටියෙ ගුරුවරු දෙන්නයි. ලොකු මහත්තයා ඇල්ගිරියේ විතාන කියලා. ඉතාම හොඳ මහත්තයෙක්‌. එයා කොණ්‌ඩෙ බැඳගෙන එන්නෙ. අනිත් මහත්තයා සිල්වා කියලා කෙනෙක්‌. එයා බණ්‌ඩාරගම මහත්තයෙක්‌. ඒ කාලෙ ගුරුවරුත් ශිෂ්‍යයොත් බොහෝ දෙනෙක්‌ කොණ්‌ඩෙ බඳිනවා. අපේ පස්‌වෙනි පන්තියේ හිටියා කොණ්‌ඩෙ බැඳපු ළමයි දෙන්නෙක්‌. ඒ පිරිමි ළමයි. ඒ කාලෙ ගම්බද මිනිස්‌සු ඔක්‌කොම වගේ කොණ්‌ඩෙ බඳිනවා. කොණ්‌ඩෙ කැපුවොත් එක පාරටම අහනවා හිරේ ගිහිල්ල කවද්ද ආවෙ කියලා. හිරේට නියම වුණහම අනිවාර්යයෙන්ම කොණ්‌ඩෙ කපනවා.

මහණවෙන්න ආශාව මට කුඩා කාලයේ ඉදළම තිබුණා. අම්මයි තාත්තයි දෙන්නම සිල් ගන්න යනවා මාසෙ පෝයටත් පසළොස්‌වකටත්. ඒ යන කොට බොහෝ දවස්‌වල මාවත් එක්‌කරන් යනවා. එතකොට මට පන්සල දකින්ට ලැබෙනවා. විහාරෙ දකින්ට ලැබෙනවා. හාමුදුරුවරු දකින්ට ලැබෙනවා. මේ පළපුරුද්ද නිසා මට මහණ වෙන්න ආශාව තවත් වැඩි වුණා. පවුලේ අන්තිම දරුවා නිසා (බඩ පිස්‌සා) මාව මහණකරන්න ඕන කියලා මගේ මව්පියන්ගෙත් ලොකු ආශාවක්‌ තිබුණා. පවුලේ දරුවන් අට දෙනෙක්‌නෙ. අටවෙනි දරුවා මහණ කරන්න ඕනේ කියලා තද බල ආශාවක්‌ මව්පියන්ට ඇතිවීමත් සාධාරණ යි. මට හිතෙනවා මගේ පෙර ජාතියක බලපෑමක්‌ ඇතුළතින් ක්‍රියාත්මක වුණා කියලා.

ඔය කාලේ ජෝතිර් ශාස්‌ත්‍රය ගැන මහත් ප්‍රසිද්ධියක්‌ ලබාගෙන හිටියා මත්තක නායක හාමුදුරුවෝ. උන්වහන්සේ වැඩ සිටියේ කොටපිටියේ පන්සලේ. ඒ හාමුදුරුවෝ කොටපිටියේ ඉ`දලා රික්‌සෝ එකෙන් කුරුඳුගස්‌මානානෙ පන්සලට එනවා. එක රාත්‍රියක්‌ ගත කරලයි ආපසු වඩින්නෙ. ඒ ගමනෙදි බෙල්ලන පන්සලටත් වැඩිය කියල ආරංචි වුණාම කේන්දර බලාගන්න ඕනෑ අය කේන්දරත් අරගෙන එනවා පන්සලට. ලේක්‌ හවුස්‌ එක ආරම්භකරන්න නැකත හදල තියෙන්නෙත් ඔය මත්තක නායක හාමුදරුවො. අපේ තාත්තත් මගේ කේන්දරේත් පන්සලට අරන් ගිහින් බලාගෙන ගෙදර ඇවිදින් අම්මාට කීවා කේන්දරේ හොඳයි ළමයාව මහණ කරන්න ඕන කියලා. ඒ වන විට අපේ ගේ ඉස්‌සරහ අලුත් ගෙයක්‌ හදන්න වැඩ ආරම්භ කරල තිබුණ. මාත් ඉතින් පොඩි එකානෙ. එක එක දේවලට උදව් කරමින් තමයි ඒ වෙලාවෙ හිටියෙ. ඒ වෙලාවෙම තාත්තයි අම්මයි මාව මහණ කරන්න තීරණය කරනවා අහගෙන හිටියා. ඒ වෙලාවෙම මගේ ඇඟ ඇතුලෙන් කීරක්‌ ගැහුවා වගේ අමුත්තක්‌ ඇති වුණා. ඒක මොකක්‌ ද කියල අදත් මට කියන්න බැහැ. මං හිතුවා මේක පෙර ජන්මයේ බල පෑමක්‌ කියලා.

