Saturday, December 1, 2012

ලොව සුන්දරම මරණයට ඔබටද හිමිකමක්‌ ඇත...


ලොව සුන්දරම මරණයට ඔබටද හිමිකමක්‌ ඇත...
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....

සතර අපායෙන් මිදෙමු 16 වැනි කොටස....

ධර්මය තුළ ජීවත්වන පිංවත් ඔබට, ඔබගේම ජීවිතය දෙසට හොඳින් සිත යොමුකරලා බැලුවහොත්, වැරැද්ද, නිවැරැද්ද හොඳින්ම පෙනෙනවා. ධර්මය කියලා කියන්නේ අනිත්‍යයට. යමක්‌ අනිත්‍ය යෑයි අපි නුවනින් දකින කොට, ඒ කෙරෙහි බිය සකස්‌ වෙනවා. මොකද ඒ වෙනස්‌ වන දෙයක්‌. මේ වෙනස්‌වීම නොදන්නා කෙනා, ස්‌වභාවයෙන්ම වෙනස්‌ වන දෙයක්‌ වෙනස්‌ නොවී පවත්වා ගැනීමට වෙහෙස ගන්නවා. එතැනදියි දුක සකස්‌ වෙන්නේ. සද්ධර්මයෙන් ඈත්වීම නිසා නිත්‍ය සංඥාවන් තුළින් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මයන් ගැනීමෙන් වර්තමාන සමාජය ලෝභය, ද්වේෂය, මෝහය තුළින් ඔද්දල් වෙලයි තියෙන්නේ. විනාශය දැක දැකත්, විනාශය ගැන කථා කරමින්ම, එහි ආදීනව දකිමින්ම විනාශය දෙසටමයි සැවොම ගමන් කරන්නේ.

තෘෂ්ණාව, ඔබට ලස්‌සනට පාර පෙන්වනවා තව වේගවත්ව ඉදිරියට යන්න. ද්වේෂය ඔබට ඇති තරම් ආත්මශක්‌තිය ලබාදෙනවා, හිරි ඔතප් හීන කරලා දෙනවා, ඇති වන ඕනෑම බාධකයක්‌ මැඩගෙන ඉදිරියට යන්න. මෝහය ඔබට ආශිර්වාද කරනවා 'මේ මාර්ගයමයි සැප ඇති මාර්ගය' කියලා තව තවත් ඒත්තු ගන්වන්න. දුකේ කළ්‍යාණ මිත්‍රයන් තිදෙනාගේ ඇකයේ උණුසුමට තුරුල් වුණාම දැනෙන ගොරෝසු පහසට ඔබ හරිම කැමතියි. මේ කුණු සැපය විඳිමින්ම ඔබ පන්සල් යනවා. සිල් සමාදන් වෙනවා. දානමානත් දෙනවා. සද්ධර්මයත් ශ්‍රවණය කරනවා. ඒ කියන්නේ මොකද්දෝ බියකුත් තියෙනවා. සැබැවින්ම, ඒ බියත් සකස්‌ කරලා දෙන්නේ ලෝභ, ද්වේශ, මෝහය විසින්මයි.

තමන් කැමති කරන්නා වූ කුණුසැපයේ ආරක්‍ෂාව උදෙසා, අර්ථයෙන් තොරව ජීවිතයේ කොනක්‌ ධර්මයේ ගැට ගසනවා. තමා තමාවම රවටාගන්නවා. කුණු සැපයේ ආරක්‍ෂාව උදෙසා ධර්මයේ රැකවරණය අපේක්‍ෂා කරනවා.

මෙය තමයි සැබෑම පෘතග්ජනභාවය. අයෝනිසෝමනසිකාරය. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ වර්ධනය උදෙසා, දියුණුව උදෙසා ධර්මයේ පිහිට සොයනවා. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ මිදීම උදෙසායි අප සද්ධර්මයේ සරණ සෙවිය යුත්තේ. වර්තමාන සමාජය ගමන් කරන්නේ සද්ධර්මයේ අර්ථයට පරස්‌පර විරෝධී ගමනකයි. මමත්වයේ දැඩිභාවය නැමැති, ඔබ හඳුනා නොගත් කුණු හැව, සකස්‌ වෙන පංච උපාදානස්‌කන්ධයන්ගෙන් වෙලී ඇති නිසා, සැබෑ මාර්ගය වැසී නොමගටමයි පාර පෙන්වන්නේ.
වැරදි මාර්ගය ඔස්‌සේම නිවැරදිවීමට යැමේ පුංචි සිද්ධියක්‌ පිංවත් ඔබට මෙහි සටහන් තබනවා.
මෙය සටහන් තබන භික්‍ෂුව හමුවට ධර්මය අහන්න එන ශ්‍රද්ධාවන්ත දරුවෙක්‌ ඉන්නවා. ඔහු විවාහකයෙක්‌. ළමා වයසේ දරුවන් කිහිපදෙනෙක්‌ ඉන්නවා. මේ මහත්මයා සද්ධර්මය නිසාම ජීවිතය නිවැරදි කරගත් අයෙක්‌. දිනක්‌ මේ මහත්තයා කියනවා 'දරුවන්ගේ අකීකරුකම් නිසා, මගේ බිරිඳට හරියට කේන්ති යනවා. එයාට කොච්චර කිව්වත් කේන්තිගන්න එපා කියලා, මොහොතකින් එය අමතක වෙනවා. හැබැයි මම කියලා කියලා දැන් හුඟක්‌ අඩුවෙනුයි කේන්ති ගන්නේ' කියලා.

දවසක්‌ ඒ නෝනාට කේන්ති ගිය වෙලාවක මහත්තයා උපක්‍රමයක්‌ වශයෙන් කියලා තියෙනවා 'ඔයා කේන්ති ගන්න නිසා ඔයාගේ මුහුණ දැන් කැත වෙලා. ඒ නිසා ඔයා කේන්ති ගන්න එපා' කියලා. ඒත් මහත්තයා එහෙම කියපු වෙලාවේ ඉඳලා ඒ නෝනා කරන්නේ මිල ගණන් අධික, ලස්‌සන වෙනවාය කියන ක්‍රීම් වර්ග අරගෙන මුහුණේ ආලේප කරන කටයුත්තලු.

බලන්න. වැරදි මාර්ගය ඔස්‌සේමයි අපි නිවැරදි වෙන්න හදන්නේ.
ලෝකය නිවැරදි කරන්න අපට බැහැ. ඒ නිසා ලෝකය කමටහනක්‌ කරගෙන පිංවත් ඔබ නිවැරදි වෙන්න. ලෝකය නිවැරදි කරන්න බැරි බව නුවණින් හඳුනාගෙනම....

එවිටයි ඔබට පුලුවන් වෙන්නේ වඩාත් නිවැරදි තැන ඔබගේ සිත පිහිටුවාගන්න. වඩාත් නිවැරදි තැන තමයි සද්ධර්මය.

'අනිච්ජාවත සංඛාරා' සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි. ඔතැනම තිබෙනවා, ලෝකය නිවැරදි කරන්නට බැරි බවට බුදුරජාණන් වහන්සේ දෙන සහතිකය. පිංවත් ඔබ ධර්මයේ අර්ථයට විවෘත වෙන්න. එවිට එය සමාජයටත් ආදර්ශයක්‌ වේවි. සංස්‌කාරයන්ගේ අනිත්‍ය බව තමයි ලෝකයේ තිබෙන සංකීර්ණභාවයට, අධිවේගීභාවයට හේතුව. පිංවත් ඔබ සෑම මොහොතකම මෙනෙහි කරන්න 'මම මැරෙණවා'ය කියන කාරණය. නැවත මැරිලා ඉපදෙනවාය කියන කාරණය. පාංශකූලය, හත්දවසේ, තුන්මාසේ පිංකම්.... සාම්ප්‍රදායික මළගෙදරක චාරිත්‍ර වෙනුවට මිය යැමට පෙරම ඔබ, මරණින් මතු සුරක්‍ෂිත පුද්ගලයකු වන්න. එවිටයි ඔබට අවස්‌ථාව ලැබෙන්නේ ඔබම රැස්‌කරපු සංස්‌කාර හේතුවෙන් ලබන භවය අනුන්ගේ පිං ගොටුවකින් යැපීමට අවශ්‍ය නොවන තැනට පත්කරගන්න.

කෙනෙක්‌ මැරුණාට පසු ඔහුගේ මරණය ගැන කම්පා නොවී, ජීවත්ව සිටින විට තමාගේ මරණය ගැන සිතන්න. මරණයත් සමග ජීවත්වෙන්න. එය හරිම සුන්දර ඇත්දැකීමක්‌. මරණයේ සුන්දරම අත්දැකීම ලබන්නේ රහතන්වහන්සේය. මරණය උන්වහන්සේට ආශිර්වාදයකි. මංගල කාරණාවකි. උන්වහන්සේ අවිද්‍යාව අවසන් කර ඇත. ඒ උත්තමයා දුකත්, සැපත්, උපේක්‍ෂාවත් අනිත්‍ය බව ප්‍රත්‍යක්‍ෂ කොට ඇත. ඒ උත්තමයාගේ මරණය හුදු ක්‍රියාවක්‌ පමණක්‌මය. එය මේ ලෝකයේ ඇති සුන්දරම මරණයයි. මාර්ගඵලලාභී දෙව් බඹුන් සාධුකාර දෙන මරණයයි. අනෙකුත් දෙවිවරුන්ට ශෝක උපදවන මරණයයි. මාර පිරිස අත්පොළසන් දෙන මරණයයි. මහපොළොවට පස්‌වන ඇටකැබලිත් පූජණීයත්වයට පත්වෙන මරණයයි.

බලන්නකෝ මරණයක තිබෙන වටිනාකම. අපි මරණය අඩු ලංසුවෙන්, අසුබ ලංසුවෙන් සැලකුවත්, බලන්න, මරණයක ඇති ගාම්භීරත්වය, ප්‍රෙෘඩත්වය. කොටින්ම එය මරණයක්‌ නොව නිවී යැමකි. ඔබට මට නොදැනුනාට, රහතන්වහන්සේගේ මරණය අභියස ලෝක ධාතුව කම්පා වෙයි. ලෝක ධාතුව කම්පාවන්නේ, රහතන්වහන්සේ අවබෝධ ඥාණයෙන් ලෝක ධාතුව කම්පාකළ අයෙකු හෙයිනි. අයෝමය සතරමහා ධාතුව විනිවිද දකිමින් අවබෝධ කළ හෙයිනි. මුළු ලෝක ධාතුවම අනිත්‍යාවබෝධයෙන් හෙළිකොට ගෙන, මුලාව විනිවිද අවබෝධය කරා ගිය හෙයිනි. ඔහුට ලෝකය තවත් හිස්‌ දෙයක්‌, ඵලයක්‌ නැති දෙයක්‌ පමණක්‌මය.

මේ තරම් අර්ථවත් මරණයක්‌ ධර්මය තුළ තිබියදී, තුණ්‌ඩු කෑල්ලක නම ගම ලියා පරදත්තරූප ජීවී ප්‍රේත ප්‍රේතියන්ට පිංදෙමින් අපි මරණයට මොන තරම් අවනම්බුවක්‌ ද, අගෞරවයක්‌ ද කරන්නේ. හිතන්න. ඔය සාම්ප්‍රදායික තුණ්‌ඩු කැබැල්ල බිමින් තියලා 'මට නම් ඔය අනුන්ගෙන් පිං ගන්න මරණයක්‌ එපා'ය කියලා. ශ්‍රද්ධාව, වීර්යය මදභාවය නිසා එච්චර හිතන්න බෑ කියමුකෝ. ඉන් මෙහා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ශීලයෙන් පරිපූර්ණ පිංවතා, පිංවතිය මැරෙන්නේ සිහිනුවණින් සාධුකාර දෙමින්ය කියලා. කවුද මේ ශීලයෙන් පරිපූර්ණ පිංවතා? ඒ සතර අපායෙන් මිදුණ පිංවතායි. මරණින් මතු ඔහු ලබන උපත මොන තරම් ශ්‍රේෂ්ඨ උපතක්‌ වේවි ද? ඇයි අපි එවැනි මරණයකට සූදානම් නොවන්නේ.

ලොකු හෝටලයක තිබෙන මඟුල් උත්සවයකට අඳින සාරිය ගැන හිතනතරම්වත් අපි මරණය ගැන හිතන්නේ නැහැ. ඒකෙන් අදහස්‌ වෙන්නේ, සාරිය ගැන ඔච්චර හිතන්නේ සාරිය දවටගන්න ඔය කය, මරණයට පත්වෙන කයක්‌ කියලා නොසිතනා එකමයි. පිංවත් ඔබට මරණය අමිහිරි අත්දැකීමක්‌. අනුන්ගේ මරණය ගැන කථාකරන අපි තමාගේ මරණය ගැන සිතීමටත් බිය වෙනවා. අසුන්දර මරණයක්‌ අභියස ඇති අසුන්දර කථන්දරය වගේම සුන්දර මරණයක්‌ අභියස ඇති සුන්දර නව ජීවිතය මොන තරම් චමත්කාරජනකද? ලෙඩ ඇඳේ ජීවත්වන අවුරුදු හැත්තෑපහේ මහළු පිංවතා ද යදින්නේ ජීවිතයයි. ඔහු තුළ ඇත්තේ ද ජරා, ව්‍යාධි, මරණ පමණක්‌මය. එහෙත් ඔහුගේ බලාපොරොත්තුව ජීවීතයයි. ධර්මය සරණ කර නොගත් පුද්ගලයා නිරතුරුවම සැප - දුක පටලවාගනී. දුක, සැපයක්‌ කරගන්නා ඔහු සැබෑ සැපයට බියවෙයි. සැබෑ සැපයට අපතුළ බිය සකස්‌ කරන්නේ අකුසලයයි.

පිංවත් ඔබ, මරණයට වටිනාකමක්‌ ලබාදීම උදෙසාම, මරණින් මතු හේතුඵල ධර්මයන්ගෙන් සකස්‌වෙන නව ජීවිතයට වඩාත් හොඳ වටිනාකමක්‌ ලබාගැනීම පිණිසම මේ සටහන උපයෝගිS කරගන්න. මෙය කියවා ඔබ තුළ ජවයක්‌ සකස්‌කර ගන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබේ සිතේ ඇතිකර ගන්න. රහතන් වහන්සේගේ, රහත් භික්‍ෂුණීන් වහන්සේ නමකගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබේ සිතේ ඇතිකරගන්න. මාර්ගඵලලාභී උපාසක, උපාසිකාවගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබේ සිතේ ඇතිකර ගන්න.

 සටහන් තබන වේලාව රාත්‍රී 1.30යි. නින්ද අහලකවත් නැහැ. පංච නීවරණ පළාගොසින්. සද්ධර්මයට ඇති හිරිඔතප් දෙක නිසා අදහස්‌ එනවා, දෝරෙගලාගෙන. භික්‍ෂුව ඒ අදහස්‌ ඉදිරියේ අනිත්‍ය සංඥාව තබන්නේ නැහැ. පිංවත් ඔබගේ යහපත උදෙසාම... පිංවත් ඔබලාට නොදන්නා යමක්‌ දැනගැනීම උදෙසාම.... මේ ගලා එන්නේ අදහස්‌ නොව කරුණාවයි. මේ කරන්නේ සටහනක්‌ තැබීම නොව ධර්මයේ සංදිට්‌ඨික ගුණයේ අර්ථයයි. මේ මධ්‍යම රාත්‍රිය ගෙවී උදාවන අලුයම ආකාශය සිසාරා සියුම් සංගීත රාවයක්‌ පැතිරෙනවා. හොඳින් අවධානය යොමු කරන විට ඒ දිව්‍ය සංගීතයයි. සංගීත හඬ, ජයමංගල ගාථාවල සංගීත ස්‌වරයයි. සංගීත ස්‌වරය බොහොම පැහැදිළියි. ඒ කියන්නේ දෙවියන් ආයුෂ, වර්ණය, සැපය, බලය ලැබේවා කියලා සිල්වත් ලෝකයාට ප්‍රර්ථනා කරනවා. ආශිර්වාද කරනවා. දෙවියන් ඒ ආකාරයට ආශිර්වාද කරනු ලබන දිව්‍ය සංගීත හඬ ඇසෙනවිට භික්‍ෂුවට හොඳටම විශ්වාසයි මේ මොහොතේ භික්‍ෂුව අපවත් නොවෙන බව. අතීත සංස්‌කාරයන් තව ගෙවීමට ඇති නිසයි මේ මොහොතේ ජීවත්වෙන්නේ. නමුත් මීළඟ නිමේශයේ දිව්‍ය තල වලින් ශෝකී සංගීත රාවයක්‌ භික්‍ෂුවගේ ශ්‍රොaත වලට ඇසුණහොත් භික්‍ෂුව අනිවාර්යයෙන්ම දන්නවා තමා දැන් මරණයට සූදානම් වෙන්නේ කියලා.

බලන්න මොනතරම් ආශ්චර්යමත් ධර්මයක්‌ද ඔබ ඉදිරියේ තිබෙන්නේ කියලා. මෙයයි ධර්මයේ සංදිට්‌ඨික ගුණය. තමා ජීවත්වන බවත්, තමා මැරෙන මොහොතත් දැනුවත්වයි ඔහු ජීවත්වෙන්නේ. පිංවත් ඔබ ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන්, දේවානුස්‌සතියෙන් පරිපූර්ණ නම් ඔබ මැරෙණ මොහොත දෙවියන් දන්නවා. දෙවියන් ඔබට පාවඩ එලනවා දිව්‍ය තලයකට. බලන්න. මොන තරම් ආශ්චර්යමත් ධර්ම මාර්ගයක්‌ද? මරණය කියන කාරණය මොන තරම් සුන්දර මංගල්‍යයක්‌ද? පිංවත් තරුණ ඔබ දෑඟිලි බැඳලා, අත්පැන් වත්කරලා, පෝරුවට නැගලා, ජයමංගල ගාථා කියවලා මංගල්‍යයක්‌ කරගතහොත් ඒ බැඳුණු මොහොතේ පටන් ඔබ මොන දුක්‌කන්දරාවක්‌ද විඳින්නේ. 'මම' කියන දුක වෙනුවට තව 'මගේ' කියන දුක්‌ කීයක්‌ කරගහගන්න සිද්ධවෙනවාද? පිංවත් ඔබ බැඳෙන සාම්ප්‍රදායික මෝහ මූලික බැඳීම් මංගල්‍යවලට වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම මාර්ගය ඔබේ සහකරු, සහකාරිය කරගතහොත් එයයි සැපයම ඉතිරිය කරගත් සැබෑම මංගල්‍යය. අපි 'මරණය මරණය' යෑයි අඳෝනා තැබුවද, ධර්මයට අනුව මෙතැන මරණයක්‌ නැහැ. පුද්ගලයෙක්‌ මැරෙණ නිමේශයේම ඊළඟ ප්‍රතිසන්ධිය සකස්‌කර ගන්නවා. රැස්‌කර ගන්නා වූ සංස්‌කාරයන්ට අනුරූපීව. අපි මෝහය නිසා කුණුවෙන මළකුණක්‌ එම්බාම් එකෙන් සරසවලා, ඒකට මඟුල් ඇඳුම අන්දවලා අඬනවා, වඳිනවා, විලාප තබනවා. අපි මේ විලාප තබන්නේ ඒ මොහොතේ භවයේ කොතැනක හෝ උපත ලබා ඇති සත්වයෙක්‌ වෙනුවෙන්. අන්න ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ මළකුණකට වටිනාකමක්‌ නොදී මරණින් මතු ලබන භවය සැපවත්කර ගැනිSම උදෙසාම මාර්ගය කියා දෙන්නේ. මෙතැනදීත් අපිට පැහැදිළියි බුදුරජාණන් වහන්සේගේ ධර්මය මරණය ගැනම කථා කරන ධර්මයක්‌ නොව, මරණින් මතු සැපයටම මාර්ගය කථා කරන ධර්මයක්‌ කියලා. පිංවත් ඔබයි මෝහ මූලිකව මරණයක්‌ බදාගෙන ධර්මයේ නැති දුකක්‌ උපදවා ගන්නේ, තෘෂ්ණාවේ දැඩිභාවය නිසාම....