ඉතින් මාව පන්සලට බාර දුන්න මහණ කරන්න. පන්සලේ ලොකු හාමුදුරුවෝ තමයි රන්තොටුවිල සෝභිත හාමුදුරුවෝ. උන්වහන්සේ හොඳ උගත් හාමුදුරු නමක්‌. විෙද්‍යාදය පිරිවෙණේ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හාමුදරුවන්ගෙන් ඉගෙනගත්ත ගෝල නමක්‌. මං මහණ වෙන්න ඉස්‌සර වෙලා මේ රන්තොටුවිල හාමුදුරුවෝ විෙද්‍යාදය පිරිවෙන අවසන් කරල පන්සලට ඇවිදින් බෙල්ලන පන්සලේ පිරිවෙනක්‌ ආරම්භ කළා. ඒ 1913 අවුරුද්දේ. නමුත් පිරිවෙන පටන්ගත්ත වෙලාව හොඳ නැති නිසා පිරිවෙන වහන්න සිදු වුණා. ඒ දිනවලම මරක්‌කල කෝලාහලයත් පටන් ගත්තා. පළවෙනි ලෝක සංග්‍රාමයත් පටන් ගත්තා. මේ හේතු නිසා පිරිවෙන කරගෙන යන්න බැරි වුණා.

වර්ෂ 1918 වෙනකන් පිරිවෙන කරගෙන ගිය බවත් පේනවා. ගුරුවරු තුන් නමක්‌ ඉ`දලත් තියෙනවා. අපේ ලොකු හාමුදුරුවෝ එයින් එක නමක්‌. කුඹල්වැල්ලේ සිරිනිවාස හාමුදුරුවෝ තව එක නමක්‌. බෝපිටියේ ජිනරතන හාමුදුරුවෝ තමයි අනිත් හාමුදුරුවෝ. පසු කාලෙක මම ඔය බෙල්ලන පිරිවෙනේ පරිවේණාධිපති පදවියට පත් වුණායින් පසුව මට හම්බවුණා පිරිවෙනේ පැවැත්වූ වාර විභාග ලකුණු පත්‍රයක්‌. ඒකාලයේ පිරිවෙන්වල විභාග පැවැත්වුණේ කවුරුහරි වැදගත් හාමුදුරු නමක්‌ ගෙන්වාගෙන. මොල්ලිගොඩ පිරිවෙන ආරම්භකළ රයිගම නායක හාමුදුරුවො තමයි පිරිවෙනේ විභාගය පවත්වන්න වැඩමවලා තියෙන්නෙ. ඒ එකදාස්‌ නවසිය දහ අටේ දී. ඒක බෙල්ලන පිරිවෙනේ කෞතුක වස්‌තුවක්‌ වශයෙන් තියෙනවා. පිරිවෙන නැත්තටම නැතිවෙලා ගිහිල්ලා තියෙන අතරතුරයි මං බෙල්ලන පන්සලේ මහණ වුණේ. ඔය අතර අපේ ගුරු හාමුදුරුවො රන්තොටුවිල සෝභිත හාමුදුරුවෝ, උන්වහන්සේට මහා ලොකු කරදරයක්‌ වුණා.

උන්වහන්සේ කොටපිටියේ පන්සලේ බණකට වැඩමවලා බණ කියන අතරතුර පන්සල කිට්‌ටුවම මහපාරේ මිනිහෙත් තව මිනිහෙකුට පිහියෙන් ඇණලා මරලා. පිහියෙන් ඇන්න මිනිහා කට උත්තරයක්‌ දී තිබුණා ඒ වෙලාවේ පන්සලේ බණ මඩුවෙ බණ අහමින් හිටියා කියලා. නමුත් ඒ වෙලාවෙ ඒ මිනිහා බණ මඩුවෙ ඉඳලත් නෑ. බණ අහලත් නෑ. මෙතැන දී ලොකු හාමුදුරුවන්ගෙ සාක්‌කිය ලැබුණා නම් මිනිහා එල්ලුම් ගහට යනවා. ලොකු හාමුදුරුවො මොනම සාක්‍ෂියක්‌වත් නොදී පන්සලෙන් පන්සලට යමින් හැංගි හැංගී හිටියා. ඇත්ත කීවොත් මේ මිනිහා එල්ලුම් ගස්‌ යනවා. බොරුවක්‌ කියන්නත් බැහැ ඒක මහණකමට හොඳ නැහැ. ඒ වෙලාවෙ ඒ මිනිහා බණ මඩුවෙ හිටියා කියලා ලොකු හාමුදුරුවො සාක්‍ෂි දුන්න නම් නිදහස්‌ වෙනවා. නමුත් ලොකු හාමුදුරුවො ඉතාම හොඳ විනය ගරුක හාමුදුරු නමක්‌ නිසා සාක්‍ෂි නොදී පන්සලෙන් පන්සලට යමින් කාලය ගත කළා. අවුරුදු දෙකක්‌ විතරම හැංගිලා හිටියා. ඔය ඉතිං ඉංග්‍රීසි ආණ්‌ඩු කාලෙනෙ.

ආචාර්ය
ඉත්තෑපානේ ධම්මාලංකාර
අනු නාහිමි

Monday, September 17, 2012

අතිපූජ්‍ය බෙල්ලන ඥානවිමල මහා නාහිමි

මීට දශක නවයකට පෙර අපේ ගම්වල මිනිස්සු
අදට වඩා සැපසේ ජිවත් වුණා...

මහානායක හාමුදුරුවනේ, මහානායක හාමුදුරුවන්ගේ උපන්ගම බෙල්ලන. බෙල්ලන කියන ප්‍රසිද්ධ ග්‍රාමය පිහිටා තිබෙන්නේ පස්‌යොදුන් කෝරළයේ. පස්‌යොදුන් කෝරළය ගැන, බෙල්ලන ග්‍රාමය ගැන යමක්‌ මුලින්ම දැන ගන්න මා කැමතියි.

මහාපරාක්‍රමබාහු රජතුමා යුද්ධය සඳහා සේනාව රැස්‌කළ, සේනාව සංවිධානය කළ ප්‍රදේශයක්‌ තමයි පස්‌දුන් කෝරළය කියන්නේ. ඕනෑම බුද්ධිමත් දක්‍ෂ රජ කෙනෙක්‌ ඉදිරියේ දී යුද්ධයක්‌ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඉස්‌සරවෙලාම කළයුතු දේ තමයි ප්‍රදේශය හැම අතින් ම සංවර්ධනය කර ගැනීම. කාවන්තිස්‌ස රජතුමා කල්පනා කළා කොහොම නමුත් තම දරුවන් අනාගතයේ රජරට ආක්‍රමණය කරනව කියලා. ඒ අනුව රුහුණත්, දිගාමඩුල්ල ආදී ප්‍රදේශත් ඉතාමත්ම හොඳින් සංවර්ධනය කර ගත්තා. ඒ විතරක්‌ නොවෙයි කුඩා කුඩා ප්‍රදේශ පාලනය කරමින් සිටිය ප්‍රාදේශීය පාලකයනුත් හොඳට සමගි කරවගෙන තමයි යුද්ධයට සූදානම් වුණේ. ඒ වගේම තමයි මහාපරාක්‍රමබාහු රජතුමාත් යුද්ධයට සූදානම් වුණේ. එහෙම බලනකොට පස්‌දුන් කෝරළය විශේෂ ප්‍රදේශයක්‌. මහා යුද්ධයකට අවශ්‍ය ජනතාව ඉතාම හොඳින් සංවිධානය කරගන්න ලැබිච්ච ප්‍රදේශයක්‌. හොඳට බත බුලතින් සමෘද්ධිමත් වූ ජනතාව ඒ නිසාම හොඳ කාය ශක්‌තියක්‌ ද ඇතිව සිටියා. මහා යුද්ධයකට ජනතාව සංවිධානය කිරීම සඳහා පස්‌දුන් කෝරළය තෝරාගැනීමෙන් පේනවා ඒ වන විට පස්‌යොදුන් රට ජනතාව මොන තරම් කායික හා මානසික වශයෙන් ශක්‌තිමත්ව සමෘද්ධිමත්ව සිටියා ද කියන කාරණය.