ශ්‍රද්ධාව අඩු පිංවතුන් නිරතුරුවම මැසිවිලි නගනවා, සද්ධර්මයට එරෙහිව. 'බුදුරජාණන් වහන්සේ දුක ගැනමයි කියන්නේ' කියන කාරණය 'ධර්මයට අනුව ගියොත් අපට අඹුදරුවන්, දේපල තනතුර අත්හරින්නයි වෙන්නේ' කියන කාරණය. නමුත් ගිහි පිංවතුන්ලාට ධර්ම මාර්ගයට අදාළව ඉහත කාරණා කිසිවක්‌ අතහරින්න යෑයි කොතනකවත් දේශනා කරලා නැහැ. පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ඉහත සැප සම්පත් පරිහරණය කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ ගිහි පිංවතුන්ලාට දේශනා කරන්නේ. නමුත් පිංවත් ඔබ අත්හැරීමට ගන්නා උත්සහයේ තරමටම දුක අඩු වෙනවා කියන කාරණය ප්‍රකාශ වෙනවා. පිංවත් ඔබට, බුදුරජාණන් වහන්සේ මරණය ගැන නිතරම මෙනෙහි කරමින් ජීවත්වෙන්න කියලා කියන්නේ, පිංවත් ඔබට මරණය පෙර සඳහන් කළ පරිදි මංගල්‍යයක්‌ කරගන්න මිස හඬමින් විලාප තබමින් කරන අවමංගල්‍යයක්‌ තත්ත්වයට පත්කර ගැනීමට නොවේ. පිංවත් ඔබ මරණයට පෙර සූදානම් වුවහොත් පමණයි ඔබට මරණය මංගල්‍යයක්‌ කරගන්න අවකාශ ලැබෙන්නේ. එම මරණය නැමැති මංගල්‍යයේදී සශ්‍රික දිව්‍යතල වල දෙවියන්, දිව්‍යාංගනාවන් ජයමංගල ගාථා සංගීත ස්‌වරය නගමින්ම ඔබව දිව්‍ය තලවලට පිළිගන්නවා. මේ මනුෂ්‍ය ලෝකයේ කුණු, ජරා, ව්‍යාධි මරණ සැපය වගේද පිංවතුනේ බුදුරජාණන්වහන්සේගේ ධර්මය තුළින් ඔබට පෙන්වන ශ්‍රද්ධාවේ, ශීලයේ, දානයේ පංචඋපාදන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වන සැපය. ධර්මයෙන් පිංවත් ඔබට කථාකරන්නේ ඉහත මංගල්‍යයක්‌ වන මරණය නමුත් ශ්‍රද්ධාව අඩු පිංවතුන් 'මරණය' ලෙස දකින්නේ මොන තරම් මෝහ මූලික දෘෂ්ඨිගත මරණයක්‌ද?

ඉන්ද්‍රජිත් සුබසිංහ
2012 නොවැම්බර් මස 25 වැනිදා ඉරිදා දිවයින

Saturday, October 13, 2012

තවම මට භාෂා හයක්‌ හො`දින් හසුරුවන්න පුළුවන්...

තවම මට භාෂා හයක්‌
හො`දින් හසුරුවන්න පුළුවන්....

භාෂා කිහිපයක්‌ම කතා කරන්න පුළුවන්වීම නිසා පෙර ජාතිවල යම් බලපෑමකූත් තියෙනවා කියලා ඔබවහන්සේට කියන්න පුළුවන්ද?

සමහර රටවල ඉපදෙන සමහර ළමයින්ට කිසිම භාෂාවක්‌ ඉගෙන ගන්නේ නැතිව භාෂා කිහිපයක්‌ කථා කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මා හිතනවා ඒ තත්ත්වයට පෙර ජාතිවල යම් කිසි බලපෑමකුත් තියෙනවා කියලා. මා මහණ වෙච්ච දවසේ ඉඳලම පාලි ඉගෙන ගත්තා. මගේ කුඩා වයසට හිතා ගන්න බැරි තරමට පාලි භාෂාව ඉගෙනීමෙන් දියුණුවක්‌ ලබා ගත්තා. පාලි භාෂාව ඉතාම ආසාවෙන් මා කියෙව්වා. මට නම් රසවත් භාෂාවක්‌ පාලි. ඊට පසුව සංස්‌කෘත භාෂාව ඉගෙන ගන්න පටන් ගත්තා. සංස්‌කෘත භාෂාව ඉගෙන ගනිද්දී මූලික පංතිවලදීම මා ඒ පිළිබඳව විශේෂ දක්‍ෂතාවක්‌ පෙන්නුම් කළ බව මට මතකයි.

සිංහල මව් භාෂාව නිසා එය ඉගෙනීම වැඩියත් පහසු වුණා. ප්‍රාචීන මධ්‍යම විභාගයත් ගත්තට පස්‌සෙයි මා ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තේ. එතකොට මට අවුරුදු 23 ක්‌ 24 ක්‌ විතර ඇති. ඉංග්‍රීසි ඉගෙන ගන්න අප ජීවත් වන ප්‍රදේශයේ හෝ අවට ප්‍රදේශවල කිසිම පහසුකමක්‌ තිබුණේ නෑ. ඉංග්‍රීසි ඉගෙනීම එදත්a නගරවලට සීමා වෙලයි තිබුණේ. ඒ නිසා මා ගුරුවරයකු පිරිවෙනට ගෙන්වාගෙන පුද්ගලිකව ඉංගී්‍රසි ඉගෙන ගත්තා.

වයස විසි පහේදී පමණ හින්දි භාෂාව ඉගෙන ගැනීමටත් පටන් ගත්තා. ඒක අපේ අල්ලපු රටේ රාජ්‍ය භාෂාව. පුළුල් දියුණු සාහිත්‍යයක්‌ ඇති භාෂාවක්‌ හින්දි. ඒ වගේම මටසිලුටු භාෂාවක්‌. මං හින්දි භාෂාව ඉගෙන ගත්තෙත් හරිම ආශාවෙන්. පසු කාලේ මං හින්දි භාෂාව හොඳට ඉගෙන ගෙන අනිත් අයටත් උගන්වලා හොඳ හින්දි උගතුන් කිහිප දෙනෙකුත් බිහි කළා. මට විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් හින්දියෙන් ලියා තිබෙන ශාස්‌ත්‍රීය වටිනා විශාල ග්‍රන්ථ සමූහයක්‌ සිංහලයට පරිවර්තනය කොට හින්දි උගතෙකු වශයෙනුත් පරිවර්තකයෙකු වශයෙනුත්, මේ රටේ ප්‍රසිද්ධියක්‌ ලබා සිටින ආචාර්ය හිරිපිටියේ පඤ්ඤාකිත්ති ස්‌ථවිරයන් වහන්සේ. දෙමළ භාෂාවත් මා ඉගෙන ගත්තා. හැබැයි දෙමළ භාෂාව ඉගෙන ගැනීමට මගේ විශේෂ උනන්දුවක්‌ තිබුණෙ නැහැ. මම ඉගෙනගත් භාෂාවලින් ලියන්න කියන්න කථාකරන්න පුළුවන්කම මට තියෙනවා. අද බොහෝ දෙනෙක්‌ භාෂා ඉගෙන ගැනීමට උනන්දුවක්‌ දක්‌වන්නේ නැහැ. එක එක විෂය ඉගෙන ගැනීමට තමයි උනන්දුවක්‌ දක්‌වන්නේ. ඉංග්‍රීසි ඉගෙන ගැනීමට නම් තරමක උනන්දුවක්‌ තියෙනවා.

අප ඉගෙන ගන්න කාලෙ ඇත්ත වශයෙන්ම අපි ඉගෙන ගත්තා. අද ගුරුවරයා උගන්වනවා විතරයි, ශිෂ්‍යයා ඉගෙන ගන්නෙ නැහැ. එදා ශිෂ්‍යයා ගුරුවරුන්ට කරදර කරකර ඉගෙන ගත්තා. මේ වෙනස අද පැහැදිලිව පේනවා. ඉංග්‍රීසි ඉගෙන ගැනීමට එක්‌තරා උනන්දුවක්‌ තිබුණත් භාෂාවක්‌ වශයෙන් ඒකත් හරියට ඉගෙන ගන්නෙ නැහැ. ඉංග්‍රීසි විතරක්‌ නෙමෙයි මව් බස වන සිංහල භාෂාව ඉගෙන ගැනීමත් අද ඉතාම දුර්වලයි. සිංහල භාෂාව හරියට ලියන්න කියන්න දන්න පිරිස එන්ට එන්ට අඩුවේගෙන යන බවත් පේනවා. ලියෑවෙන පොත පත අනුව පමණක්‌ නොවෙයි, මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය හරහාත් සිංහල භාෂාව ඉතාම අවාසනාවන්ත ලෙස පිරිහෙන බව කනගාටුවෙන් නමුත් කියන්න සිදුවෙනවා. භාෂා ඉගෙනීම පිළිබඳ ඉතාමත් දියුණු ක්‍රම දැන් භාවිත කරනවා. නමුත් අපේ රටේ ඒ දියුණුම ක්‍රම භාවිතා කරලත් ලබා දෙන්නෙ ඉතාම සීමිත දැනුමක්‌ පමණයි. මා මේ විෙද්‍යාaදය පිරිවෙනේ පත්වීමක්‌ ලැබිලා ගුරුවරයෙක්‌ වශයෙන් ඉගැන්වීමට පැමිණියේ එකදාස්‌ නවසිය හැත්තෑ හයේ අවුරුද්දේදී. මා පිරිවෙනේ සිංහල, පාලි, සංස්‌කෘත, හින්දි යන භාෂා හතරම ඉගැන්නුවා. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධි සඳහා ඉගෙනුම ලබන ශිෂ්‍යයන් වෙනුවෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් යම් යම් පාඩම් ඉගැන්නුවා. ප්‍රාකෘත භාෂාවත් මට හොඳට හුරුයි. භාෂා පහක්‌ හයක්‌ හොඳට දන්න භික්‍ෂූන් වහන්සේලා දැන් ලංකාවේ බොහොම හිඟයි.

අපේ රටේ භික්‍ෂූන් වහන්සේලාට ඉංග්‍රීසියෙන් කථා කරන්න, ඉංග්‍රීසියෙන් දේශනයක්‌ කරන්න හුරුකමක්‌ ඇති නොවන්නේ බොහෝ විට එවැනි අවස්‌ථා නොලැබීම නිසා කියා මා හිතනවා. ඉතාමත් කලාතුරකින් තමයි භික්‍ෂූන් වහන්සේලා ඉංග්‍රීසි දැනගෙන හිටියත් ඉංග්‍රීසි කථාකරන පිරිසක්‌ මැදදි ඉංග්‍රීසියෙන් කථා කරන්නේ. එසේ කථා කිරීමට බියක්‌ දක්‌වනවා. සමහර විට එය ලැඡ්ජාවක්‌ කොට සලකනවා. මෑත කාලයේ ඉංග්‍රීසි කථා කරන ඕනෑම පිරිසක්‌ මැදදි, ඉංග්‍රීසියෙන් කථා කළ අදහස්‌ හුවමාරු කළ හාමුදුරු නමක්‌ තමයි කාලයක්‌ම ගුරු සේවයේ යෙදී සිටි අපවත් වී වදාළ ගලපාත ෙ€මානන්ද හාමුදුරුවෝ. මටත් ඉංග්‍රීසි භාෂාව හසුරුවන්න හොඳ හැටි අවස්‌ථාව ලැබුණා. අවුරුදු කීපයක්‌ම ඉන්දියාවේ සහ එංගලන්තයේ වාසය කිරීම නිසා විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව හසුරුවන්න අවස්‌ථාව ලැබුණා.

අපි ඉන්දියාවට යන කාලයේ ඉන්දියාවයි ලංකාවයි සැලකුවේ එක රටක්‌ වශයෙන්. ඒ දවස්‌වල ඉන්දියාවට යන්න පාස්‌පෝට්‌ තිබුණේ නෑ. ඒ කාලෙ බොහෝ දෙනා ඉන්දියාවට ගියේ කෝච්චියෙන්. කෝච්චියෙන් ගිහින් ඊළඟට නැවට නගිනවා. නැවෙන් බැහැල නැවතත් කෝච්චියට නගිනවා. ඊළඟට ඉන්දියාව. අතේ තියෙන සල්ලි ටික කස්‌ටම් එකට දීලා ඒ ගානට සමාන ඉන්දියන් සල්ලිත් අරගෙන ඉන්දියාවට යනවා. නමුත් මා ඉන්දියාවේ අවුරුදු තුනක්‌ විතර ගත කරල ආපසු එන විට පාස්‌පෝට්‌ එකතුත් අරගෙනයි එන්න සිද්ධ වුණේ. ඒ වන විට මුලින් තිබුණ නීතිරීති හුඟක්‌ වෙනස්‌ වෙලා. අප ඉන්දියාවේ ඉන්න අවස්‌ථාවෙ තමයි ලංකාව නිදහස්‌ රාජ්‍යයක්‌ බවට පත්වුණේ. ඒ එකදාස්‌ නවසිය හතළිස්‌ අටේ පෙබරවාරි හතර වැනිදා.

බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙනට ස්‌වර්ණමය යුගයක්‌ උදා වීම ගැන ඔබවහන්සේට මතක්‌ කරන්න පුළුවන්ද?

කේaන්දරේ කියන හැටියටත් ස්‌වභාව ධර්මයේ හැටියටත් තමයි කර්මානුරූපව අප කාගේත් ජීවිත ගෙවිල යන්නෙ කියල කීවොත් හුඟාක්‌ම නිවැරදියි කියලා මා හිතනවා. බුද්ධගයා සෙන්ටර් එකේ කටයුතු කරමින් සිටින විට කවදාවත් නැතිව මට පපුවෙ අමාරුවක්‌ හැදුණා. ඉක්‌මනට ගිහිල්ලා ඉන්දියන් දොස්‌තර මහත්තයෙක්‌ හම්බ වුණා. පෙනහැල්ලේ වතුර කියලා ඔහු කීවා. මා සෑහෙන තරම් බියට පත් වුණා. ඒ දොස්‌තර මහත්තයාගේ කීම ගැනම නොසිතා මා ගියා මගේ ඉතාම හිතවත් මුස්‌ලිම් දොස්‌තර මහත්තයෙක්‌ හමුවන්න. ඔහු මාව හොඳට පරීක්‍ෂා කරල කීවා මේකට වෙදකම් කරන්න නම් පුළුවන්, නමුත් මෙහේ තියෙන දේශගුණය හොඳ මදි. ඒ නිසා ඉක්‌මනින් ලංකාවට ගිහින් වෙදකම් ගන්න එක හොඳයි කියලා ඔහු කීවා. අන්තිමට ඔහු මගෙන් ඇහුවා ඔබ වහන්සේගේ අදහස මොකක්‌ද කියලා. මා ඒ වෙලාවෙම කල්කටාවට කථා කරල මගේ තත්ත්වය කීවා. කල්කටාවෙන් මට උපදෙස්‌ ලැබුණෙ මගේ වැඩ කොටස්‌වලින් සෑහෙන ප්‍රමාණයක්‌ පරවාහැර පඤ්ඤානන්ද ස්‌වාමීන් වහන්සේට පවරලා හැකි ඉක්‌මනින් ලංකාවට වඩින්න කියලයි. ලංකාවට ඇවිදින් දින දෙක තුනක්‌ ගතවන විට අර අසනීපය නිකම්ම ඇරිල ගියා. කොටින්ම එහෙම ලෙඩක්‌ මට තිබුණද කියලා හිතා ගන්නවත් බැරි වුණා. අදත් ඒ ගැන හිතන කොටත් පුදුමයි. ඇත්ත වශයෙන් මේ ලෙඩේ මට වැළඳුණේ මා ලංකාවට ගෙන්වා ගැනීමේ අනියම් හේතුවක්‌ වශයෙන් කියල මට අද හිතෙනවා. ඒක මගේ දෛවය වෙන්ටත් ඕනෑ.

මා ලංකාවට ඇවිදින් දින කීපයක්‌ ගතවන විට මට තේරුණා අප ඉගෙන කියාගත් අපේ බෙල්ලන පිරිවෙන හොඳටම පිරිහීමට පත් වෙලා කියලා. අවුල් වියවුල්වලින් පිරී ඉතිරී තිබෙන බවත් තේරුම් ගියා. හිතා ගන්නවත් බැරි තරමට පිරිවෙන පිරිහිලා පහතට වැඩිලා තිබුණා. ඒ වන විට එතන හිටිය පරිවේණාධිපතීන් වහන්සේ එතරම් දියුණු තත්වයට හිටි කෙනෙක්‌ නෙමෙයි. ඒ මදිවට ඒ වන විට උන්වහන්aසේගේ ඔළුවත් නරක්‌ වෙලා. ප්‍රකෘති මානසික තත්වයක්‌ උන්වහන්සේට තිබුණෙ නැහැ. පිරිවෙනේ ඉන්න අනික්‌ ඔක්‌කෝම කියන්න පටන් ගත්තා මට දැන් ඉතින් ඉන්දියාවට යන්න එපා, මේ පිරිවෙන භාරගෙන කටයුතු කරන්න කියලා. එතනදි මා බොහෝ දේවල්a ගැන හිතුවා. මගේ ගුරුවරු වැඩ හිටිය භූමිය මේක. මා ඉගෙනගත් තැන මේක. අන්තිමට මා මගේ හිතේ දැඩි අධිෂ්ඨානයක්‌ ඇති කර ගත්තා ඉන්දියා ගමන අත්හැරලා දාලා පිරිවෙන රැක ගන්න ඕන කියලා. ඒ වන විට පිරිවෙනේ හිටියේ පස්‌ නමයි. අවුරුදු තුන හතරක්‌ ගතවන විට දිවයිනේ තියෙන හොඳම පිරිවෙනක්‌ බවට පත් කරන්න මට පුළුවන්කම ලැබුණා. ඒ මා ලැබූ ලොකුම ජයග්‍රහණයක්‌ වශයෙනුත් කල්පනා කරනවා. ඒ කාලයේ මා මහණ කළ උගන්වලා හදාපු ගෝලයන් තමයි අද ධර්මපාල පිරිවෙන ඉතාමත් හොඳින් කරගෙන යන්නෙ. අද එදාටත් වඩා හොඳින් බෙල්ලන පිරිවෙන පවත්වාගෙන යනවා. ඒක මා ලබන ලොකුම සතුටක්‌. මේ කොළඹ පළාතේ පන්සල්වල ගුරුවරු පවා ගෝලබාලයන් හොඳට හදා ගැනීමට බෙල්ලන පිරිවෙනට ගොහින් භාරදෙන අවස්‌ථා මා කොතෙකුත් දැක තියෙනවා.