පස්‌යොදුන් කෝරළයේ පිහිටීම අනුව කියන්න පුළුවන් වගුරු බිම් වැඩි ප්‍රදේශයක්‌ කියලා. පහත් බිම් වැඩි ජලය බහුල ලෙස රැදෙන බිම් කොටස්‌ තමයි පස්‌යොදුන් කෝරළයේ වැඩියෙන්ම තියෙන්නෙ. කොහොම වුණත් පරාක්‍රමබාහු මහරජතුමා ප්‍රදේශය සශ්‍රීක කොට දියුණු කිරීම සඳහා හැම වතුර ඇලක්‌ම වගේ සකස්‌ කළා. ගංඟාවල් සංවර්ධනය කළා. අවශ්‍ය ආකාරයට ජලය ගෙන යැම සඳහා ජල මාර්ග සකස්‌ කළා. ඒ අනුව මුළු ප්‍රදේශයම සශ්‍රීක ප්‍රදේශයක්‌ බවට පත් කළා. ඒ වගේ ම පස්‌දුන් කෝරළේ කඳු ප්‍රදේශත් තියෙනවා. ඒ කඳු ප්‍රදේශවල පුරාණයේ ඉදලම ජනාවාස තිබුණු බවත් පැහැදිලිව පේනවා. ඔය වරාගොඩට එහායින් තියෙන විල්ගොඩ කන්ද, කොලින් කන්ද, පැළෑද පාහියන්ගල කියලා දිගට විහිදී යන කඳු යායක්‌ තියෙනවා.

මහානායක හාමුදුරුවනේ ඔය පාහියන්ගල ගැන දැන් බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙනව නේද?

නෑ ... මම නම් ඔය කියන දේවල් ඔය විදිහට ම පිළිගන්න කැමති නැහැ. ඔය පැත්තේ තියෙනවා පැරණි නාම ගණනාවක්‌. ඒවා පුලහිං, වීරසිං, ජාහිං, පාහිං වශයෙන් සඳහන් වෙනවා. මේ පාහිං කියන එක ම පාහියන් වුණා කියල හිතන්න පුළුවන්. කොහොම උනත් ඈත අතීතයට ඇදිල යන ඉතිහාසයක්‌ මේ පස්‌යොදුන් කෝරළයට තියෙනවා. මේ ප්‍රදේශයේ හරියට පැරණි විහාරස්‌ථාන තිබුණු බවත් පේනවා. ගණේ නම යෙදී තියෙන්නේ ඒ විහාරස්‌ථාන තිබූ ප්‍රදේශවලටයි. ගණේගොඩ, ගණේමුල්ල, ගණේතැන්න, ගණේකන්ද, ගණේගල ආදී ප්‍රදේශ අදත් ඒ නම්වලින්ම ව්‍යවහාර වෙනවා. ඒවා ගණින්වහන්සේලා වාසය කළ ප්‍රදේශයි. ගණේ කියන්නේ විහාරස්‌ථානයටයි. ඒ විහාරස්‌ථානවල සිටින ඇත්තන්ට ගෞරව වශයෙන් පාවිච්චි කළා ගණින්වහන්සේ කියලා. ඒ ගණින්වහන්සේ කියන එකමයි ගණින්නාන්සේ වුණේ.