මහා නායක හාමුදුරුවනේ... ජ්‍යෝතිර් විද්‍යාව ඉගෙන ගැනීම භික්‍ෂූන්ට සුදුසුයි ද?

මා ජ්‍යෝතිර් විද්‍යාවට සම්බන්ධවීම ගැනත් මෙහිදී විශේෂයෙන් යමක්‌ සඳහන් කරන්නට වෙනවා. මට වයස අවුරුදු දහය වන විට හිතුණා ජ්‍යෝතිර් ශාස්‌ත්‍රය ඉගෙන ගන්න ඕනෑ කියලා. දේශීය වශයෙන් බොහෝ දේ ආරක්‌ෂා කර ගැනීමේ ගෞරවය මුල සිටම හිමි වුණේ මේ රටේ භික්‍ෂූන් වහන්සේලාටයි. සාහිත්‍ය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, භාෂාව, සංස්‌කෘතිය ආදී හැමදෙයක්‌ම ආරක්‍ෂා කර ගත් පිරිස වශයෙන් භික්‍ෂූන් වහන්සේලාට මුළු මහත් ඉතිහාසය පුරාම විශේෂ ගෞරවයක්‌ හිමි වී ඇති බව රහසක්‌ නොවෙයි. ඒ අතර දේශීය වෙදකමත් ජ්‍යෝතිෂයත් එක සේම ඉගෙන ගෙන එයින් මහජනතාවට හැමදාමත් භික්‍ෂූන් වහන්සේලා සේවය කර තියෙනවා. ධර්ම විනය දෙකට සම්බන්ධ කාරණා හැරුණාම අනෙකුත් ලෞකික අංශයට අයිති දේවල් ඉගෙන ගැනීමේ වරදක්‌ මා දකින්නේ නෑ. හැබැයි ඒවා ඉගෙන ගෙන එයින් සේවයක්‌ පොදු මහත් ජනතාවට කළ යුත්තේ නිස්‌සරණාධ්‍යාෂයෙන් යුතුවයි. මුදල් උපයන ව්‍යාපාර බවට ඒවා පත් කර ගැනීම නම් සතුටු වෙන්න බෑ.

මා දන්න හාමුදුරු නමකගෙන් ඉස්‌සර වෙලාම කේන්දරයක්‌ හදන්න ඉගෙන ගත්තා. ඊට පසුව ඒ විෂය ගැන දන්නා අයගෙන් යම් යම් දේ අසා දැන ගත්තා. වයස විසි එක වන විට මට සංස්‌කෘත පොත පත කියවා තේරුම් ගැනීමට තරම් සංස්‌කෘත භාෂාව හුරු වුණා. සමහර සංස්‌කෘත පොත් මා ඉන්දියාවෙන් ගෙන්වා ගත්තා. ඒ පොත් තනියෙන් කියවා තේරුම් ගත්තා. මේ විදියට තැන් තැන්වලින් කරුණු කියවා දැනගෙන, සමහර කාරණා එක එක්‌කෙනාගෙන් අසා දැනගෙන මගේ දැනුම දියුණු කරගත්තා. මට මතක ඇති හැටියට මා ඉස්‌සර වෙලාම කේන්දරයක්‌ හැදුවේ 1938 අවුරුද්දේ. එදා ඉඳන් එක දිගටම මා මේ විෂය ගැනත් ඉගෙන ගන්නවා. දිගින් දිගටම අලුත් අලුත් දේ හම්බ වෙනවා. ඒ හැම දෙයක්‌මත් මහත් ආසාවෙන් ඉගෙන ගන්නවා.

මේ ජ්‍යෙdතිර් විද්‍යාව ගැන මාත් නිතර නිතර පර්යේෂණවල යෙදෙනවා. එයින් මා ලබා ගන්න යම් යම් වටිනා දේ ජ්‍යෝතිෂ වැඩ කරන හැමදෙනාටම ඉතා සතුටින් බෙදා දෙනවා. ඇත්ත වශයෙන් මේ විෂය පිළිබඳ මා විසින්ම පර්යේෂණ කරල හොයා ගත් දේ කිහිපයක්‌ තියෙනවා. ඒ අනුව දැන් මට පුළුවන් මාර්ග උපදේශනයක්‌ කරන්න ජීවිතයක්‌ කරදරයක්‌ නැතිව ගත කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව. පුද්ගලයන් පුද්ගලයන්ට ගැළපීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ කරුණක්‌ මෙහිදී මට මතක්‌ වෙනවා. "ධාතු සෝව සත්තා සංසන්දන්ති සමෙන්ති" වදාළ ධර්මයට අනුව ඒ ඒ පුද්ගලයන් ඔවුනොවුන්ට ගැළපෙන්නේ, සම්බන්ධවන්නේ පවත්නා ගතිගුණ අනුවයි. සාරිපුත්ත මහරහතුන් වහන්සේගේ අනුගාමික ශ්‍රාවක පිරිසගෙන් කොටසක්‌ කඩාගෙන දෙව්දත් තෙරුන් වහන්සේ එක අවස්‌ථාවකදි කළ දේ ප්‍රසිද්ධයි. දෙව්දත් තෙරුන් පිටුපස ගිය ඒ ශ්‍රාවකයන් ගැන බුදුරජාණන් වහන්සේ කළ දේශනාව අද වුණත් සියලු දෙනා විසින් සිතිය යුතු වෙනවා.

මිනිස්‌සුන්ට යම් යම් කරදර හිරිහැර විපත් දිගින් දිගට පැමිණෙන විට එයින් ගැලවීම සඳහා නොයෙක්‌ දේවල් කරනවා. කේන්දර බලනවා, බලි තොවිල් නටවනවා, ශාස්‌ත්‍ර බලනවා තව තව නොයෙක්‌ දේවල් කරනවා. මෙයින් යන්ත්‍ර මන්ත්‍ර ගැන මම නම් මොකුත් කියන්නේ නෑ. සෙත් කවි මාර්ගයෙන් බොහෝ දෙනාට සෙතක්‌ ශාන්තියක්‌ ලැබිය හැකි බව මම බොහෝ සෙයින් විශ්වාස කරනවා. හැබැයි ඒක දැන ඉගෙන ගෙන කළ යුතු දෙයක්‌. නැත්නම් ඒක වස්‌ කවියක්‌ වෙන්නත් පුළුවන්. ඒක තාවකාලික ශාන්තියක්‌. සති කිහිපයකට හෝ මාස කිහිපයට පමණයි. ඉන් පසු ඒවා කියවන්න ඕනෑ කමකුත් නෑ. කිසිම කෙනෙක්‌ සෙත් කවියක්‌ දිගටම කියවන්න උනන්දු වෙන්නෙත් නැහැ. එසේ කියවීම අවශ්‍ය වෙන්නෙත් නැහැ. ලෙඩක්‌ සුව වුණහම බෙහෙත් බොන්න කව්රුවත් කැමති වෙන්නේ නැහැනේ.

මා ජ්‍යෝතිෂය ඉගෙන ගත්තට පස්‌සෙ සෙත් කවි කලාවත් ඒ අනුව ඉගෙන ගත්තා. වයස අවුරුදු විස්‌සේදී පමණ මා සෙත් කවි ලියන්න පටන් ගත්තා. මා ලියූ සෑම සෙත් කවියක්‌ ම පාහේ සාර්ථක ප්‍රතිඵල ලබා දුන්නා. ඔය පැනලා ගිය අය සොයා ගැනීමට, ගෙන්වා ගැනීමට මා හැදූ එක සෙත් කවියක්‌වත් කවදාවත් වැරදිලා නෑ. ඒක මා නොයෙක්‌ විට අත්හදා බලලා තියෙනවා.

දවසක්‌ මා ළගට ආවා තරුණ කාන්තාවක්‌. කාරණය තමන්ගේ ස්‌වාමි පුරුෂයා තරහවෙලා පැනලා ගිහිල්ලා. මා සෙත් කවියක්‌ හදල දුන්නා. දින දෙක තුනකට පස්‌සෙ ඒ දෙන්නම ආවා මාව හමුවෙන්න. මම ඇහුවා ඔය ළමයට මොකද හිතුණෙ කියලා. මා සෙත් කවිය හදපු වෙලාවත් කියලයි එහෙම ඇහුවේ. "ඒ දවසෙ ඒ වෙලාවෙ ඉඳලා මට හිතුණෙ ගෙදර යන්නමයි." ඒ ළමයා කිව්වා. පසුවදා උදේ වෙනකම් මා ඉවසාගෙන ඉඳලා පසුවදා ගෙදර ආ බව ඔහු කිව්වා. ඒ අනුව සෙත් කවිය හදලා පැය විසි හතරක්‌ ඇතුළත ප්‍රතිඵල ලබා දුන්න බව පේනවා.

තවත් අවස්‌ථාවක අවුරුදු දහනවයක විතර පිරිමි ළමයෙක්‌ ස්‌කෝලෙ ගිය ගමන් පැනලා ගිහිල්ලා. මව්පිය දෙපළම මා ළඟට ආවා. මා සෙත් කවියක්‌ හදලා දුන්නා. දවසක්‌ දෙකක්‌ කියවන විට ළමයා ගෙදර ආවා. ආව හැටි ඒ ළමයාත් දන්නෙ නැහැ. හම්බන්තොට පැත්තෙ ඉඳලයි ඇවිත් තියෙන්නේ. ගමේම ගෙදරකට ඇවිත් ළමයා වැටිලා තියෙනවා අසිහියෙන් වගේ. මට කියන්න බැහැ හරියටම කොහොමද මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නෙ කියලා.

මා සමහර අවස්‌ථාවලදී හිතුවක්‌කාර ලෙස කටයුතු කළත් හැම විටම ආත්ම සංවර්ධනයක්‌ වූ බව නම් ඉතාම පැහැදිලි ය. මුදල් එකතුකරගෙන, ඒවා ගොඩ ගහගෙන පොහොසත් වෙන්න ඕනෑ කියන අදහසක්‌ මට කවදාවත් ම තිබුණේ නැහැ. හැමදාම ලැබෙන දේකින් තියෙන දේකින් ඒ ඒ වෙලාවට වැඩ කළා. ඒ වගේම අනාගතේ අසවල් තැනට එන්න ඕනෑ කියන ඉලක්‌කයක්‌ ඇතුව වැඩ කළෙත් නැහැ. යන පැත්තක ගියාවේ කියලා හිතාගෙන වැඩ කළා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් වර්තමානයේ ජීවත් විය යුතුය යන්නයි. අනාගතයේ හෝ අතීතයේ ජීවත් නොවිය යුතු බව උන්වහන්සේ දේශනා කොට තිබෙනවා. මට අනාගත සැලසුම් අරමුණු තිබුණෙම නැහැ. නමුත් මහන්සියෙන් වැඩ කළා. මේ ගමන වැඩ කිරීමෙන්ම ආ ගමනක්‌ කියලයි මට හිතෙන්නේ.

මහනායක පදවිය ලැබුණට පස්‌සේ මා කරන ලද ප්‍රකාශයක්‌ ගැන කව්රුත් වගේ මහත් සේ ප්‍රසාදය පළ කළා. ඒ ප්‍රකාශය තමයි "මා මේ පදවිය ලබා ගැනීමට හිතලවත් තිබුණෙ නැහැ. මේ ගැන කාටවත් කිව්වෙත් නැහැ. කාගෙන්වත් මේ පදවිය ඉල්ලුවෙත් නැහැ. ඒ වෙනුවෙන් කිසිම දෙයක්‌ කළෙත් නැහැ. මා දිගටම කරගෙන ආවේ මගේ ප්‍රතිරූපය සංවර්ධනය කිරීම පමණයි.

ආචාර්ය
ඉත්තෑපානේ ධම්මාලංකාර
අනු නාහිමි

Friday, September 28, 2012

පැවිදි පඬි මිණිපහන්



අප හැදුණෙ ගමත් පන්සලත්
ඉතා සමීපව සම්බන්ධ වුණු සමාජයක
බෙල්ලන ඤාණවිමල මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රවීණ බෞද්ධාචාර්ය වරයෙකු, ප්‍රශස්‌ත ගත් කතුවරයකු, ගැඹුරු ධර්මධරයකු, සාර්ථක ධර්ම දූතයකු, තැන්පත් බුද්ධිමතකු, විශේෂඥ භාෂාන්තර විෂයාන්තර නිපුණයකු, නිවහල් චින්තකයකු, ආදර්ශවත් සංඝ පීතෘවරයකු වශයෙන් අපට හඳුනාගත හැකිය. කළුතර නාගොඩ ශ්‍රී සෝභිත සංඝාරාමාධිපති රාජකීය පණ්‌ඩිත අග්ගමහා පණ්‌ඩිත ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමලාභිධාන කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රීධර්ම මහා සංඝ සභාවේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ උපතින් අනූතුන්වන වියට පා තබා වැඩ සිටිති. උන්වහන්සේගේ ජීවිතයේ සැඟව ගිය අතීත පවත ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමියෝ ලියති. මේ එම ලිපි මාලාවේ දෙවන ලිපියයි.

ඔබවහන්සේ පුංචි සන්දියෙ අදට වඩා මිනිසුන්ගේ සමගිය සමාදානය හොඳ හිත වැඩිද?

හු`ගාක්‌ වැඩියි. එක ගෙදරක වැඩක්‌ උනහම ගමේ අනික්‌ ගෙවල්වල අය හුඟක්‌ සහභාගී වෙනවා. මං පොඩිකාලේ අපේ ගෙදර බලියක්‌ කළා. නටන අය, බෙරගහන අය හුඟක්‌ ආවා. කිරිමැටිවලින් බලි රූප හැදුවා. මේ බලිරූප හදන්නෙ බිම තියාගෙන. ඊළඟට බලි කෙලින් කරනවා කියලා විශේෂ දෙයක්‌ තියෙනවා. ඒක ලොකු වැඩක්‌. ඒ වෙලාවට අවට ගෙවල්වල ඉන්න ඔක්‌කොම වගේ එකතු වෙනවා. තිස්‌පැය තුනක්‌ විතර එක දිගට බලි යාගය කරනවා. පිටින් එන අයත් කැවිලි පෙවිලි හදාගෙන තමයි එන්නෙ. එක ගෙදරක මරණයක්‌ වුණොත් ඒ ගෙදර අය උයන්නෙ නැහැ. ළඟ තියෙන ගෙවල්වලින් තමයි මළ ගෙදර අයටත් එන යන අයටත් කෑම දෙන්නෙ. මේ සිරිත නම් අදත් බොහෝ ප්‍රදේශවල දකින්නට තියෙනවා. මළ බත කියල එකකුත් තියෙනවා. ඒකත් අද බොහෝ ප්‍රදේශවල දකින්නට තියෙනවා. ඒකාලයේ සමාජයේ කා අතරත් හොඳ බැඳීමක්‌ තිබුණා.

මහානායක හාමුදුරුවනේ, ඒ කාලෙ අපරාධ වුනත් බොහොම අඩුයි නේද?

අහන්නවත් නෑ. මිනීමැරුමක්‌ කියන එකක්‌ අහන්නවත් ලැබෙන්නෙ නැහැ. සමාජයේ හැම කොටසකට ම ඒ අයට වෙන් වෙච්ච වැඩ කොටසක්‌ තිබුණා. ඒ අය ඒ ටික හරියට කළා. බුදුදහමින් ලැබුණු පෝෂණයත් සමාජ ක්‍රමයත් අනුවයි මේවගේ ලස්‌සන සමාජයක්‌ ගොඩ නැගී තිබුණෙ. ගෙවල්වල ඉන්න හැදෙන වැඩෙන තරුණ තරුණියන් අදට වඩා හුගක්‌ වෙනස්‌ කියලයි මට හිතෙන්නෙ. ගෙදරක ඉන්න නිසි වයසට ඇවිත් තියෙන ගැහැණු ළමයෙකුට හොඳ පිරිමි ළමයෙක්‌ සොයා දීම ගැන හැම දෙනාම උනන්දු වෙනවා. ඒ වගේම හොඳට හැදුණු වැඩුණු තරුණයෙක්‌ ඉන්න ගෙදරක ඒ තරුණයාට ගැලපෙන ගැහැනු ළමයෙක්‌ සොයා දීම ගැනත් දන්න කියන හැම දෙනාම වගේ උනන්දු වෙනවා. ඉතාම හොඳ සමාජයක්‌ තමයි තිබුණෙ. ඒ සමාජය තුළ ගුණ ධර්ම හොඳින් ආරක්‍ෂා කරගෙන හිටියා. ඒ කාලෙ මඟුල් කපුවොත් අද වගේ අය නොවෙයි. ඒ පිළිබඳ තොරතුරු නියම විදිහට ම පැහැදිලි කරනවා. සත්‍යයම කියනවා. එකල දකින්නට ලැබුණෙ ඔවුනොවුන්ට උදව් කරන සමාජයක්‌. හැම දෙනෙක්‌ ම හැම දෙයක්‌ ම කරන්නෙ උදව්කිරීමේ අරමුණ ඇතිවයි. සුදුසු ගැහැනු ළමයෙකුට සුදුසු පිරිමි ළමයෙක්‌ සොයා දීමත් උදව්වක්‌ වශයෙන් තමයි කල්පනා කළේ. යහපත් සමාජයක්‌ කියන්නේ එවැනි සමාජයකට. හොඳ ලස්‌සන යහපත් සමාජයක්‌ හැම තැන ම දකින්නට ලැබුණා. ඒවගේ ම කරන ලද ඒ උදව් ගැන හිතල දිගට ම ඒ අයත් එක්‌ක සම්බන්ධකම් පවත්වනවා.