ගණින්නාන්සේ කියන එක අගෞරවයට වගේ කියනවා. ගණයා, ගණගෙඩියා කියලත් කියනවා. නමුත් ගණින්වහන්සේ කියන එක ගෞරවාන්විත වචනයක්‌. ලංකාවේ සෑම ප්‍රදේශයකම වගේ පාවිච්චි වෙන මේ ගණේ කියන යෙදුමෙන් පුළුවන් තේරුම් ගන්න එදා මේ ප්‍රදේශවල ගණින්වහන්සේලා වාසය කළ බව. විහාරස්‌ථාන තිබුණු බව. ගණේලන්ද පන්සල, ගණේගොඩ දේවාලය වගේ යෙදුම් බස්‌නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලත් දකින්ට ලැබෙනවා. ඒ හැම යෙදුමකින්ම පේන්නේ ඒ ඒ ප්‍රදේශවල විහාරස්‌ථාන තිබුණ බවත් සංඝයා සිටිය බවත් ය. මේ ගණේ කියන යෙදුම් නුවර යුගයටත් වඩා පරණයි. ගණේ කියන්නේ සමූහය කියන තේරුමයි. පස්‌දුන් කෝරළයේ හරියට ගණේ කියන නමින් ස්‌ථාන තිබුණා. ඒ වායේ භික්‍ෂුන් වහන්සේලාත් සිටියා. ගණින්නාන්සේ කියන එක එච්චර පරණ නැහැ. ඒක නුවර යුගයේ සංඝරාජ හාමුදුරුවන් උපසම්පදාව පටන්ගත්තට පස්‌සේ ඇති වූ වචනයක්‌. ඒක ගෞරවාන්විත වචනයකුත් නොවේ. සංඝරාජ හාමුදුරුවන් උපසම්පදාව ලබන කොට ලංකාවේ එකද උපසම්පදා භික්‍ෂුවක්‌වත් සිටියේ නෑ කියන කතාව තව දුරටත් පරීක්‍ෂා කළ යුතු වෙනවා. මොකද විමලධර්මසූරිය රජතුමාගෙ කාලෙ උපසම්පදාව ආරම්භ කරල ගතවෙලා තිබුණෙ අවුරුදු අනූවක විතර කාලයක්‌. ඒ නිසා එක ද උපසම්පදා භික්‍ෂුවක්‌වත් සිටියේ නෑ කියන කථාව ඉතා හොඳින් පරික්‍ෂා කළ යුතු වෙනවා.

මහාවංශයේ තියෙනවා පංචයොජන රට්‌ටේ කියලා. ඒකෙ ඉතාම පැහැදිලිව පේන දෙයක්‌ තමයි පස්‌යොදුන්රට කියන එක පාලියට පෙරලා ගැනීමක්‌ කියලා. ගලපාත විහාර සෙල්ලිපියේ තියෙනවා පස්‌යොදුන්රට කියන යෙදුම. පස්‌යොදුන් කෝරළේ පන්සල කියලයි ගලපාත විහාරය හඳුන්වල තියෙන්නෙ. ගලපාත විහාරය ගැන පොතක්‌ අච්චුගහලත් තියෙනවා. ඒකේ මේ සෙල්ලිපිය තියෙනවා. මට මතකයි කලකට පෙර ගුවන්විදුලි සාකච්ඡාවක්‌ කළා ගලපාත විහාරය ගැන. එහිදී මං ප්‍රකාශ කළා, ගලපාත විහාරය යි වනවාස විහාරය යි කියන්නෙ දෙකක්‌ නොවේ එකක්‌ කියලා. වනවාස කියන්නේ වනවාසී භික්‍ෂූන් වැඩසිටිය කොටස. ගලපාත කියන්නේ ග්‍රාමවාසී භික්‍ෂූන් වැඩසිටිය කොටස.

මහානායක හාමුදුරුවන්ගේ උපදීමේ සිට කුඩා කාලය ගැනත් බෙල්ලන ගම ගැනත් කරුණු ටිකක්‌ සඳහන් කලොත් හොඳයි.

මං උපදින කොටත් බෙල්ලන පහුකරගෙන බස්‌ දුවනවා. ඒ කියන්නේ මීට අවුරුදු අනූතුනකට එහා ඉඳල බෙල්ලන පාරෙ බස්‌ ගියා කියන එකයි. ලත්පඳුර දක්‌වා බස්‌ ගමන් කළා. ඒකාලේ තිබුණෙ එක එක පුද්ගලයන්ට අයිති බස්‌. බස්‌ කොම්පැණි පටන් අරගෙන තිබුණෙ නැහැ. එකදාස්‌ නවසිය හතළිස්‌ ගණන්වලයි බස්‌ කොම්පැණි පටන් ගත්තෙ. මට වයස තුන හෝ හතර කාලෙ බස්‌එකෙන් ගියා කියල මට මතකයි. බෙල්ලනින් බස්‌එකට නැගල ලත්පඳුරට බස්‌ එකෙන් ගියා. ඔය අපේ ගෝලනමගෙ (ලත්පදුරෙ රාහුලගෙ) ගෙදර පිරිත් පිංකමක්‌ තිබුණා. මගේ අම්මා මාවත් එක්‌කරන් පිරිත් ගෙදර ගියා. බස්‌එකට නැග්ගේ බෙල්ලන පන්සල ගාවදි. ඒක මට හොඳට මතකයි. එතන ඉදළ හැතැක්‌ම තුනක්‌ තියෙනව ලත්පඳුරට. ඒ වෙනකෙට මගේ වයස අවුරුදු තුනත් හතරක්‌ ඇති.