පිරිමි ළමයි වුණත් ඉගෙනීම සඳහා තිබුණ උනන්දුව අඩුයි. ගම්බද ඉස්‌කෝලෙක ඉගෙන ගෙන අන්තිම වශයෙන් කරන්න පුළුවන් දේ තමයි ගුරුකම. ඒ නිසා ඉතින් පිරිමි ළමයි උනත් ලොකු උනන්දුවක්‌ දැක්‌වූයේ නෑ ඉගෙන ගන්න. කලාතුරකින් නොතාරිස්‌ විභාගෙ පාස්‌ කරල නොතාරිස්‌ කෙනෙක්‌ වශයෙන් රාජකාරි කරන අයත් හිටියා. ඒ කාලේ ඉස්‌කෝල ගුරුවරයෙකුට ලැබුණ පඩිය මාසයකට 07.50 යි. ඒ නුපුහුණු ගුරුවරයෙකුට. පුහුණු ගුරුවරයෙකුට රු 18 ක්‌ ලැබුණා. මා ගිහින් තියෙනවා පරණ ගුරුවරු විශ්‍රාම ලබන උත්සවවලට. ඒ වගේ උත්සවවලදී ඒ ගුරුවරු කථා පවත්වන විට කියනවා අපට පඩි වශයෙන් ලැබුණෙ මෙච්චරයි කියලා. සමාජය පුරුදු වෙලා හිටියේ, ගුරුවරයා පූජනීය වස්‌තුවක්‌ වශයෙන් සැලකීමට යි. සමාජය තුළ ඒ වගේ හැගීම් පැල පදියම් වෙලා තිබුණා. ඒ වගේ අදහස්‌ සමාජය තුළ පැලපදියම් වෙලා තිබුණෙ ඔය ගණදෙවි හෑල්ල, සකස්‌කඩය වගේ පොත් මුල ඉදල ම කියවීම නිසයි කියල මට හිතෙනවා.

ඔබවහන්සේ පුංචි සන්දියේ පන්සල හා ගම අතර තිබුණ සම්බන්ධය මොනවගේ එකක්‌ද කියලා ඔබ වහන්සේට මතක්‌ කරන්න පුළුවන්ද?.

ඔය කාලේ බෙල්ලන පන්සල හොඳට තිබුණා. විහාරාධිපති හාමුදුරුවන් කියන විදිහට අනික්‌ ඇත්තන් කටයුතු කරගෙන ගියා. ගුරුවරයාට පිටින් ගෝලයෝ වැඩ කළේ නැහැ. ගුරු-ගෝල සම්බන්ධයක්‌ හොඳට තිබුණා. ඒකාලෙ පන්සල්වල මහණවෙලා හිටියේ ඒ ඒ ගම්වලම ඇත්තො. අල්ලපු ගමේ ඊළඟ ගමේ ඇත්තන් තමයි හිටියෙ. පිටින් ආව ඇත්තන් හිටියේ ම නැති තරම්. ඒ නිසා විශාල බැඳීමකුත් තිබුණා. අපේ හාමුදුරුවෝ කියන හැ`ගීම තදින් තිබුණ. බොහෝ විට කොහෙන් හරි නෑදැ සම්බන්ධකමක්‌ තිබුණ. මේ ගමේ ළමයෙක්‌ තමයි එහා ගමේ මහණ වෙලා හිටියෙ. එහා ගමේ නැනිනම් ඊට එහා ගමේ ළමයෙක්‌ තමයි මේ ගමේ පන්සලේ මහණ වෙලා හිටියෙ. ඒනිසා දායක දායිකාවන්ගේ සම්බන්ධතාවත් ඉතා හොඳින් තිබුණා. හාමුදුරුවන්ගෙ සම්බන්ධතාවත් ඉතා හොඳින් තිබුණා. කලාතුරකින් නුවරින් හෝ දකුණින් ඇවිදින් මේ පන්සල්වල මහණවෙලා හිටියෙ. නැතිනම් ඒ පළාත්වල හාමුදුරුනමක්‌ ඇවිදින් පන්සලක්‌ හදාගෙන පදිංචි වෙලා හිටියා. එහෙම වුණහම දායකයන්ගෙ බැඳීම හු`ගක්‌ අඩු වුණා.

බොහෝ විට ඒ කාලයේ හාමුදුරුවරු හැඳින්වූයේ ගමේ නමින් මයි. බෙල්ලන හාමුදුරුවෝ, මාලේවන හාමුදුරුවෝ, අගලවත්තෙ හාමුදුරුවො වශයෙන්. පිටපළාත්වලින් ඇවිත් පදිංචී වූ අවස්‌ථාත් තිබුණා. බෙන්තර ඉදළ හාමුදුරුවරු පස්‌ නමක්‌ පස්‌දුන් කෝරළයට වැඩියා. ඒ ඇත්තො සහෝදර හාමුදුරුවරු. පස්‌දුන් කෝරළයට වැඩමවල වෙන වෙනම පන්සල් හදාගත්තා. ඒ ඇත්තො හදාගත්ත පන්සල් පහ තමයි පරණම පන්සල් පහ. ඒ ඇත්තන් අතර හොඳට සහෝදර කමත් තිබුණා. ඒ ඇත්තන් පස්‌දුන් කෝරළයට ආවේ දෙද්දුව පන්සලේ ඉඳලයි. වියන්දූවේ හාමුදුරුවෝ තමයි බෙල්ලන පන්සලේ හිටියේ. අපි ඉතිං තුන් වෙනි හතරවෙනි පරම්පරාවට අයිතියි කියල කියන්න පුළුවන්. මේ අතර ගලපාත විහාරය යි බෙන්තර වනවාස විහාරය යි කියන දෙක දෙකක්‌ වශයෙන් සම්බන්ධකම් අඩුකර ගත්තා. කාරණය මොකක්‌ ද කියන්න බැහැ. සම්බන්ධතාවය අඩුවෙලා ගියා. ඒ නිසා පරම්පරා දෙකක්‌ වශයෙන් සලකන්න පුරුදු වුණා. වනවාසෙ ඇත්තන් සමඟ සම්බන්ධකම් ඈත් වුණා. නමුත් දැන්නම් එහෙම නැහැ. දැන් කවුරුත් එකට සම්බන්ධයි. ඔක්‌කොම භේද අමතක වෙලා තමයි තියෙන්නෙ.

මහානායක හාමුදුරුවනේ මහණ වුණ අවස්‌ථාවේ ඉඳල ඉදිරි කාරණා ගැන කරුණු ටිකක්‌ සඳහන් කළොත් හොඳයි.

මං මහණ වුණේ 1923 මැයි 23 වෙනිදා. එතකොට මගේ වයස අවුරුදු නවය යි. එතකන් මම ඉස්‌කෝලෙ ගියා. ඒ කාලයේ ළමයි ඉස්‌කෝලෙ යන එක හරිම අඩුයි. මගේ පන්තියෙ හිටියෙ පස්‌දෙනයි. ඊට කලින් අවුරුද්දේ හිටියෙ තුන් දෙනයි. ඒ කාලයේ ගෙවල්වලින් ඉස්‌කෝලෙ නොයන ළමයි අල්ලලා නඩු දාන්න මහත්තයෙකුත් පත්කරල හිටියා. එයාට කිව්වෙ නඩුදාන මහත්තයා කියලා. ඒ මහත්තයා ගමේ ඇවිදලා ඉස්‌කෝලෙ නොයන ළමයින් ඉන්නවා නම් ඒ ගෙවල්වල මව්පියන්ට නඩු දානවා. බොහොම අමාරුවෙන් තමයි ඉස්‌කෝලෙට ළමයි ගෙන්න ගත්තෙ. ඉගෙනීමෙන් ඒ තරම් ලොකු වැඩක්‌ නැහැ කියන අදහසක්‌ තිබුණා. අකුරු ඉගෙන ගන්න එක තමයි ලොකුම දේ වශයෙන් කල්පනා කළේ. ඒ කාලෙ උපාධි තිබුණෙත් නෑ. විශ්වවිද්‍යාල තිබුණෙත් නෑ. රෝයල් කොලේඡ් එක තිබුණා. ඒ වගේ ම සුද්දන්ට රාජකාරි කටයුතු ඉගෙන ගන්න යුනිවර්සිටි කොලීජිය කියල එකක්‌ තිබුණ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය හදනකම් තිබුණෙ කොළඹ යුනිවර්සිටි කොලීජිය යි. ඒකෙ ඉගෙන ගත්තේ සුදු අයත් ලොකු පවුල්වල ටික දෙනෙකුත් විතරයි.

මට ඉගෙන ගැනීමේ ආශාව තදින් තිබුණා. මං දෙවෙනි පන්තියට පාස්‌ උනහම ලකුණු අරන් තිබුණ වැඩියෙන්. ඒ අනුව මට ඩබල් ප්‍රමෝෂන් එකක්‌ දුන්න. එක වරටම දෙකේ ඉඳල තුනට යායුතු මට කෙළින් ම හතරට යන්න පුළුවන් වුණා. ශිෂ්‍යයන්ගේ දැනීම දෙයාකරයක්‌ වුණාම ගුරුවරයාට වැඩ කරන්න අමාරුයි. ඒ නිසයි මාව ඉහළට දැම්මේ. ඒ කාලෙ මුලු ඉස්‌කෝලෙට ම හිටියෙ ගුරුවරු දෙන්නයි. ලොකු මහත්තයා ඇල්ගිරියේ විතාන කියලා. ඉතාම හොඳ මහත්තයෙක්‌. එයා කොණ්‌ඩෙ බැඳගෙන එන්නෙ. අනිත් මහත්තයා සිල්වා කියලා කෙනෙක්‌. එයා බණ්‌ඩාරගම මහත්තයෙක්‌. ඒ කාලෙ ගුරුවරුත් ශිෂ්‍යයොත් බොහෝ දෙනෙක්‌ කොණ්‌ඩෙ බඳිනවා. අපේ පස්‌වෙනි පන්තියේ හිටියා කොණ්‌ඩෙ බැඳපු ළමයි දෙන්නෙක්‌. ඒ පිරිමි ළමයි. ඒ කාලෙ ගම්බද මිනිස්‌සු ඔක්‌කොම වගේ කොණ්‌ඩෙ බඳිනවා. කොණ්‌ඩෙ කැපුවොත් එක පාරටම අහනවා හිරේ ගිහිල්ල කවද්ද ආවෙ කියලා. හිරේට නියම වුණහම අනිවාර්යයෙන්ම කොණ්‌ඩෙ කපනවා.

මහණවෙන්න ආශාව මට කුඩා කාලයේ ඉදළම තිබුණා. අම්මයි තාත්තයි දෙන්නම සිල් ගන්න යනවා මාසෙ පෝයටත් පසළොස්‌වකටත්. ඒ යන කොට බොහෝ දවස්‌වල මාවත් එක්‌කරන් යනවා. එතකොට මට පන්සල දකින්ට ලැබෙනවා. විහාරෙ දකින්ට ලැබෙනවා. හාමුදුරුවරු දකින්ට ලැබෙනවා. මේ පළපුරුද්ද නිසා මට මහණ වෙන්න ආශාව තවත් වැඩි වුණා. පවුලේ අන්තිම දරුවා නිසා (බඩ පිස්‌සා) මාව මහණකරන්න ඕන කියලා මගේ මව්පියන්ගෙත් ලොකු ආශාවක්‌ තිබුණා. පවුලේ දරුවන් අට දෙනෙක්‌නෙ. අටවෙනි දරුවා මහණ කරන්න ඕනේ කියලා තද බල ආශාවක්‌ මව්පියන්ට ඇතිවීමත් සාධාරණ යි. මට හිතෙනවා මගේ පෙර ජාතියක බලපෑමක්‌ ඇතුළතින් ක්‍රියාත්මක වුණා කියලා.

ඔය කාලේ ජෝතිර් ශාස්‌ත්‍රය ගැන මහත් ප්‍රසිද්ධියක්‌ ලබාගෙන හිටියා මත්තක නායක හාමුදුරුවෝ. උන්වහන්සේ වැඩ සිටියේ කොටපිටියේ පන්සලේ. ඒ හාමුදුරුවෝ කොටපිටියේ ඉ`දලා රික්‌සෝ එකෙන් කුරුඳුගස්‌මානානෙ පන්සලට එනවා. එක රාත්‍රියක්‌ ගත කරලයි ආපසු වඩින්නෙ. ඒ ගමනෙදි බෙල්ලන පන්සලටත් වැඩිය කියල ආරංචි වුණාම කේන්දර බලාගන්න ඕනෑ අය කේන්දරත් අරගෙන එනවා පන්සලට. ලේක්‌ හවුස්‌ එක ආරම්භකරන්න නැකත හදල තියෙන්නෙත් ඔය මත්තක නායක හාමුදරුවො. අපේ තාත්තත් මගේ කේන්දරේත් පන්සලට අරන් ගිහින් බලාගෙන ගෙදර ඇවිදින් අම්මාට කීවා කේන්දරේ හොඳයි ළමයාව මහණ කරන්න ඕන කියලා. ඒ වන විට අපේ ගේ ඉස්‌සරහ අලුත් ගෙයක්‌ හදන්න වැඩ ආරම්භ කරල තිබුණ. මාත් ඉතින් පොඩි එකානෙ. එක එක දේවලට උදව් කරමින් තමයි ඒ වෙලාවෙ හිටියෙ. ඒ වෙලාවෙම තාත්තයි අම්මයි මාව මහණ කරන්න තීරණය කරනවා අහගෙන හිටියා. ඒ වෙලාවෙම මගේ ඇඟ ඇතුලෙන් කීරක්‌ ගැහුවා වගේ අමුත්තක්‌ ඇති වුණා. ඒක මොකක්‌ ද කියල අදත් මට කියන්න බැහැ. මං හිතුවා මේක පෙර ජන්මයේ බල පෑමක්‌ කියලා.

ඉතින් මාව පන්සලට බාර දුන්න මහණ කරන්න. පන්සලේ ලොකු හාමුදුරුවෝ තමයි රන්තොටුවිල සෝභිත හාමුදුරුවෝ. උන්වහන්සේ හොඳ උගත් හාමුදුරු නමක්‌. විෙද්‍යාදය පිරිවෙණේ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හාමුදරුවන්ගෙන් ඉගෙනගත්ත ගෝල නමක්‌. මං මහණ වෙන්න ඉස්‌සර වෙලා මේ රන්තොටුවිල හාමුදුරුවෝ විෙද්‍යාදය පිරිවෙන අවසන් කරල පන්සලට ඇවිදින් බෙල්ලන පන්සලේ පිරිවෙනක්‌ ආරම්භ කළා. ඒ 1913 අවුරුද්දේ. නමුත් පිරිවෙන පටන්ගත්ත වෙලාව හොඳ නැති නිසා පිරිවෙන වහන්න සිදු වුණා. ඒ දිනවලම මරක්‌කල කෝලාහලයත් පටන් ගත්තා. පළවෙනි ලෝක සංග්‍රාමයත් පටන් ගත්තා. මේ හේතු නිසා පිරිවෙන කරගෙන යන්න බැරි වුණා.

වර්ෂ 1918 වෙනකන් පිරිවෙන කරගෙන ගිය බවත් පේනවා. ගුරුවරු තුන් නමක්‌ ඉ`දලත් තියෙනවා. අපේ ලොකු හාමුදුරුවෝ එයින් එක නමක්‌. කුඹල්වැල්ලේ සිරිනිවාස හාමුදුරුවෝ තව එක නමක්‌. බෝපිටියේ ජිනරතන හාමුදුරුවෝ තමයි අනිත් හාමුදුරුවෝ. පසු කාලෙක මම ඔය බෙල්ලන පිරිවෙනේ පරිවේණාධිපති පදවියට පත් වුණායින් පසුව මට හම්බවුණා පිරිවෙනේ පැවැත්වූ වාර විභාග ලකුණු පත්‍රයක්‌. ඒකාලයේ පිරිවෙන්වල විභාග පැවැත්වුණේ කවුරුහරි වැදගත් හාමුදුරු නමක්‌ ගෙන්වාගෙන. මොල්ලිගොඩ පිරිවෙන ආරම්භකළ රයිගම නායක හාමුදුරුවො තමයි පිරිවෙනේ විභාගය පවත්වන්න වැඩමවලා තියෙන්නෙ. ඒ එකදාස්‌ නවසිය දහ අටේ දී. ඒක බෙල්ලන පිරිවෙනේ කෞතුක වස්‌තුවක්‌ වශයෙන් තියෙනවා. පිරිවෙන නැත්තටම නැතිවෙලා ගිහිල්ලා තියෙන අතරතුරයි මං බෙල්ලන පන්සලේ මහණ වුණේ. ඔය අතර අපේ ගුරු හාමුදුරුවො රන්තොටුවිල සෝභිත හාමුදුරුවෝ, උන්වහන්සේට මහා ලොකු කරදරයක්‌ වුණා.

උන්වහන්සේ කොටපිටියේ පන්සලේ බණකට වැඩමවලා බණ කියන අතරතුර පන්සල කිට්‌ටුවම මහපාරේ මිනිහෙත් තව මිනිහෙකුට පිහියෙන් ඇණලා මරලා. පිහියෙන් ඇන්න මිනිහා කට උත්තරයක්‌ දී තිබුණා ඒ වෙලාවේ පන්සලේ බණ මඩුවෙ බණ අහමින් හිටියා කියලා. නමුත් ඒ වෙලාවෙ ඒ මිනිහා බණ මඩුවෙ ඉඳලත් නෑ. බණ අහලත් නෑ. මෙතැන දී ලොකු හාමුදුරුවන්ගෙ සාක්‌කිය ලැබුණා නම් මිනිහා එල්ලුම් ගහට යනවා. ලොකු හාමුදුරුවො මොනම සාක්‍ෂියක්‌වත් නොදී පන්සලෙන් පන්සලට යමින් හැංගි හැංගී හිටියා. ඇත්ත කීවොත් මේ මිනිහා එල්ලුම් ගස්‌ යනවා. බොරුවක්‌ කියන්නත් බැහැ ඒක මහණකමට හොඳ නැහැ. ඒ වෙලාවෙ ඒ මිනිහා බණ මඩුවෙ හිටියා කියලා ලොකු හාමුදුරුවො සාක්‍ෂි දුන්න නම් නිදහස්‌ වෙනවා. නමුත් ලොකු හාමුදුරුවො ඉතාම හොඳ විනය ගරුක හාමුදුරු නමක්‌ නිසා සාක්‍ෂි නොදී පන්සලෙන් පන්සලට යමින් කාලය ගත කළා. අවුරුදු දෙකක්‌ විතරම හැංගිලා හිටියා. ඔය ඉතිං ඉංග්‍රීසි ආණ්‌ඩු කාලෙනෙ.

ආචාර්ය
ඉත්තෑපානේ ධම්මාලංකාර
අනු නාහිමි