ඒකාලෙ ඒ දේවලුත් මහානායක හාමුදුරුවන්ට මතක තියෙනවාද, කියල මා අසන විට මහානායක හාමුදුරුවෝ සිනාසුනහ.

එතකොට පාරෙ තාරදාල තිබුණෙ නැහැ. කළුගල් දාලා ඇන්ජින් රෝලෙන් තලල තිබුණා. ඒ කාලෙත් කාර් තිබුණා. මතුගම කාර් කීපයක්‌ ම තිබුණා. පවුල් කීපයකට විතරයි කාර් තිබුණේ. ඒ කාලෙ හයර් දුවන කාර් තිබුණෙ නෑ.

මට මෙතනදී කියන්න පුළුවන් ඒ කාලේ මිනිස්‌සු දැනට වඩා සැපසේ ජීවත් වුණා කියලා. ජනගහනය හිටියෙ ටිකයි. හොඳට කුඹුරු තිබුණා. හැම ගෙදරකට ම වගේ මීහරක්‌ එළහරක්‌ කොටස්‌ දෙකම හොඳට හිටියා. කිරිපැණි හොඳට තිබුණා. එළවලු කොටුවක්‌ හැම ගෙදරකටම තිබුණා. අපේ ගෙදරටත් ඒ ඔක්‌කොම දේවල් අඩුවක්‌ නැතුව තිබුණා. හොඳ පිරිසිදු වතුර තිබුණා. බොන්නත් නාන්නත් ඉතාම හොඳ වතුර තිබුණා. කුඹුරු මඩවන්න වගේම ගොයම් පාගන්නත් හරකුන් යොදා ගත්තා. ඒකාලෙ ගොයම් කපල එක සැරේට ගෙදරට ගේන්නෙ නෑ. පාවර කියල කුඩා බිම් ප්‍රදේශයක්‌ කුඹුරුයාය අද්දරම තියෙනවා. එතැන රවුමට මඩුවක්‌ හදල තියෙනවා. ඒ මැද කණුවක්‌ තියෙනවා. හරකුන් බැඳගෙන රාත්‍රියට තමයි වැඩිපුර ගොයම් පාගන්නේ.

අපිත් පුංචිකාලේ ඒවාට සම්බන්ධ වුණා. ඒවාට සම්බන්ධ වීම හරිම විනෝදයක්‌. ගොයම් පාගන්නෙත් පාවරේ. වී මණින්නෙත් පාවරේ. ඒ කාලෙ තිබුණු තත්වය ඒකයි. අපට අයිති එළවළු කොටුවකුත් තිබුණා. ඒකෙ අල, බතල, එළවළු හැම දෙයක්‌ ම තිබුණා. ඒකට යන්න මාත් හරි කැමතියි. මොකද ඒ ගියාම බතල ගලවගෙන පුච්චගෙන කාල තමයි අපි ආපහු එන්නෙ. පුංචි මඩුවකුත් තිබුණ කොටුව ඇතුළෙ. ඒ වගේම කොහොම වත්ම වගේ නිවන්න බැරි ලිපකුත් තිබුණ මඩුව ඇතුළෙ. ඒක පොල්කටු අඟුරෙන් දැල්වෙන ලිපක්‌. ඒ මඩුවේ හරක්‌ බලන්න නවත්ත ගත්ත මිනිහෙකුත් හිටියා. ඒ මිනිහගෙ නම නම් මට හරියට මතක නෑ. දුම්පොල්ලා කියල සමහරු කිව්වා.

ඉතින් ඔය කාලේ මහනායක හාමුදුරුවො කුඩා කාලෙ. ඒ කුඩා වයසේ ගෙදර අය අවසර දුන්නද ඔය කොටුවේ පැලට යන්න.

දුම්පොල්ලා පැලේ නැති දවස්‌වලට අපේ ලොකු අයියා යනවා ඔය කොටුව රකින්න පැලට. එතකොට මාත් කොහොම හරි යනවා. විනෝදෙට කැමති නිසයි යන්නෙ. සමහර දවස්‌වල වල් ඌරොත් ආව බව මට මතකයි.

ඔය කාලෙ බෙල්ලන ගමේ හු`ගක්‌ ජනගහනය හිටියද?

ඇත්තවශයෙන් ම බෙල්ලන ගම ලොකු ගමක්‌. ඒ නිසා හත් අට සීයක්‌ විතර ජනගහනය හිටිය කියල කියන්න පුළුවන්. එක එක වැඩ කරන අය එක එක කොටස්‌වල ජීවත් වුණා. රෙදි අපුල්ලන අය එක කොටසක හිටියා. රිදී රත්තරන් වැඩ කරන අය තව කොටසක හිටියා. වඩුවැඩ කරන අය තවත් කොටසක හිටියා. කම්මල් වැඩ යකඩ වැඩ කරන අයත් එක කොටසක හිටියා. ඒ විතරක්‌ නොවෙයි ශාන්තිකර්ම කරන අයත් තවත් කොටසක හිටියා. ඒ කාලේ හැම ලොකු ගමකම ඔය කොටස්‌ වෙන වෙන ම හිටියා. ගම ආසන්නයේම තිබුණා ලොකු වනාන්තරයක්‌. ඒක ඩී. ඇස්‌. සේනානායක අගමැතිතුමාගේ කාලේ අක්‌කර දෙක බැගින් මිනිස්‌සුන්ට බෙදල දුන්නා. ඒ නිසා ගම වඩාත් විශාල වුණා. ඒ කන්ද හැඳින්වූයේ පනාදඬු කන්ද කියලා. ඔය කාලෙ වෙන විටත් බෙල්ලන පන්සල හොඳට තිබුණා. බෙල්ලන පිරිවෙන පටන් ගත්තේ පස්‌සෙ කාලෙ. ඒ වගේම බෙල්ලනට ඉස්‌කෝලෙකුත් තිබුණා. අපේ තාත්ත ඉගෙන ගත්තෙත් ඒ ඉස්‌කෝලෙ, මං ඉගෙන ගත්තෙත් ඒ ඉස්‌කෝලේ. දැන් ඒක බෙල්ලන මහා විද්‍යාලය. ඒ ඉස්‌කෝලෙ පටන් ගත්තෙ ඉංග්‍රීසි ආණ්‌ඩු කාලෙ. එකදාස්‌ අටසිය ගණන්වල අවසාන හරියෙ. ඒකාලෙ බාලක-බාලිකා කියල ඉස්‌කෝල දෙකක්‌ වශයෙන් තිබුණෙ. ගමේ නිතරම තිබුණෙ ගැහැණු - පිරිමි වශයෙන් කොටස්‌ දෙකකට බෙදුණු ඉස්‌කෝල. නගරවල බොහෝ විට එකටම තිබුණා.

ඔය කාලේ ගැහැණු ළමයි ඉස්‌කෝලෙ යනවා අඩුයි. ගැහැණු ළමයින්ට අකුරු උගන්වන එක හොඳ නෑ කියල සම්මතයක්‌ තිබුණා. අපේ අම්මා මතුගම නගරයේම කෙනෙක්‌. නමුත් අම්මා අකුරු ඉගෙන ගෙන නැහැ. අම්මා අකුරු ඉගෙන ගත්තේ තාත්තා කසාද බැන්දට පස්‌සෙ තාත්තගෙන්. මතුගමත් ගැහැණු ළමයින්ට ඉස්‌කෝල තිබුණා. ඉගෙන ගත්තාම ගැහැණු ළමයි නරක්‌ වෙනවා කියලා ගැහැණු ළමයි ඉස්‌කෝලෙ යවන්න මව්පියෝ කැමති වුණේ නැහැ.

මේ තත්ත්වය ඉක්‌මණින් වෙනස්‌ වුණා ද මහානායක හාමුදුරුවනේ. වෙනස්‌ වුණානම් ඒකට හේතුව මොකක්‌ ද?

ඒකට හේතුව තමයි සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහත්තයාගේ අධ්‍යාපන වැඩපිළිවෙළ. නිදහස්‌ අධ්‍යාපනයේ පළමුවන මධ්‍ය මහා විද්‍යාලය මතුගම තමයි පටන් ගත්තෙ. එතුමා නිදහස්‌ අධ්‍යාපනයේ පියාණෙ. ඒ කාලෙ ඉස්‌කෝලෙ හැඳින්වුණේ කන්නන්ගර මහා විද්‍යාලය කියලා. ඔය කාලේ අදිකාරම් මහත්තයගෙත් තිබුණ, අධ්‍යාපන වැඩ පිළිවෙළක්‌. එතුමා මතුගම පටන්ගත්ත ආනන්ද විද්‍යාලය නමින් පාසැලක්‌. කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයේ ශාඛාවක්‌ වශයෙන් තමයි ඒක පටන් ගත්තෙ. මතුගම කතෝලික ඉස්‌කෝලෙකුත් තිබුණා සෙන් මේරීස්‌ කියලා. ඒකත් පරණයි. ඒකාලෙ දුප්පත් කියන අය අඩුයි. කාටත් හොඳට කන්න බොන්න තිබුණා. කවුරුත් සතුටෙන් ජීවත් වුණා. කයියට වැඩ කළේ දෙන්නටම කුඹුරු ඉඩම් තියනෙවා නම් විතරයි. එහෙම නැත්නම් වැඩකළේ කුලියට. හැබැයි කුලියට කියන්නේ ගොයම් කැපුවාම වී කුරුණිය යි, ගොයම් පෑගුවාම වී කුරුණි දෙක යි. ඒක තමයි කුලිය. හවස ගෙදර එනකොට ඒකත් අරගෙනයි එන්නෙ.

මේ අතර දිවෙල් දීමකුත් තිබුණා. ඒ අය එන්නෙ පරණ අවුරුද්දට. රෙදි අපුල්ලන අය, බුලත් කෑමට හුණු පුච්චන අය, ඒ ඔක්‌කෝට ම දෙන්නෙ වී හාල් එළවළු ආදිය යි. එක එක ගෙවල්වලින් එකතුවුනාම මහ ගොඩක්‌. ඒවා ඔක්‌කොම කරත්තවල පටවගෙන අරන් යනවා. ඒ අයත් ඒ ක්‍රමවලින් පොහොසත් වෙනවා. වළන් හදන අයත් එනවා. ඒ ගොල්ලන්ටත් වී හාල් තමයි දෙන්නෙ. හැම ගෙදරකටම හොඳට වී හාල් තියෙනවා. කොටුවේ එළවළු තියෙනවා. කිරි, හරකුන්ගෙන් ලැබෙනවා. වත්තේ කිතුල් ගහක්‌ දෙකක්‌ මදිනවා. එයින් පැණි හකුරු ලැබෙනවා. ඔය අතර හැම ගෙදරකට ම වගේ රබර් ටිකකුත් තිබුණා. රබර් විකුණලා ගන්න සල්ලිවලින් කඩේට ගිහින් දුරු මිරිස්‌ පහේ ටික, කරෝල ටික ගන්නවා. අඳින්න රෙදි කෑල්ලක්‌ ගන්නවා. බොහොම සතුටින් කවුරුත් ජීවත් වුණා. ඒ කාලෙ අඳින්න රෙදි ගත්තේ අවුරුද්දට විතරයි. අද වගෙ හැමදාම රෙදි ගැනීමක්‌ නැහැ. අවුරුද්දට කලින් දවසේ ගෙවල්වල හදන කැවිලි පෙවිලි හැම දෙයක්‌මත් හාල්, පොල් ආදී දේවලුත් නොවරදාවාම පන්සලටත් ගේනවා. මේ හැම දෙයක්‌ ම ගෙනාවාම විශාල ප්‍රමාණයක්‌. අද නම් මේ තත්ත්වය හු`ගාක්‌ අඩුයි.

ආචාර්ය
ඉත්තෑපානේ ධම්මාලංකාර
අනු නාහිමි